වෙසක් සැරසිලි සමඟ කළුකොඩි – වසන්ත ප්‍රිය රාමනායක
මෛත්‍රී පාලනයත් සමඟ ම ශ්‍රී ලංකාවට වාසිදායක ජාත්‍යන්තරයක් නිර්මාණය වූ බව මේ වන විට කවුරුන් පිළිගන්නා පොදු සත්‍යයකි. වත්මන් රජයේ විරුද්ධවාදීහු පවා එය බැහැර නොකරති. විශේෂයෙන් ම හිටපු ජනාධිපතිවරයාට අවාසිදායක ලෙසින් පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ ප්රශ්නය හා බටහිර ජාත්‍යන්තරය අපට වාසිදායක ලෙස වෙනස්වීමට පටන්ගනු ලැබුවේ ද වත්මන් මෛත්‍රී – රනිල් පාලනයත් සමඟ ය.
මේ වන විට එම ජාත්‍යන්තර සාධකයගේ වාසිදායක ක්‍රියාමාර්ග රැසක් අපි භුක්ති විඳිමින් සිටිමු. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනා වෙනස්වීම, ඒවා ක්‍රියාත්මක කිරීමට දිගින් දිගටම කල් දීම, යුද අධිකරණ චෝදනා හා විදුලි පුටු ප්‍රශ්න විසඳා ගැනීමට හැකි වීම මෙහි දී රට ලැබු ඉහළ මට්ටමේ ජයග්‍රහණයකි. එසේ ම මේ අතර නඩු විභාග සඳහා දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව පවා වෙනස් කර ඒ ගැනීමට ජනාධිපතිවරයා සමත්විය.
ජී.එස්.පී. ප්ලස් සහනය රටට ලැබීම ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන ජාත්‍යන්තර සහයෝගීතාවයේ තවත් ප්රතිඵලයකි. මෙමගින් අපේ නිෂ්පාදන හය දහස් ගණක් යුරෝපා වෙළෙඳපොළට තීරුබදු රහිතව අපනයනය කිරීමේ අවස්ථාව සැලසේ. මෙම අපනයන වාසිය නිසා රටට හිමිවන අමතර මුදල ඇ. ඩොලර් බිලියන 1.7ක් පමණ යැයි මුදල් ඇමැතිවරයා සඳහන් කරයි. පසුගිය දා ජී.ඇස්.පී. සහනයට අදාළ තවත් කඩඉමක් සාර්ථකව ජයගැනීමට අපට හැකි විය. එනම් යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමයි. එමගින් ශ්‍රී ලංකාවට එම සහනය ලබා නොදෙන්නැයි ගෙන ආ යෝජනාව ඡන්ද තුන්සියකට වැඩි ගණකින් පරාජයට පත්වුණි.
ජාත්‍යන්තර පිළිගැනීම
එම ජයග්රහණයෙන් යළි තහවුරු වන්නේ ජාත්‍යන්තර ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන පිළිගැනීමයි. වත්මන් පාලනයට වසර දෙකක් ගත වී තිබුණ ද ලැබී තිබෙන පිළිගැනීමේ වෙනසක් දක්නට නොලැබෙන බව මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වේ. එසේ ම යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද ශ්‍රී ලංකාවට ලැබී තිබෙන ජාත්‍යන්තර ප්‍රසාදය නැවත අපට කිරා මැන බැලීමට ලැබුණු හොඳ අවස්ථාවකි.
පසුගිය දෙවසර තුළ ලැබුණු මෙවන් ජයග්‍රහණ සමඟින් ජාත්‍යන්තර වෙසක් සැමරුම අප රටට ලැබී තිබීම ද තවත් ජයග්‍රහණයකි. මේ සඳහා අපට වඩා තවත් සරුසාර මෙන් ම ධනයෙන් ද ආඪ්‍ය රටවල් ඇති බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. බෞද්ධ රටවල් 64ක රාජ්‍ය නායකයන් හෝ නියෝජිත කණ්ඩායම් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසෙක් උළෙලට හා සැමරුමට සහභාගි වෙති.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර වෙසක් සැමරුම ඇරඹීමට ශ්‍රී ලංකාවට පැමිණේ. මෙම වෙසක් සතිය මෛත්‍රී පාලනය යටතේ ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර අවධානයට යොමු වන අවදියක් වනු ඇත. එය දේශපාලන භේද පසෙක දමා රටක් වශයෙන් ගෙන සතුටු විය යුතු කරුණකි. එසේ ම ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍ය පිළිවෙත ගෞරවයට පාත්රවීමක් ලෙසින් ද සැලකේ. මේ වන විට ජාත්‍යන්තර වෙසක් සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෞද්ධ, අබෞද්ධ කාගේත් මෙන් ම සියලුම ජාතීන්ගේ පැසසුමට ලක්ව ඇත. පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කළේ මෙවර සමහර ක්‍රිස්ත්‍රියානි දේවස්ථාන පවා වෙසක් සැරසිලිවලින් සැරසීමට සූදානමක් පවතින බවයි.
මෙවන් පසුබිමක වෙසක් සැමරුවට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු අගමැතිවරයාට එරෙහිව කළු කොඩි ඔසවන්නැයි ඉල්ලා සිටින සමහරු ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව පෙනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා අනුරාධපුරයේ පැවැති රැස්වීමක දී සඳහන් කළේ මෙසේ ය.
