බැඳුම්කර අලාභය සොයන්න පිළිගත් ක්‍රමවේදයක් නෑ

බැඳුම්කර අලාභය ගණනය කිරීමට විදේශීය වෙළෙඳපොළවල පිළිගත් ක්‍රමවේදයක් නොමැති බව ලෝක බැංකුව ලිපියක් මඟින් දැනුම් දී තිබෙන කාරණය නිවැරැදි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (20) සාක්ෂි දෙමින් පිළිගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන මහතා ලෝක බැංකුව ඉදිරිපත් කර තිබෙන ලිපියට අදාළ කාරණා සාක්ෂිකරුගෙන් විමසීමේදී සාක්ෂිකරු එම කාරණය පිළිගනිමින් එය නිවැරැදි බව පැවසීය.

විනිසුරු ජයවර්ධන මහතා අදාළ ලෝක බැංකුවේ ලිපියේ සඳහන් කරුණු එකිනෙකට විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

අලාභය අවාසිය ගණනය කිරීමට කවුන්ටර් ෆැක්චුවල් (Counter Factual) අවශ්‍ය වුවත් සෘජු ස්ථානගත අනුපාත ඇතුළු අනුපාත සලකාබැලීම් තුළින් එම ගණනය සිදු කර තිබෙන බවයි.

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ විගණකාධිපති වාර්තාව සකස් කිරීමට පෙර සාකච්ඡා කළේදැයි සාක්ෂිකරු විජේසිංහ මහතාගෙන් විනිසුරු ජයවර්ධන මහතා විමසූ අවස්ථාවේදී එසේ නොකළ බව සාක්ෂිකරු පැවසීය.

වාර්තාව සකස් කිරීමට පෙර මහබැංකුවේ වෙනත් නිලධාරීන් සමඟ හෝ සාකච්ඡා කළේදැයි විනිසුරු ජයවර්ධන මහතාගේ විමසීමක් හමුවේ සාක්ෂිකරු පැවසුවේ එවැන්නක් නොකළ බවයි.

මූල්‍ය මණ්ඩලයේ ලේකම් කරුණාරත්න මහතා අමතා සාක්ෂිකරු නිල ලේඛනයෙන් ලබා‍ෙගන තිබෙන බවත් කොමිසම හමුවේ අනාවරණය වුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන සහ වී කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසීම සිදුවිය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

කමනි අල්විස්

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *