අපි රනිල්ට – ඒ වුණාට – රනිල් අපට – ඉන්නවා ද? – අජිත් පැරකුම් ජයසිංහ
සමහරු කියනවානේ අපි රනිල්ට කඩේ යනවා ය කියලා. එක අතකට එහෙම කියන එකේ වැරැද්දකුත් නැහැ.
රනිල් දීර්ඝ කාලයක් තිස්සේ රටේ පාලනයට ගැඹුරින් මැදිහත් වෙන්නට අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒක එච්චරයි.
රනිල්ට හොඳ අදහස් තියෙනවා. විශේෂයෙන් ම මේ දිනවල රනිල් අධ්‍යාපනය ගැන ඉදිරිපත් කරන අදහස් ඉතා ප්රගතිශීලීයි. ඒවා ධනවාදී අදහස් නෙමෙයි. සමාජවාදී අදහස්. අධ්‍යාපනය ගැන ධනවාදී අදහස අධ්‍යාපනයත් වෙළඳපොළකරණය කරන එක නේ. එහෙත්, රනිල් ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළඳපොළකරණයට නෙමෙයි. සැමට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන්නටයි.
මම හිතන්නේ 2004දී තමන් අගමැති ධුරය දැරූ ආණ්ඩුව කඩා වැටීමෙන් පසු රනිල් පුනරුත්ථාපනය වෙලා. ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක්වත්, කම්කරු පංතියක්වත් නැහැ. ලංකාව මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් ක්‍රියාත්මක වෙන සුබසාධන රාජ්‍යයක්. ඒක තමයි ලංකාවේ ක්රමයේ අනන්‍යතාව. රනිල් කලින් යෝජනා කරපු යළි පුබුදමු ශ්‍රී ලංකා නව ලිබරල්වාදී වැඩසටහන ලංකාවට නො ගැලපෙන්න ප්‍රධාන හේතුව එ්කයි. මූලික වශයෙන් ඒක ඔසවා තබන්නට උවමනාවක් තිබෙන ධනපති පංතියක් ලංකාවේ නැහැ. මේක මේ මැදපෙරදිග ශ්රමිකාවන්, වතු කම්කාරියන්, ඇඟලුම් කම්කාරියන් සූරා කාලා ජීවත් වන මධ්‍යම පංතියක ආධිපත්‍යය ඇති රටක් නේ.
ශ්රමිකාවන්, වතු කම්කාරියන්, ඇඟලුම් කම්කාරියන් කිව්වාම අවුල් නේ. මොකද මේවාට තියෙන්නේ පුරුෂ ලිංගික නාමපදනේ. හැබැයි බහුතරය ස්ත්‍රීන්. ඒ නිසා මෙහෙම කියන එක තමයි සාධාරණ.
රනිල්ට ආපහු එමුකෝ. හැබැයි ඉතින් කතන්දරවලින් වැඩක් නැහැ. වැඩයි ඕනැ. එහෙම වැඩක් තවම නම් දකින්නට නැහැ. කමක් නැහැ අපි හිතමුකො තවම පෙර සූදානම් වෙනවා කියලා. හැබැයි රජෝ, දැන් නම් ඒක ඇති වගේ.
රාජ්‍ය පාලනය පැත්තෙන් නම් යම් යම් වෙනස්කම් සිදු වෙමින් තිබෙනවා. පුද්ගලයන් ශක්තිමත් වෙනවා වෙනුවට ආයතන ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ වුණාට ලංකාවේ රාජ්‍ය ව්‍යූහය කුණු වී තිබෙන තරමේ මට්ටම අනුව එහෙම ලේසියෙන් ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. ඒවාට පුරුද්ද තියෙන්නේ ම දේශපාලකයන් අතින් නැටවෙන්නට මිස ස්වාධීනව කටයුතු කරන්නට නෙමෙයි.
මේ අර්බුදය හොඳින් ම දකින්නට ලැබෙන්නේ පොලිසිය හා අධිකරණය තුළයි. සාමාන්‍ය මිනිසුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට නො පැකිළෙන මේ අය දේශපාලකයන් ඉදිරියේ ඇඹරෙනවා. ස්වාධීනව කටයුතු කරන්නට දී තිබෙන අවස්ථාව පැත්තක තබමින් ක්‍රියාත්මක වෙන්න දේශපාලන අධිකාරියේ අවසරය සොයනවා. ඒක ලැබෙනකල් තෙපරබානවා. ඔන්න රාජ්‍ය සේවය ස්වාධීන කළාම ඇති වන තත්වය!
මේ අවස්ථාවෙදි ලංකාවේ ජනතාව අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ දේශපාලකයන්ට වඩා රජයේ නිලධාරීන් කොයි තරම් නරක ද යන්නයි.
මේ රජයේ නිලධාරීන් පවා කියන එකක් තමයි මහින්දගේ කාලෙ ඔහොම නැහැ කියන එක. ඒ කියන්නේ ඒ කාලෙ නම් අපි දේශපාලකයන් කිව්වාම වැඩ කළා ය කියන එකයි. දැන් ස්වාධීනයි නේ. ඒ නිසා වැඩ නො කෙරෙන විදිය තමයි ක්‍රමය වෙලා තියෙන්නේ.
ඒ නිසා තමයි මෛත්‍රීගෙත්, රනිල්ගෙත් පොර ටෝක්වලින් සුරංගනා කතාවක ආතල් එකවත් ගන්න බැරි වෙලා තිබෙන්නේ.
රාජ්‍ය අංශය කාර්යක්ෂම නො කර කොහේවත් යන්න බැරි බව ඉතා පැහැදිලියි. මෛත්‍රීට, රනිල්ට තියෙන ගැටලුව වන්නේ මේ අකාර්යක්ෂම, රාජ්‍ය සේවක කසල බලවේගය පණ ගන්වන්න තරම් ශක්තියක් ඔවුන්ට නැති වීමයි. දැනට තිබෙන තත්වය අනුව නම් උන් වැඩ කරන්නේ බයට විතරයි. උන්ගේ ආකල්ප වෙනස් කිරීම ලේසි කෙළියක් නෙමෙයි.
රනිල් අපිට – අපි රනිල්ට කියලා එකක් නැහැ. රනිල්ට කියන්න තියෙන්නේ අපි ඔබ ඉල්ලූ අවස්ථාව දුන්නා. අපි ජවිපෙ වගේ නෙමෙයි. අද ආණ්ඩු පත් කරලා හෙට ඉඳන් ඒක පෙරළන්නට දඟළන පුහු වීරයෝ නෙමෙයි. තවමත් අපි ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඒ පදනමින්. එහෙම නැතිව අපි ඔබෙන් කිසිම වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් නෙමෙයි. අපි ආණ්ඩුවට උදව් කරන්නේ දේශපාලනිකව ඉදිරියට යන්නට විතරයි.
ඉතින් මේ තත්වයට විසඳුමකුත් යෝජනා කරන්නට පුළුවන්. මේ වන විට ආණ්ඩුව තිබෙන්නේ පාර්ලිමේන්තු මට්ටමේ විතරයි. පළාත් සභාවල තිබෙන්නේ එලොවටත්, මෙලොවටත් නැති විකාරයක්. පළාත් පාලන ආයතන අක්‍රිය කරලා.
ආණ්ඩුව පහළ මට්ටමට ගෙන එන්නට කළ හැකි හොඳ දෙයක් තමයි, හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම. බිම් මට්ටමේදී ජවිපෙට තිබෙන ප්රාමාණිකව කුඩා ශක්තිය හැර වෙනත් බලයක් කිසිවකුට නැති බව පශ්චාත් ගංවතුර සමයේදී පැහැදිලිව පෙනුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට පත් කර තිබෙන උදේනි අතුකෝරළ පන්නයේ තක්කඩින් ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පෙනුණා නේ ද? කෝ උන් ආවද ගංවතුරෙන් පීඩාවට පත් මිනිසුන්ට උදව් කරන්න?
සියලු දේශපාලන පක්ෂවලට අලුතින් හිතන්නට අවශ්‍ය නම් පටන් ගන්න තැනක් තමයි මේ පළාත් පාලන දේශපාලනය. ජවිපෙ හෝ ඒ ගැන බැරෑරුම්ව හිතන්නට පෙළඹෙනවා නම් ලොකු දෙයක්.
