අන්තවාදී කල්ලිය ලංකාව යුද බිමක් කරයිද? – භාතිය බරුකන්ද

මේ මොහොත වන විට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඕනෑම ආකාරයක ආගමික හා ජාතික අන්තවාදයන් ප්‍රතික්ෂේප කරන තැනට වේගයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ නිසා ඉදිරි කාලය මේ ආගමික හා ජාතික අන්තවාදයට පහසු තැනක් වන එකක් නැහැ. ඒත් පුදුමකට මෙන් ලංකාව ගමන් කරමින් සිටින්නේ විරුද්ධ දිසාවට. අද සිංහල බෞද්ධ ආගමික අන්තවාදය හා සිංහල ජාතිවාදය ලංකාවේ ජනප්‍රිය රැල්ලක් බවට පත් කරන්න සුළු කණ්ඩායමක් තම උපරිමයෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා.

මේ තත්ත්වය අගමැතිවරයා ද ඇතුළත් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයින්, විශේෂයෙන් ආණ්ඩුව කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි අයෙකු වශයෙන් සැලකිය හැකි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ද දැඩි අවධානයට යොමුව තිබෙන බවක් දැකිය හැකියි.

මේ මොහොත දක්වා මෙම ආගමික අන්තවාදීන්ට එරෙහිව දැඩි පියවරක් ගැනීමට අපොහොසත්ව තිබෙනවා. ඒ මෙන්ම ඇතැම් ජාතිවාදී ජනමාධ්‍ය හා සමාජමාධ්‍ය ( විශේෂයෙන් මුහුණුපොත) තුළ දිගින් දිගටම සිදුවන ආගමික අන්තවාදයට හා ප්‍රචණ්ඩත්වයට අනුබලදීම් සම්බන්ධයෙන් මේ දක්වා කිසියම් හෝ නෛතික පියවරක් ගැනීමට හැකියාවක් ලැබී ඇති බවක් පෙනෙන්න නැහැ.

අන්තවාදීන් නිදැල්ලේ ඇයි ?

මේ තත්ත්වය මේ ආගමික හා වාර්ගික අන්තවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙනවා වාගේම ආගමික හා ජාතික සංහිඳියාව අපේක්ෂා කරන අති බහුතරයක් ජනතාවගේ කලකිරීමට හේතු වී තිබෙනවා. ඔවුන් කියන්නේ පසුගිය ආණ්ඩුව සමයේ මුදාහැරි මේ අන්තවාදී ප්‍රවණතාව මඟින් වත්මන් යහපාලන ආණ්ඩුව පමණක් නොව සමස්ත ජාතියම වළට ගෙනයෑමට පෙර මේ අන්තවාදය මර්දනය සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගික හා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි. ඒ සඳහා ශක්තිමත් හා අඛණ්ඩ නෛතික හා පරිපාලනමය යාන්ත්‍රණයක් සකස් විය යුතු බවයි.

කතාවෙන් ඔබ්බට නොයන මේ නිහැඬියාව, අක්‍රියභාවය නිසා ඥානසාර හිමි ඇතුළු අන්තවාදීන්ට හිතූමතේ ක්‍රියාත්මක වීමට හැකි පහසු භූමියක් නිර්මාණය වෙනවා. ඔවුන් වටා වීරත්වයක් හා දේශපාලන බලාධිකාරියක් වර්ධනය වෙනවා. මේ තත්ත්වය ලංකාවේ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ පමණක් නොවෙයි වත්මන් ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ක්‍රියාවලීන් කෙරෙහි ද ඍණාත්මක බලපෑමක් කළ හැකියි.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමේදී මෙරට මුස්ලිම් හා දමිළ ජනතාව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. මේ තත්ත්වය තුළ වත්මන් ජනපතිවරයා සේම අගමතිවරයත් මේ රටේ සුළු ජන ඡන්ද ඇගයීය යුතුයි. ඒ නිසා ඔවුන් මේ ජනතාවගේ සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම්වලට කන්දිය යුතුයි. සංවේදී විය යුතුයි. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දශක දෙකකට ආසන්න කාලයක් පුරා ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ මේ වන විට එහි උච්චතම අවස්ථාව කරා ළඟා වෙමින් සිටින ‘සිංහල බෞද්ධ අන්තවාදයෙන් තමන් ගලවා ගැනීමයි. තමන්ට ගරුත්වයක් හා අභිමානයක් ඇතිව සුරක්ෂිතව ජීවත් වීමට ඇති අවස්ථාව තහවුරු කර ගැනීමයි.

‘අපිට නැති ද්‍රවිඩයන්ට තියෙන ප්‍රශ්න මොනවාද ?’ මේ උතුරේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි හමුවේ නිදහස ලැබීමට පෙර යුගයේ සිටම දකුණේ සිංහලයන් ඇසූ සුලභ ප්‍රශ්නයි. කතාව ඇත්ත, අපිට නැති ප්‍රශ්න ද්‍රවිඩයන්ට තිබිය නොහැකියි. දුප්පත්කම, සූරාකෑම, සංවර්ධන ප්‍රවේශයන් අහිමිවීම වාගේ ගැටලු හැමෝටම පොදු තත්ත්වයක් යටතේ දකුණේ සිංහල වැසියාට උතුරේ, නැගෙනහිර දෙමළා ජාතිකයාට තිබුණු සංකීර්ණ ප්‍රශ්නය අවබෝධ කර ගැනීමට නොහැකි වුණා. ජයග්‍රහණය කළා යැයි කියන යුද්ධය අවසානයෙත් අපි ‘ජාතිය ගොඩනැගීම’ සංහිඳියාව ගොඩනැගීම’ ‘ජාතිය ගැටලුව විසඳීම, ‘බලය බෙදා හදා ගැනීම’ ‘පෙරඩල් විසඳුම’ ‘ඒකීය රාජ්‍ය’ වාගේ නිමක් නැති ඊනියා වචන මතම එල්ලී එකතැන කාල් ගාන්නේ මේ නිසයි.

මානව ගරුත්වය ඉල්ලා සිටීම

යල්පැන ගිය සාම්ප්‍රදායික දේශපාලන කියවීම්වලින් වේගයෙන් ඉවත් වෙමින් සිටින මේ කාලයේ මිනිසාට වැදගත්ම දේ ‘ගරුත්වය’ වශයෙනුයි සැලකෙන්නේ. ඒක ‘මානව ගරුත්වය’ වශයෙන් කියවන විට වඩාත් අර්ථපූර්ණ වාගේම සංවේදී වෙනවා. දැනෙන්නට පටන් ගන්නවා.

මේක ඉතාම පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඔබ කාර්යාලයට යන බස් රථයේ කොන්දොස්තර ‘ඕයි මහත්තයා පස්සට යනවා’ කියලා කිවුවොත් ඔබට ඒක තදින්ම දැනෙනවා. ඒ ඔබ බස් රථයේදී පවා යම් පිළිගැනීමක්, ගරුත්වයක් බලාපොරොත්තු වෙන නිසයි. මේක සිඟන්නාගේ සිට රජු දක්වා, ළදරුවාගේ සිට මහල්ලා දක්වා, නූගතාගේ සිට මහා ප්‍රාඥයා දක්වා අදාළයි. වැදගත්ම දේ ‘ගරුත්වය’ ම පමණයි. මානව හිමිකම්, අයිතිවාසිකම්, නීතිය, මේ සියල්ල අද පදනම් වශයෙන් සලකන්නේ ‘මානව ගරුත්වය සහතික කිරීම සහ තහවුරු කිරීමයි’

අද ලංකාවේ සුළු ජාතීන් පමණක් නොවෙයි දේශපාලනික විග්‍රහයන්හිදී සුළු ජාතීන් ( තීරණ ගැනීමට හවුල් නොවන) කාන්තාවන්, ශිෂ්‍යයින්, කම්කරුවන්, සමකාමීන් ආදීන් සියලු දෙනාම ඉල්ලන්නේ මේ ‘මානව ගරුත්වයයි’

මේක සුළුජාතීන් කෙරෙහි අති සංවේදී වෙන්නේ මේ ගැටලුව හමුවේ ඔවුන් ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අර්බුදයට ගමන් කරන නිසයි. නොතකා හැරෙන නිසයි. අනාරක්ෂිත වන නිසයි.

