තෙවරප්පෙරුමලා (තව වරක්) පෙරමු – සම්පත් අමරසිංහ

පසුගිය දිනෙක නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන්නට යෙදුනි. ඔහු අත්අඩංගුවට පත් වුයේ උසාවි නියෝග නොතකා මෘත ශරීරයක් භූමදානය කිරීමේ වරදටය. එසේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයට රැගෙන යන අතර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට තෙවරප්පෙරුම මහතා පිළිතුරු දුන්නේ ”යහපාලනය” යනුවෙනි. එම පිළිතුරෙන් තෙවරප්පෙරුම මහතා අපේක්ෂා කළේ ”යහපාලනය ” උත්කර්ෂයට නැගීම නොව යහපාලනය යන සංකල්පය උපහාසයට ලක් කිරීම බව ඔහු එම වචනය උච්චාරණය කළ ආකාරය අනුව පෙනෙන්නට තිබුණි.

තෙවරප්පෙරුම මහතා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම යහපාලනය උපහාසයට ලක් කිරීමට හේතුවක් ද යන පැනය මෙහිදී මතුවේ. තමා අත්අඩංගුවට ගැනීම යහපාලන විරෝධී ක්‍රියාවක් යැයි තෙවරප්පෙරුම මහතා හිතන්නේ නම් ඒ මහතාට බරපතළ වැරැද්දක් සිදුවී තිබේ. තෙවරප්පෙරුම මහතා යනු විවිධ ආකාර රංගන ( ඒවා හැඳින්වීමට ගැලපෙන වචනය ගොංපාට් යන්නයි) මගින් ලාභ ජනප්‍රියත්වය අපේක්ෂා කරන්නෙකු බව බුද්ධිමත් ජනතාව දනිති. එහෙත් ඔහුගේ එම අවකල් ක්‍රියාවන් වීරත්වය සේ සලකන පිරිසක් ද ඉන්නවා වන්නට පුළුවන.

තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගැනීම යනු රටෙහි යහපාලන මූලධර්මය තවදුරටත් යම් පමණකට හෝ පවතින බවට සාක්ෂියකි. යහපාලනය නොතිබුණු පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ මන්ත්‍රීවරුන්ටත් , ඇමතිවරුන්ටත් පමණක් නොව රාජපක්ෂවාදී සියලු හෙංචයියන්ට පොලීසිය, උසාවිය ,නීතිය නොතකා කටයුතු කිරීමේ බලය තිබුණි. ජනතාව විසින් 2015 ජනවාරි 8 දින පරාජය කරන්නට යෙදුනේ එම ජනතාව විරෝධී පාලනයයි.

තෙවරප්පෙරුම මහතා වැනි එක්සත් ජාතික පාක්ෂික සමහරුන් මෙතෙක් අවබෝධ කරගෙන නැති කරුණ වන්නේ ද එයයි. යහපාලනය ගැන අංශු මාත්‍රයක හෝ අවබෝධයක් තිබුණේ නම් තෙවරප්පෙරුම මහතා උසාවි නියෝග නොතකා මලළකඳන් වළලන්නට ඉදිරිපත් වන්නේ නැත. රටේ ජනතාටේ ජනතාව රාජපක්ෂ පාලනය පෙරලා දැමූවේ ඔවුන් උසාවිය සහ නීතිය නොතකා කටයුතු කළ නිසාය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කැලෑ උසාවිවල නඩු විභාග කොට ධුරයෙන් පහ කරන්නට ඔවුන් කටයුතු කළ නිසාය.

බාල ජනප්‍රියත්වය සහ මෝඩ කැපී පෙනීමේ ආශාව හේතුවෙන් තෙවරප්පෙරුම වැන්නවුන් මේ කරමින් සිටින්නේ ජනවාරි වෙනස මගින් ජනතාව අපේක්ෂා කළ යහපාලනය බිඳ දැමීමයි. ඒ අනුව යහපාලනයට විරුද්ධ ක්‍රියාව වන්නේ උසාවි නියෝග නොතකා හැරීමයි. එපමණක් නොවේ තෙවරප්පෙරුම මහතා නීතිවිරෝධීව මළකඳ වල දැමීම සඳහා පොලිස් නිලධාරීන්ටද අභියෝග කරන ආකාරය රූපවාහිනී තිරයේ දිස් විය. ඒ අනුව තෙවරප්පෙරුම මහතාගේ හැසිරීම රාජපක්ෂ යුගයේ දේශපාලකයෙකුගේ හැසිරීමට හැම අතින්ම සමානය.

ඊට සමාන තවත් සිදුවීමක් මෙයට සති කිහිපයකට පෙර වෙන්නප්පුව ප්‍රදේශයෙන් ද අසන්නට ලැබුණි. එහිදී සිදුවූයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පොලිසියේ රාජකාරියට බාධා කිරීම ය. ඇය සහ ඇගේ සොහොයුරිය එකී වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර සහෝදරිය ඇප මත නිදහස් වූ නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.

මීගමුව ප්‍රදේශයේ තවත් එජාප බලවතෙක් මේ දිනවල රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ කප්පම් සඳහා අයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධවය. එම තැනැත්තා මෙයට පෙර වතාවක මංකොල්ලකෑමක් සම්බන්ධයෙන්ද නම කියවුණු අයෙකි.

ඉහත සිද්ධි තුන ගැන කල්පනා කරන විට රටේ යහපාලනය සම්බන්ධයෙන් සතුටු විය හැකි යැයි කෙනෙක් කියන්නට පුළුවන. එකී කියුමේ දොසක් ඇතැයි කියන්නට නොහැකි වන්නේ ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හිතවත්කම්, සම්බන්ධකම් නොතකා පොලීසියත්, උසාවියත් ඉහත වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන බැවිනි.

ගැටලුව වන්නේ පොලීසියත්, උසාවියත් ඔවුන්ගේ වරද සම්බන්ධව එසේ ක්‍රියාත්මක වන නමුත් ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඒ හා සම්බන්ධව ගෙන ඇති පියවර කුමක් ද යන්නයි . ඒහා සම්බන්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු පැවසුවේ ඉහත තැනැත්තන් අදාළ ප්‍රදේශවල ජනප්‍රියව පුද්ගලයන් බැවින් ඔවුන් සම්බන්ධව යම් පියවරක් ගැනීම පක්ෂයට අවාසියක් විය හැකි බවයි. එජාප නායකත්වය ද ඒ අයුරින්ම කල්පනා කරනවා දැයි කියන්න දන්නේ නැත. එසේ වුව පක්ෂයේ වාසිය තකා හෝ කිසිවෙකුට නීතිය ඉක්මවා කටයුතු කිරීමට ඉඩ දීම යහපාලනය ට එකඟ නැත. අගමැතිවරයාට කොමිෂන් සභා හමුවේ සාක්ෂි දීමට සිදුව ඇත්තේද එකී හේතුව නිසාය . අගමැති බය නැති විය යුත්තේ කොමිෂන් වලට සාක්ෂි දීමට නොව වරදට දඬුවම් දීමට ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *