ජනපති මෛත්‍රීට ජාත්‍යන්තර සහතිකයක්
ජල ගැලීම් හා නායයාමේ විපත් සිදුවන අවස්ථාවේ ජනාධිපතිතුමා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංචාරය අවසන් කරමින්. එහි සිට සියලු තොරතුරු ලබාගත් ජනාධිපතිතුමා, අගමැතිතුමාටත් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාත් අමතා උපදෙස් දුන්නේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සියල්ල ගන්නා ලෙසයි. වැඩබලන ආපදා කළමනාකාර ඇමැති දුනේෂ් ගංකන්ද මහතාට ද ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතාකර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ හදිසි අවශ්‍යතා සඳහා රුපියල් කෝටි හතරහමාරක් වහාම වෙන්කරන ලෙසයි. එමෙන්ම චක්‍රලේඛ පසෙකලා වැඩ කරන ලෙස සියලු නිලධාරින්ට උපදෙස් දෙන ලෙසත් ජනාධිපතිතුමා දැන්වූවා.
ආරක්ෂක ලේකම්වරයාට කතා කළ ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ විපතට පත්වූවන්ට පිහිටවීමට ත්‍රිවිධ හමුදාවෙන් අවශ්‍ය තරම් පිරිස් හා බෝට්ටු, හෙලිකොප්ටර් ආදිය යොදවන ලෙසයි. ඒ අනුව ත්‍රිවිධ හමුදාව ලහි ලහියේ ගොස් විපතට පත්වූවන් බේරා ගැනීමේ හා ඔවුන්ට සහන සැලසීමේ කටයුතුවල යෙදුණා.
සිකුරාදා දිවයිනට පැමිණි ජනාධිපතිතුමා ඉදිරි දිනවල යොදාගෙන තිබූ උත්සව ආදිය අවලංගු කරන ලෙස නිලධාරිනට දැනුම් දුන්නා. වැඩිම හානි සිදුව තිබූ කළුතර දිස්ත්‍රික්කයටත්, රත්නපුර දිස්ත්‍රික්කයටත් ගොස් නිලධාරින් හමුවී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ සියලු සම්පත් යොදාගෙන සහන කටයුතු මෙහෙයවන ලෙසට ය.
වහාම ඇමැති මණ්ඩල රැස්වීමක් කැඳවූ ජනාධිපතිතුමා එහි දී තීරණ ගණනාවක් ගෙන ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා. විනාශ වූ නිවසකට ලක්ෂ 25ක වන්දියක් දීමටත්, ව්‍යාපාර නැවත ඇරඹීමට රජයෙන් කෝටි 20ක් ආධාර වශයෙන් දීමත් ඇතුළු තීරණ රැසක් එහි දී ගනු ලැබුවා.
වක්‍ර ලේඛ නොබලා සහන සලසන්න ජනපති කියයි
ශ්‍රී ලංකා ව්‍යාපාරික හා ආයෝජන සමුළුව 30 දා පැවැත්වුණේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ය. එයට සහභාගි වූ ජනාධිපතිතුමාට මෙරටට ජාත්‍යන්තරයෙන් ලැබුණු වැදගත් සහතිකයක් පිළිගැනීමට අවස්ථාව ලැබුණා. එම සහතිකය ලබාදුන්නේ එක්සත් රාජධානියේ එෆ්.ඩී.අයි.සඟරාවෙනි. දූපත් රාජ්‍ය 27ක් පිළිබඳව එම සඟරාව කළ පර්යේෂණයකට අනුව අනාගතයේ ආයෝජන සඳහා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණා. එයට අදාළ සහතිකය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලද්දේ එම සඟරාවේ උපකර්තෘ ජැකොපො ඩෙටොනි මහතා විසින්. මුදල් ඇමැති මංගල සමරවීර මහතාත් විශේෂ කාර්ය භාර ඇමැති සරත් අමුණුගම මහතාත් මේ අවස්ථාවට සහභාගි වුණා.
මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස අලුතින් පත්වීම් ලද මහින්ද අමරවීර මහතා වැඩ ඇරඹීමේ අවස්ථාවට ජනාධිපතිතුමා බදාදා සහභාගී වුණා. අමරවීර මහතා භාරදෙන වගකීම් හරියට ඉටුකරන නිසා ඔහුට වැඩි වගකීම් දෙන බව ජනාධිපතිතුමා කීවා. ඔහු දකුණෙන් බිහිවන ප්‍රබල නායකයෙක් වන බවට ජනාධිපතිතුමා අනාවැකියක්ද පළ කළා. මහවැලිය යටතේ අලුතින් පටන් ගන්නා ව්‍යාපෘති සියල්ල අමරවීර මහතාට භාරදෙන බව ජනාධිපතිතුමා කීවා. වයඹට හා උතුරට ජලය ලබාදීමේ ව්‍යාපෘති මෙන්ම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ද පැවරෙන්නේ මහින්ද අමරවීර රාජ්‍ය ඇමැතිතුමාට බව ද පැවසුවා. මේ වගකීම් දී තිබෙන්නේ ධීවර ඇමැති තනතුරේ වගකීම්වලට අමතරවයි.
රාජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙක් නව තනතුරුවල දිවුරුම් දීම ජනාධිපතිතුමා ඉදිරියේ සිදුවූයේ බදාදා දවසේදීයි. එහි දී ජනාධිපතිතුමා සිදු කළේ අලුතින් පත්වූ ඇමැතිවරුන්ට ගැළපෙන පරිදි නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය ක්ෂේත්‍ර වෙනස් කිරීමයි. එමගින් සංවර්ධන කටයුතු වේගවත් වනු ඇතැයි ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.
ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු සහ නිලධාරීන් අරලිය ගහ මන්දිරයට කැඳවා ආපදා තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නා. එහිදි ආපදාවන්ට ලක් වූවන්ට සහන ලබා දීමට මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසද අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයට නියෝග කළා. පවතින නීතිය බාධාවක් කර නොගෙන අවශ්‍යතා අනුව ඉන් පරිබාහිරව කටයුතු කර විපතට පත් ජනතාවට සහන ලබා දෙන ලෙසද අගමැතිවරයා රජයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.
ගංවතුර හා හදිසි ආපදා තත්ත්වයෙන් බිඳ වැටුණු වෙළඳ ව්‍යාපාර හා ව්‍යවසායන් යළිත් ශක්තිමතාව නඟා සිටුවිමට සෞභාග්‍යා සහ ස්වශක්ති ණය යෝජනා ක්‍රම හරහා රුපියල් කෝටි 200ක් වෙන් කළ අගමැති වික්‍රමසිංහ මහතා හානි සිදු වූ ජනතාවට සහන සැලසීමට, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සහ එම ප්‍රදේශවල ආර්ථිකය නැවත ගොඩ නංවා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම ගැන සොයා බැලීම සඳහා කබීර් හෂීම්, තිලක් මාරපන සහ ඩි.එම්. ස්වාමිනාදන් මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. මෙයට රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ද ඇතුළත් කළා.
එම ප්‍රදේශවල ව්‍යාපාර නැවත ආරම්භ කිරිමටත් ආර්ථිකය නැවත නඟා සිටුවීමටත් හැකි ඉක්මනින් බැංකු කටයුතු ආරම්භ කිරිමටත් අගමැතිවරයා මහ බැංකුවට උපදෙස් දුන්නා. ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයත්, සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යාංශයත් මගින් විදේශ ආධාර ලබා ගැනිම, රජයේ අරමුදල් ලබා ගැනීම සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර ලබා ගැනීම පිළිබඳව සැලසුම් සකස් කිරීමටත් අගමැතිවරයා උපදෙස් ලබා දුන්නා.
විපතට පත් ප්‍රදේශවල පදිංචි ජනතාව විසින් පුද්ගලික හා රාජ්‍ය බැංකුවලින් ලබා ගත් පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයන් ලබා දෙන ලෙසත් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් මහ බැංකුවට උපදෙස් ලබා දුන්නා. එසේම ගංවතුර නිසා ආර්ථික කටයුතුවලට සිදු වූ පසුබෑම සම්බන්ධයෙන් වාර්තාවක් ජුනි 02 දාට පෙර දිසාපතිවරුන්ගෙන් කැඳවන ලෙසත් අගමැතිවරයා උපදෙස් ලබා දුන්නා.
ගංවතුරෙන් හානි වූවන් සඳහා ගෙවිය යුතු රක්ෂණ වන්දි මුදල් ගෙවීම කඩිනම් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත් රක්ෂණ සමාගම් සහ රාජ්‍ය රක්ෂණ මණ්ඩල වෙත නියම කළා.
මේ සියලුම පියවර ගැනිමෙන් පසුව අගමැති වික්‍රමසිංහ මහතා 27 දා අමෙරිකාව බලා පිටත්ව ගියේ මාස ගණනාවකට පෙර වෙන් කර ගත් වෛද්‍ය පරික්ෂණයක් සඳහායි. එම වෛද්‍ය පරීක්ෂණය සිදු නොකළහොත් නැවත එම වෛද්‍යවරුන් වෙන් කර ගැනීම සඳහා මාස ගණනාවක් ගත වන හෙයින් වික්‍රමසිංහ මහතා අමෙරිකාව බලා ගියත් එහි ගිය අවස්ථාවේ සිට පැය හයෙන් හයට කථා කරමින් ආපදා තත්ත්වය විමසමින් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළා.
2015 මහ මැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට ගිය අවස්ථාවේ දී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියාවෙන් අප රටට ලැබුණු සුව සැරිය 1990 ගිලන් රථ සේවාව මෙම ගංවතුර විපතේ දී කළ සේවාව බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. මේ ගිලන් රථ සේවාවට මුල දී විරෝධය දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන්ම රෝගීන් වෙනුවෙන් මෙම ගිලන් රථ සේවාව යොදා ගැනීම විශේෂත්වයක් වුණා.
තිලක් ස්වාමිනාදන් කබීර්ට අගමැතිගෙන් වගකීමක්
ගංවතුර විපත සැළවෙමින් පවතිද්දි සිය අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සිය අමාත්‍යංශය වෙත කැඳවූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ වහාම ගම්මානවලට ගොස් සිදු වී ඇති අලාභහානි සොයා බලා අවශ්‍ය ප්‍රතිපාදන සහ යන්ත්‍ර සූත්‍ර රැගෙන ගොස් සහන සැළසීමට එක්වන ලෙසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට ගිය සජිත්ට දැනගැනීමට ලැබුණේ තංගල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පානීය ජල ව්‍යාපෘති 4ක් ගංවතුරෙන් සහමුලින්ම අකර්මණ්‍ය වී පැවතීම නිසා පවුල් 25, 000 කට වැඩි ප්‍රමාණයක් උග්‍ර ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටින බවයි. සජිත් සිය පරිත්‍යාගශීලී හිතවතුන් එකිනෙකා වෙත දුරකථන ඇමතුම් දෙමින් කීවේ “තත්ත්වය භයානකයි හැමතැනම ගංවතුර…ජනතාවට බොන්න වතුර නෑ!” කියාය . ඒ අනුව හිතවතුන් වතුර බෝතල ඇසුරූ ලොරි ගණනාවක් කොළඹින් පිටත් කර යවද් දී තංගල්ලේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා උප දිසාපති කොට්ඨාස 8 තුළ ඒවා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් බෙදා හැරීමද සජිත් සියලු කටයුතු සූදානම් කර තිබුණා.
සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට හා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන ලෙස දන්වා තිබුණත් සජිත් කෙළින්ම ජනාධිපතිවරයා අමතා දැනුම් දුන්නෙ ඉතා භාරදූර කාර්යයක නියැළී සිටින නිසා තමන් ඒ රැස්වීම්වලින් නිදහස් කරන්නැයි කියායි.” “හරි හරි මං දන්නවා. ඔයා වැඩේ කරගෙන යන්න” ජනාධිපතිවරයාගේ පිළිතුර වුණා.
වජිර දිසා ලේකම්වරු ඉක්මනින් යවයි
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේප්‍රධානත්වයෙන් මාස දෙකකට වරක් පැවැත්වෙන දිසාපති සමුළුව මෙවර පැවැත්වුයේ ඉකුත් 25දාය. ඒපාර්ලිමේන්තුවේදීය. එය 25 සහ 26 යන දෙදින තුළම පැවැත්වීමට නියමිතව තිබුණා. 25 වන දින රාත්‍රිය වන විට ඇමැති වජිරට දැන ගැනීමට ලැබුණේ එදිනදවස පුරාම ඇද හැළුනු වැස්ස නිසා දිස්ත්‍රික්ක ගණනාවකම ගංවතුර තත්ත්වයක්ඇති වී ජනජීවිතයට විශාල බලපෑමක් වී ඇති බවයි.
ඒ වන විටත් දිසාපති සමුළුව නිසා දිවයිනේ සියලුම දිසාපතිවරු කොළඹටපැමිණ සිටියා. ඇමැති වජිර හදිසි ආපදාව ඇතිවු ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල දිසාපතිවරු ඒමොහොතේම අදාළ දිස්ත්‍රික්කවලට පිටත් කර හැරීය. සිදු වී තිබෙන ආපදාව, වහා ගත යුතු පියවර පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස ඇමැති වජිර එම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා.
පසුදින 26 සිකුරාදා උදෑසනම සිය අමාත්‍යාංශයට පැමිණියේ ඇති වී තිබෙන ආපදාතත්ත්වය පිළිබඳ සංවිධානය කර තිබු මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවට එක්වීමටය. එය වහා අවසන් කර අරලියගහ මැදුරට ගියේ අගමැති රනිල්වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද හදිසි ආපදා කමිටු සාකච්ජාවට එක්වීමටය. එහි දී රාජ්‍ය නිලධාරීන්ට හා ආරක්ෂක අංශ නිලධාරීන්ටගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව ඇමැති වජිර උපදෙස් දුන්නා.
ඉකුත් 27 සෙනසුරාදා නිල සංචාරය නිමවා දිවයිනට පැමිණි ජනපති මෛත්‍රී සමඟ වජිර කළුතරට ගියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ආපදාව පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ජාවට එක්වීමටයි .ඇති වු හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් මහජනතාව පිළිබඳව සොයාබැලීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත වජිර අබේවර්ධන මහතා ඉකුත් සෙනසුරාදා ආපදා ඇතිවු රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සංචාරය කළා.එහි දී අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දීම හා ආපදාවට පත්වු ජනතාවගේ ජීවිත බේරා ගැනීම් හා ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලීමටත් ඇමැතිවරයා කටයුතු කළා.
ඉන්දීය ගිලන් රථවලින් වෛද්‍යවරු වැඩ ගනී
එම දිස්ත්‍රික්කවල ජල ගැලීම් හේතූවෙන් බොහෝ මාර්ග අවහිර වී කිසිඳු සම්බන්ධන මාර්ගයක් නොමැති පසුබිමක එහි සිටි නිලධාරීන්ද තීන්දු, තීරණගෙන ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතාවයක පසු විය.
වජිර අබේවර්ධන ඇමතිවරයා ජල ගැලීම් හේතුවෙන් ළඟාවීමට නොහැකි ප්‍රදේශ සඳහා ගොස් නිලධාරීන්ට උපදෙස් දී අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි යොමු වුණා.
28 ඉරිදා උදෑසනින්ම ගිංගඟ ව්‍යාපෘතියට අයත් බද්දේගම වේල්ලේ ජල කාන්දුවපිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඇමැති වජිර බද්දේගමට ගියේය. වජිර එහි යන විටදකුණේ මහ ඇමැති ශාන් මෙන්ම නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර ද එහි සිටියා. වේල්ල නිරීක්ෂණය කළ මෙම පිරිස ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඉන්පසු ගාල්ලේ පැවැති ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගී වීම සඳහා වජිර, ශාන්, මනුෂ ගාල්ලට පැමිණියා. මේ විපතේ දී දකුණු පළාත් සභාව ද ඒ සඳහා මැදිහත් වුණා.
ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විදෙස්ගත වූයෙන් පසුගිය 24 දින පටන් නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා ආපදා කළමනාකරණ වැඩබලන ඇමැති වශයෙන් වගකීම් භාරගත්තා.
ආරක්ෂක ලේකම්ට ගන්කන්දගෙන් කරදර
25 වනදා දිවයිනේ නිරිතදිග කලාපයට මහ වැසි ඇද වැටෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබුණා. 26 වනදා උදෑසන 10.01 ට බලන්ගොඩ පින්නවල හිටුවල විහාරස්ථානයේ ආගමික උළෙලකට ගන්කන්ද මහතාට ඇරයුම් ලැබී තිබුණා. 25 වනදා රාත්‍රියේ කොළඹ විද්‍යා මාවතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගිය ගන්කන්ද මහතා 24 පැය පුරා ක්‍රියාත්මක එම ආයතනයේ වැඩකටයුතු යොසා බැලුවා. පැය 2කට අධික කාලයක් එම ස්ථානයේ නිලධාරින් සමඟ ගත කළ ගන්කන්ද මහතා පැල්මඩුල්ල බලා පිටත්වූයේ පසු දින එනම් 26 බලන්ගොඩ හිටුවල විහාරස්ථානයේ උත්සවයට සහභාගිවීම සඳහායි.
ගන්කන්ද මහතා පැල්මඩුල්ල සිය නිවසට පැමිණෙන විට උදෑසන 3.00 පමණ වුණා. ඒ මොහොෙත් පටන් ගන්කන්ද මහතාට ලැබුණු විවිධ දුරකතන ඇමතුම් අසුබදායක අනාවැකිවලින් යුතු වූවා. බොහෝදෙනකු සඳහන් කළේ වැස්සේ තරාතිරම අනුව නම් රත්නපුරේට මහා විනාශයක් සිදුවනු නො අනුමාන බවයි. ඒ මොහොතේ පටන් දුරකතන ඔස්සේ විවිධ නිලධාරින් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද බොහෝ දෙනකු එම මහ වැසි මැද පසු වූයේ නිදි සුවයෙන්. කෙසේ වෙතත් උදෑසන 6.00 වනවිට රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතානේගම මහත්මිය දුරකතයෙන් සම්බන්ධ කරගැනීමට ගන්කන්ද මහතාට හැකිවුණා.
මේ වනවිට ආපදාවට පත්වූ ප්‍රදේශවලින් නිමක් නොමැතිව ඇමැතිවරයාට දුරකතන පණිවිඩ ලැබෙමින් තිබුණු අතර, ගන්කන්ද මහතා ඒ සෑම ස්ථානයක් සඳහාම මුදාගැනීමේ කණ්ඩායම් යොමුකළා. කෙසේ වෙතත් පවත්නා බරපතළ තත්ත්වය හමුවේ යාන්ත්‍රික බෝට්ටු පමණක් නොව ගුවන් යානාවල අවශ්‍යතාවයද වටහාගත් ඇමැතිවරයා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට මොහොතින් මොහොත දුරකතන ඇමතුම් දෙමින් ත්‍රිවිධ හමුදාවම මෙම කටයුත්ත සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව පුන පුනා දැනුම් දුන්නා.
ඒ වනවිටත් ගන්කන්ද මහතා පදිංචි නිවස ප්‍රධාන මාර්ගයට යාවන සියලු පිවිසුම් මාර්ග ගංවතුරට ගොදුරු වී තිබූ අතර, ප්‍රදේශයේ පැරන්නන් සඳහන් කළේ මතක ඇති කාලෙක දෙනවක ගඟ මෙතරම් පිටාර නොගැලූ බවයි. උදෑසන 8.30 ට අගමැති කාර්යාලයේ ගංවතුර සහ නායයාම්වලට අදාළව හදිසි සාකච්ඡාවකට සහභාගි වන්නැයි ගන්කන්ද මහතාට දුරකතන පණිවුඩයක් ලැබුණේද ඔය අතරතුරේයි. එහෙත් ගන්කන්ද මහතා එදින මද්දහන වනතුරු හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ කරගනිමින් අවශ්‍ය ස්ථාන වෙත ගුවන් යානා, යාන්ත්‍රික බෝට්ටු සහ ඔරු පාරු යොමුකිරීමේ දැවැන්ත මෙහෙයුමක යෙදී සිටියා.
කෙසේ වෙතත් 26 සවස 4.00ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවතෙන රැස්වීමට වැඩබලන ආපදා කළමනාකරණ ඇමැතිවරයාගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බවට කොළඹින් දිගින් දිගටම ඇමතුම් ලැබුණා. දුමින්ද දිසානායක ඇමැතිවරයාද එම රැස්වීමට ගන්කන්ද මහතාගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව සිහිපත් කළා. අවසානයේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ගන්කන්ද මහතාගේ ඉල්ලීම මත ඩිංගි බෝට්ටු සහ පුහුණු සෙබළුන් තිස්දෙනකු රැගෙන කුරුවිට යුද හමුදා කඳවුරට පැමිණීමට නියමිත සැපයූම් ගුවන් යානයක ගන්කන්ද මහතාට කොළඹ බලා ඒමට අවස්ථාව සලසාදිය හැකි බවයි. එහෙත් ගැටලුව වූයේ පැල්මඩුල්ල සිට රත්නපුරය දක්වා රථවාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබීමයි. පසුව ගුවන්යානය පාතකඩ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට ගොඩබැස්විය හැකි බව ආරක්ෂක අංශ දැනුම් දුන් අතර, එම ස්ථානයට ළඟාවීමට ඒ වනවිටත් දෙගොඩ තලා ගලමින් තිබූ දෙනවක ගඟ තරණය කිරීමට ඇමැතිවරයාට සිදුවුණා.
පසුගිය 25 හා 26 දෙදින ඇරඹුණු වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑ ගංවතුර හා නායයෑම් තත්ත්වය හමුවේ ජවිපෙ නායකයෝ රතු තරුව සමඟ සහන සේවා කටයුතුවලට මැදිහත්වීමට තීරණය කළා. එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ වැටුප් අරමුදල්වලින් විපතට පත් ජනතාවට සහන ලබාදීමටද ජවිපෙ තීරණය කළා.
පක්ෂ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස අැතුලු ජවිපෙ නායකයෝ ආපදාවට පත් දිස්ත්‍රික්කවලට ගියා. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා කළුතර දිස්ත්‍රික්කයේ කටයුතු සොයාබැලූ අතර ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා 26 සහ 28 දෙදින සහන සේවා කටයුතුවලට එක්වුණා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, මිල්ලනිය, හොරණ, ඉංගිරිය ප්‍රදේශවල සහන සේවා කටයුතු දියත් වූ අතර කළුතර, දොඩංගොඩ, බුලත්සිංහල, මතුගම යන ප්‍රදේශවල සෞඛ්‍ය කඳවුරු පැවත්වීම කටයුතු කළා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේම දිස්ත්‍රික්කයේ ජනතාව සෞඛ්‍ය සේවා අඩපණවීම නිසා අසරණව සිටීම හමුවේ මෙම මැදිහත්වීම ජනතාවගේ මහත් පැසසුමට ලක්වුණා.
ජවිපෙ රතු තරුවත් සහන සේවාවේ
මාතර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයකට ගංවතුරින් දැඩි බලපෑම් එල්ලකර තිබූ අතර ජනජීවිත මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබුණා. මේ ප්‍රදේශවල රතු තරුව සහන සේවා සම්බන්ධීකරණය සුනිල් හඳුන්නෙත්තිගේ මැදිහත්වීම යටතේ සිදුවුණා විශේෂයෙන් මාතර තිහගොඩ ප්‍රදේශයේ ගම්මාන 30ක ප්‍රමාණය දැඩි ගංවතුර හමුවේ පීඩාවට පත්ව තිබූ අතර එම ප්‍රදේශයේ සහන සේවා සැපයීමේට ජවිපෙ නායක අනුර දිසානායකද සුනිල් හඳුන්නෙතත්තිට එක්වුණා. ”දේශපාලන පක්ෂයකට නායකයෙක් විදියට ඔබතුමා විතරයි අපිව බලන්න ආවේ. මේ වගේ වෙලාවක ඔබතුමා දකින්න ලැබීමත් සතුටුයි.” ජනතාව සිය ප්‍රසාදය පළ කළා. මාතර මොරවක්කන්ද ප්‍රදේශයේ ජවිපෙ සාමාජිකයෙකුගේ පවුලේ දසදෙනකු පමණ ගංවතුරින් මියගොස් තිබිය දී ඔහු වරල්ල සහන මධ්‍යස්ථානයට සම්බන්ධවී විපතට පත්වූවන් වෙනුවෙන් වැඩකිරීම සියල්ලන්ගේ අවධානයට යොමු වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලේ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ උතුරු මැද පළාතේ මධ්‍යම පළාතේ හා වෙනත් පළාත්වල පක්ෂ බල තුලනය හා පළාත් හා පළාත් ආණ්ඩු බලය පෙරළීම ගැන සාකච්ඡා කිරීමටයි. උතුරු මැද පළාතේ පළාත් සභා මන්ත්‍රීන්ගෙන් මහ ඇමැති පේෂල ජයරත්න මහතාට එරෙහිව ගත් දිව්රුම් ප්‍රකාශ ආණ්ඩුකාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත්, මුලින් දිව්රුම් ප්‍රකාශ දුන් දෙදෙනකු පසුව ඇමැති ධුර ලබාගැනීමත් නිසා ඇති වූ තත්ත්වය ගැන එහි දී කතාබහ කළා. එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ කිහිපදෙනකු කළ පාවාදීම නිසා පළාත් සභාවේ බල පෙරළියේ උත්සාහය අසාර්ථක වූ බවයි.
මෙම පළාත් සභා මන්ත්‍රීවරුන්ට හිටපු ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ පළාතේ ආණ්ඩු බලය ගැනීමට උත්සාහ දැරීම නවතා දමා ඉදිරියේ එන මැතිවරණයට සූදානම් වන ලෙසයි. උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත්වල මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන බවත් එම මැතිවරණවල දී වැඩි මන්ත්‍රීන් පිරිසක් පත්කර යැවීමට උත්සාහ දරන ලෙසත් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ පවතින නීතිමය තත්ත්වය හමුවේ උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභාවල නිල කාලය දීර්ඝ කිරීමේ හැකියාවක් නැති බව හා එම ඡන්ද පවත්වන්නට සිදුවන බවයි.
ඒකාබද්ධය සැලැස්ම අකුලා ගනී
රටේ දිස්ත්‍රික්ක 14කට බලපෑ ගංවතුර හා නායයාමෙන් සිදුවූ විපත හමුවේ ඒකාබද්ධ විපක්ෂය ද තීරණය කළේ මේ අවස්ථාවේ දී භේද ඇතිකරගැනීම නුසුදුසු බවයි. විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා වාද භේද නොතකා ක්‍රියාකරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක්ද කළා. ඒ අතර රජය ප්‍රමාණවත් ලෙස සහන නොසලසන බව ද කීවා.
උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ රජයේ මුදල් වියදම් කිරීම රජයේ තනි මතයට කළ නොහැකි බවයි. මෙම ආපදාවෙ දී විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා කරන වියදම් පාර්ලිමේන්තුවෙන් අනුමත කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩුව හා විපක්ෂය එක්සත්ත්ව ක්‍රියාකිරීම අවශ්‍ය බවත්ය.
විපතට පත්වූවන්ට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම තමා අගය කරන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා. ඒ සමඟම ඔහු කීවේ සහන සැලසීමට රජය ප්‍රමාණවත් කාර්යයක් ඉටුනොකරන බවයි. ත්‍රිවිධ හමුදාව යොදා මහජනයාට සහන සැලසීමට ක්‍රියා කරන්නේ රජය බව ඒ මහතා කීවේ නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා තිස්වැනිදා කළුතර ප්‍රදේශයේ සංචාරය කළේ ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ දුක සැප විමසා බැලීමට යි. ඒ මහතා යන විට එම ප්‍රදේශවල ජලය බැසගොස් තිබූ අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණා.
රාජපක්ෂ මහතා බදාදා ජපානය බලා පිටත්ව ගියේ යෝෂිත රාජපක්ෂ මහතාද සමඟයි. එම ගමනේ දී ඔහු ජපන් අධිරාජ්‍යයා හමුවීමට අපේක්ෂා කරන බවත්, ජපන් රජයේ මැති ඇමැතිවරුන් මුණගැසී සාකච්ඡා කරන බවත් දැනගන්නට තිබෙනවා.