උදාහරණයක් වශයෙන් ලංකාවේ වත්මන් මුස්ලිම් විරෝධය මුස්ලිම් ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව, සංස්කෘතික සුරක්ෂිතතාව කෙරෙහි ඍජුව වගේම ඍණාත්මකවත් බලපානවා. සිංහල බෞද්ධ අන්තවාදය මුස්ලිම් ජනතාව කෙරෙහි වන ඔවුන්ගේ වෛරය හා පිළිකුළ ප්‍රකාශ කරන්නේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදීම , මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල ජනතාව පෙලඹවීම හා ඔවුන්ට බල කිරීම, මුස්ලිම් ජාතිකයින්ට ඉඩම් හා නිවාස විකිණිමට එරෙහි වීම, වැනි ප්‍රවේශයන් හරහායි. මේ තත්ත්වය සැලකිය හැක්කේ මුස්ලිම් ජනතාවගේ බඩට ගැසීමක් විදිහටයි.

ඊළඟට සිදුවන්නේ මුස්ලිම් සංස්කෘතික වටිනාකම් හා හරපද්ධතීන්ට ගැරහීමයි. මේ තත්ත්වය ජනතාවක් විදිහටම මුස්ලිම් ජනතාවට අති සංවේදීයි. ( මෙය මුස්ලිම් ලෝකයටම පොදු තත්ත්වක් ) කුරාණය, අල්ලා දෙවියන්, හලාල් වැනි සංස්කෘතික වටිනාකම් අද සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ එදිනෙදා කටගැස්මවල් බවට පත්වෙලා තිබෙනවා. ඒක ඇතැම් ජාතික ජනමාධ්‍යවල ( පුවත්පත්) මෙන්ම සමාජමාධ්‍ය ( මුහුණපොත) තුළ උපරිම වශයෙන් සිදුවෙනවා. මේ තත්ත්වය අපි සැලකිය යුත්තේ මුස්ලිම් සමාජයේ ඔළුවට එහෙම නැතිනම් හදවතට ගැසීමක් විදිහටයි.

කොන් කිරීම හා කල්ලතෝනි මානසිකත්වය

‘මේක සිංහල බෞද්ධයන්ගේ රට’ යනුවෙන් ස්වයං නාමකරණයක් දෙන විට ඉතා පහසුවෙන් අනෙක් සියලුම ආගම් අදහන ජාතීන්ට ජාතියක්, රටක් වශයෙන් හිමි වැදගත්කම, ගරුත්වය අහිමි වෙනවා. ඒක වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත කම්කරුවන්ගේ තත්ත්වයට පත් කිරීමක්, නැතිනම් සුලභ යෙදුමක් වන ‘කල්ලතෝනීන්’ බවට පත් කිරීමක් බවට පත් වෙනවා. මේක රටක් වශයෙන් පොදුවේත්, ජාතියක් වශයෙනුත් හානිකර තත්ත්වයක්. මේ නිසයි අද ලංකාවේ සුළු ජනතාව තමන්ගේ මානව ගරුත්වය සම්බන්ධ ඉල්ලීම්වලට කන්දෙන්න කියලා පාලකයන්ට බල කරන්නේ. මොකද ලංකා ඉතිහාසය සර්වසම්පූර්ණ ‘සිංහල බෞද්ධ නිර්මාණයක්’ නොවන බව අපිට ඓතිහාසිකව තහවුරු කළ හැකියි.

විශේෂයෙන් බෞද්ධකම සිංහල වැසියන්ගේ පරවේණි උරුමයක් නොවෙයි. අනෙක් අතට මේ රටේ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරීත්වය තුළ සුළු ජන නියෝජනය ප්‍රබලයි. අර්ථික තත්ත්වය ගත්තත් ලංකාවේ දිර්ඝ කාලයක් පුරා මුස්ලිම් ජනතාව ඉතාම වැදගත් බලවේගයක්. මැණික්, සුළු අපනයන භෝග අපනයනයේ ප්‍රධාන පාර්ශ්ව වන්නේ මුස්ලිම් ජාතිකයෝ.