‘අප ඉතා වන්දනා මාන කරන ගරු කරන බුදු පියාණන් වහන්සේ උපත සිදු වූ රටේ අගමැති, නරේන්ද්‍ර මෝදි මැතිතුමාට අප ආරාධනා කර තිබෙනවා. එතුමා ලංකාවට පැමිණෙනවා. ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩ සටහනක් සඳහා. මම දැක්ක සමහර අය කියල තිබුණා ඉන්දීය අගමැතිතුමා එන දවසේ කළු කොඩි ඔසවන්න කියලා. මේ ජාත්‍යන්තර වෙසක් උළෙල මේ මහා ලෝක ජනතාවගේ මහා උළෙල. මම අහන්න කැමැතියි කළු කොඩි ඔසවන්න කියන අය බෞද්ධයෝ ද කියලා.” (6.5.2017 මාධ්‍ය)
ෙම් අය ෙබෟද්ධයන්ද?
වෙන විදියකින් සඳහන් කරන්නේ නම් ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ බෞද්ධ කොඩි ඔසවන දිනක කළු කොඩි ඔසවන්න කියන්නේ බෞද්ධයන් ද කියලා ය. බෞද්ධයන් කෙසේ වෙතත් අන්‍යආගම් නියෝජනය කරන අන්තවාදී කොටස්වත් එවන් තැනකට යොමු වන්නේ නැත. කතෝලික පල්ලි පවා වෙසක් සැරසිලිවලින් සරසන අවදියක බලය පදනම් කරගත් ආණ්ඩු විරෝධී අන්තවාදය කොපමණ නරක තැනකට ගමන් කර තිබේ ද යන්න මින් පැහැදිලිය. ඉන්දියානු අගමැතිවරයා වෙසක් කටයුතුවලින් පරිබාහිරව කිසිදු ආර්ථික හා දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවන බව ජනාධිපතිවරයා රටට සහතික වේ.
‘ඉන්දීය අගමැතිවරයා ලංකාවට එන්නේ ගිවිසුම් අත්සන් කරන්න නොවේ. එතුමා එන්නේ ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන්. එහි දී කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ.’(6.5.2017 මාධ්‍ය)
ඒකාබද්ධ පටු අදහස්
ජනාධිපතිවරයා රටට සහතික වන්නේ ඒ අයුරිනි. එසේ ම රටට අහිතකර කිසිදු ගිවිසුමකට කිසිවිටෙක එළඹෙන්නේ නැති බව ද ඔහු ජනතාවට සහතික වේ. මෙවන් පසුබිමක වෙසක් පෝය නිමිතිකර ගෙන පවත්වනු ලබන ජාත්‍යන්තර උළෙලක දී පවා අපට අපේ පටු දේශපාලන මත භේද හා මතිමතාන්තර පසෙකලා කටයුතු කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.
වෙසක් දිනයට පවා ගරු නොකරන අන්දමින් මේ අය කටයුතු කරන බව පෙනේ. ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් හා නායකත්වය පවා මෙවන් පටු අදහස්වල නොමැති බව සත්‍යයකි. එහෙත් මෙවන් අන්තවාදීන් එහි අරක්ගෙන වැරදි තැනකට සමස්ත කණ්ඩායම ම මෙහෙයවමින් සිටින බව පෙනේ. අන්තවාදය විනාශකාරී වන්නේ ඒ නිසා ය. ආණ්ඩු විරෝධය හෝ යු.ඇන්.පී. විරෝධය වෙනම ගෙන සාකච්ඡා කළ යුතු දේශපාලන කරුණකි.
එහෙත් රට තැබිය යුත්තේ ඒ සියල්ලට ඉහළිනි. එහි දී රටේ බලයේ සිටින්නේ කවුරුන්ද දැයි වැදගත් නොවේ. වැදගත් වන්නේ රටයි. ජාත්‍යන්තර වෙසක් සමරුවක ගෞරවය අත් වන්නේ රටට හා බෞද්ධ ජනතාවට ය. දෙවනුව සමස්තයක් වශයෙන් ජාතික හා ආගමික සමගියට ය. දේශපාලන, ජාති, ආගම්, භේදවලින් තොරව රටක සමගිය හා සහජීවනය ගැන කතා කළ හැකි හොඳම දිනය ලෙසින් සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ වෙසක් දිනය පිළිබඳව ගෞරවයක් ඇත.
එය එසේ මෙසේ ගෞරවයක් නොව සීමාරහිත ගෞරවයකි. එවන් දිනක ව්‍යාජ දේශප්‍රේමයක නාමයෙන් රටේ අවුලක් නිර්මාණය කරන්නේ නම් ඒ අය සැබෑ දේශප්‍රේමීන් හා බෞද්ධයන් වන්නේ කෙසේ දැයි කල්පනා කිරීමට අද තරම් වැදගත් දිනයක් නොමැත.
එසේ ම ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව සියලු ජනයාට සමකාමී සහජීවනයෙන් යුතුව ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීමට අදිටන් කළ යුතු හොඳම දිනය වන්නේ ද වෙසක් පුන් පොහොය බව අමුතුවෙන් කිව යුතු නැත.
සැබෑ බෞද්ධයන් අද දින මේ සම්බන්ධයෙන් නිරවුල් මනසකින් කල්පනා කරන්නේ නම් මේ රට හෙට දවසේ කවුරුන් මොන කුමන්ත්‍රණ කළත්, අවස්ථාවාදීව කටයුතු කළත් අවසානාවන්ත රාජ්‍යයක් නොවනු ඇත.
වසන්ත ප්‍රිය රාමනායක
දිනමිණ