ඒ වගේම වර්තමානයේ අපනයන කර්මාන්තය තුළ වැඩි කොටස් හිමිකමක් තිබෙන්නේ ඔවුන්ට. රබර්, තේ වැනි අපනයන භෝග ගත්තත්, වී වගාවේ පංගුව ගත්තත් නැගෙනහිර පළාතේ හා උතුරු මැද මුස්ලිම් සාධකය තීරණාත්මකයි. ආනයන අතින් ගත්විට, වාහන, ටයිල් ඇතුළු ගොඩනැගිලි උපකරණ, ලී ආනයනයේ ප්‍රමුඛයන් මුස්ලිම් ජනතාව.ඉතිං ඔවුන් ආර්ථික වශයෙන් රටට දක්වන සක්‍රීය දායකත්වය හා වටිනාකම මේ ආකාරයෙන් ‘කල්ලතෝනි න්‍යාය’ භාවිතයෙන් මුලිනුපුටා දැමීම සිදු නොවිය යුතු දෙයක්.

හිට්ලර් කළ දේම

බලලෝභයෙන් වියරු වැටී සිටි ජර්මන් ආඥාදායකයා තමන්ගේ සියලු නොහැකියාවන් හා ආශාවන් පිට කළේ ජර්මන් ආර්ථිකයේ තීරණාත්මක භූමිකාවක් අත්පත් කරගෙන සිටි යුදෙව්වන් හරහා. හිට්ලර්ගේ නට්සි යාන්ත්‍රණය ඉතා පහසුවෙන් ජර්මනියේ සකලවිධ රෝගයන්ට නිදානය මේ යුදෙව්වන් බවට රූපාන්තරය කළා. බහුතරයක් ජර්මානුවන් තුළ දැවැන්ත යුදෙව් විරෝධයක් වර්ධනය කළා. අවසානයේ ලක්ෂ 80 ක් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම දක්වා මේ යුදෙව් විරෝධයේ බලය ගමන් කළා.

අද ලංකාවෙත් සිදුවෙන්නේ මේ තත්ත්වය බව අපට පැහැදිලියි. සිංහල බෞද්ධ බහුතරය වළට දැක්කීමට කැසකවන මේ කල්ලියට නිල හා නොනිල නායකත්වය දෙන කිසිවෙක් සුළු ජාතීන් සමග ආර්ථික, දේශපාලන බලය බෙදා හදා ගෙන ඔවුන්ට මානව ගරුත්වය දීමට සූදානම් නැහැ. ඒ දේශපාලන අන්තවාදය හා අවස්ථාවාදයට සුළුජාතීන් සමග නොපෑහෙන නිසයි.

මේකට හේතුව පැහැදිලියි. ලෝකයේ ඕනෑම රටක සුළු ජනතාව වඩාත්ම විශ්වාසය තබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කෙරෙහියි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔවුන්ගේ ආරක්ෂාව (ආර්ථික හා දේශපාලන) සහතික වන නිසයි. අධිකාරවාදය, ඒකාධිපතිවාදය සුළුජාතීන්ගේ ගරුත්වය හා ආරක්ෂාව සපුරා අහුරා දමනවා. (මියන්මාරය – රෙන්ගියා මුස්ලිම් ජනතාව, චීනය-ටිබෙට් බෞද්ධයෝ, ඇෆ්ගනිස්ථානය- සුන්නි මුස්ලිම්වරු ආදි වශයෙන් ) මේ නිසා ලංකාව තුළ වුණත් අධිකාරවාදය පෝෂණය වෙනවා දකින්න සුළු ජනතාව කැමැති නැහැ. ඔවුන් ඒ බව පසුගිය සෑම මැතිවරණයකදීම අවධාරණයෙන් ප්‍රකාශ කළා.

යම් ජන කොටසක් ආර්ථිකයේ සාරය උරා බෙනවා කියලා තවත් ජනකොටසකට ඒත්තු ගැන්විය හැකි වුණොත් ඔවුන්ව ඕනෑම මිලේච්ඡ තත්ත්වයකට පත් කළ හැකියි. නෑසූකන් ඇති ජාතියක් බවට පත් කළ හැකියි. හිට්ලර් මේක හොඳම අත්හදා බැලුවා. අද ලංකාවේත් සිදුවෙමින් පවතින්නේ අධිකාරවාදී ආණ්ඩුවක් ගැන සිහින දකින කල්ලිවලට මේ හරහා ජවය ලබාදීමයි. පාර කපා දීමයි.

ඥානසාර භික්ෂුව විසින් නායකත්වය දෙන ඇතැම් ජාතික යැයි කියා ගන්නා පුවත්පත් විසින් මතවාදී ආවරණය සපයන ඊනියා සිංහල බෞද්ධ අන්තවාදයේ ගමන්මග අප වටහා ගත යුත්තේ මේ අනුවයි.

අතීතය යළි කියවමු

‘කොරහේ කිඹුලන් දකින්න’ අපි කවුරුත් කැමැතියි. ඒත් ‘රෑ වැටුණු වළේ දවල් වැටෙනවාට නම් ’ අපි කවුරුත් කැමැති නැහැ. ඒ නිසා මුස්ලිම් අන්තවාදයක්, තලේබාන්කරණයක් හෝ අයි.එස්. භීතියක් ගැන බිල්ලෙක් මවාපාන්නේ නැතිව අත ළඟ ඇති නිසැක අනතුර ගැන නම් අපි අති සංවේදී විය යුතුයි.

එහෙම නොවුණොත් වෙන්නේ දමිළ ජනතාවගේ ගැටලු හමුවේ නෑසූකන්ව සිටි පාලකයින් 30 අවුරුදු දැවැන්ත සිවිල් යුද්ධයකට පාර කැපුවා සේ මුස්ලිම් ජාතිකයින් ද ඇතුළුත් සුළු ආගමිකයින්ගේ ගැටලු හමුවේ නෑසූ කන්ව සිටින පාලකයින්, උතුරේ දමිළ තරුණයින්ගේ සාම්ප්‍රදායික සන්නද්ධ ව්‍යාපාරයට වඩා අති සංකීර්ණතාවක පහසු ගොදුරු බවට පත්වීමයි.

මෙය හිතලුවක් නොවෙයි. 1947 සිට දකුණේ සිංහල ආණ්ඩු වලට සහාය දෙමින් පාර්ලිමේන්තුව හරහා තමන්ගේ ගැටලු විසඳා ගැනීමට තැත් කළ උතුරේ ප්‍රබුද්ධ දේශපාලනයේ වලංගුභාවය 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, බණ්ඩාරනායක- වේල්වනායගම් ගිවිසුම, ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම, 1971 ජනරජ ව්‍යවස්ථාව, අධ්‍යාපන ප්‍රමිතිකරණය ( දිස්ත්‍රික් කෝටාව) හරහා උතුරේ තරුණයින් හමුවේ පරීක්ෂාවට ලක් වුණා.

එහි අවසන් පරීක්ෂණය වශයෙන් 1971 ජනරජ ව්‍යවස්ථාව සහ උතුරේ තරුණයින් දැඩිව කම්පනය පත් කළ ‘අධ්‍යාපන ප්‍රමිතිකරණය’ සැලකිය හැකියි. මේ සියලු පරීක්ෂණයන්ගෙන් උතුරේ ප්‍රබුද්ධ පාර්ලිමේන්තු දේශපාලනඥයින්ට ලැබුණේ ලකුණු බින්ඳුවක් පමණකි.1975 දී සාම්ප්‍රදායික, ප්‍රබුද්ධ දමිළ දේශපාලනය අබිබවා යමින් දමිළ සන්නද්ධ ව්‍යාපාරය කලඑළි බසින්නේ මේ අසමාර්ථභාවයෙනි. ‘වඩුක්කෝඩෛයි ප්‍රඥප්තිය හරහා, ඇල්ප්‍රඩ් දොරේඅප්පා ඝාතනය හරහා හිස එළියට දැමූ දමිළ තරුණයින්ගේ සන්නද්ධ ව්‍යාපාරය සුජාතකරණය ලැබුවේ 1983 අපකීර්තිමත් කළු ජූලිය සමගිනුයි.

ජාතියේ අවසානාවටදෝ එදා දෙමළ ලෙය ඉල්ලා මුළු රටම ගිනිබත් කරමින් ලංකාවේ කීර්තිනාමයට තාර ගෑ කල්ලිය මෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ කල්ලිය වලිගයට ගිනි තැබූ හනුමා සේ අද ඊනියා මුස්ලිම් විරෝධයක් වපුරමින් නිදැල්ලේ හැසිරෙමින් සිටිනවා. එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් වගකීමක් හා වගවීමක් ඇතිව හැසිරුණා නම්, කල්පනා කළා නම් කළු ජූලිය භීෂණයක් නොවන්නට ඉඩ තිබුණා.

එහෙත් මොනයම් හේතුවක් නිසාදෝ අදත් ජාතිවාදි නඩය නිදැල්ලේ හැසිරෙනවා. හිතූමතේ ක්‍රියා කිරීමේ, මතවාද වැපිරීමේ හැකියාව ඇතිව බලවත්ව සිටිනවා. ජාතික මාධ්‍ය, සමාජමාධ්‍ය පමණක් නොව රටවටා පෝස්ටර් ද ගසමින් මේ බෞද්ධ ජාතිවාදයට ආවරණය හා සුජාතභාවය ඉල්ලනවා.

මේ තත්ත්වය තුළ අප අවධාරණය කරන්නේ 1983 කලු ජූලිය හා දෙමළ තරුණයින්ගේ සන්නද්ධ නැගිටීමට බලපෑ දෘෂ්ටිමය හා ප්‍රායෝගික කාරණා නොතකා හරිමින් 30 අවුරුදු සංහාරයකට පාර කපා ගත්තා සේ යළිත් රට තවත් අන්තවාදයකට පාර කපා ගැනීමට කිසිදු කල්ලියකට හෝ බලවේගයකට ඉඩ නොදෙන ලෙයසි.

ප්‍රශ්නය කිරීම

ලංකාවේ නිදහස් අරගලයේ ආරම්භයේ සිටම සිංහල බෞද්ධ නායකයින් සමග හරි හරියට මුස්ලිම් නායකයින් ද ක්‍රියා කළ බව අප අමතක නොකළ යුතුයි. ඔවුන් මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට, සංස්කෘතිය පෝෂණය කිරීමට සිංහල බෞද්ධ බහුතරයට සහාය දුන් බව අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් 30 අවුරුදු යුද්ධයේදී මුස්ලිම් ජනතාව හා නායකයින් ආණ්ඩුවට ලබා දුන් සහාය අප කිසිසේත් ලඝු නොකළ යුතුයි. එදා ප්‍රභාකරන් සමග දමිළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාවත් එකතු වුණා නම් අද ලංකාව කියලා රටක් නැහැ. ඒ වගේම තමයි යුද ජයග්‍රහණයෙන් පසුව ලංකාවට එල්ල වූ ජාත්‍යන්තර මානව හිමිකම් ( ජිනීවා මානව හිමිකම් කොමිෂම) තර්ජන හමුවේ ලංකාව සමග එකට හිටියේ මුස්ලිම් ලෝකයයි.

එනිසා ‘ඔබලා සිංහල බෞද්ධ දේශපාලනඥයින් සමග හවුල් ආණ්ඩු කරමින් මුස්ලිම් අපට ලබා දුන්නේ මේ අවමානය පමණක් දැයි’ තම වියපත් පාර්ලිමේන්තු දේශපාලනඥයින්ගේ ප්‍රශ්න කිරීමට පසුබිමක් අප විසින් මුස්ලිම් තරුණයින්ට නොදිය යුතුයි.

පැළවීමට පහසු ගොදුරු බිම් සොයමින් මුළු ලෝකය වටා රවුම් ගසන මුස්ලිම් අන්තවාදයට පහසු බිමක් මේ රට තුළ සොයා දීමට මේ අන්තවාදීන් ගන්නා උත්සාහය අප පරාජය කළ යුත්තේ මේ නිසයි. ඥානසාර හිමි ඔහුගේ ඊනියා අනුගාමික කල්ලියත් යන ගමන වහා නතර කිරීමේ සැබෑ අවශ්‍යතාවක් මේ මොහොතේ රට හමුවේ පවතින්නේ 30 වසරක් පුරා දමිළ තරුණයින් සමග කළ නිරර්ථක යුද්ධයේ භෞතික හා ආධ්‍යාත්මික තුවාලය තවමත් සුවකර ගැනීමට අපට නොහැකි වී ඇති නිසයි. කොටින්ම තවත් ලේ දකින්න මේ රටේ අති බහුතරයක් වන ජනතාව අකමැති නිසයි. සූදානම් නැති නිසයි.

 

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *