රනිල් ජනාධිපති විදිහට ගිය විදේශ සංචාර ගැන ප්‍රශ්න කරන්න හෙට (22) රනිල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියනවා.හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ රනිල්ගේ පෞද්ගලික සහයිකා සැන්ඩ්‍රා පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන ප්‍රකාශ සටහන් කරගෙන තියනවා.
2023දී රනිල් නිව්යෝර්ක් නිල සංචාරයක් අවසන් කරලා එන අතරතුර ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් මෛත්‍රි වික්‍රමසිංහට මහාචාර්ය පදවියක් පිරිණැමීමේ උත්සවයට සහභාගී වෙලා තියනවා.ඒකට සහභාගීවෙන්න රනිල් රජයේ මුදල් වියදම් කළා කියන චෝදනාව තමයි රනිල්ට එල්ල කරලා තියෙන්නේ.මේ ගැන රනිල්ගේ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරලා තිබුණා.
මීට අමතරව අවස්ථා කීපයකදීම රනිල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කැඳවලා තිබුණා. බටලන්ද කොමිෂන් වාර්තාවට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියනවා.රනිල් නෙවෙයි කවුරු උනත් රටේ නීතියට විරුද්ධ කටයුතු කරලා තියනවා නම් නීතිය ඉස්සරහට ගේන්න ඕනි.ඒ වගේම ඒකෙන් අදාල පුද්ගලයා වැරදිකරුද,නිවැරදිකරුද කියන එක තහවුරු කරගන්න පූළුවන්. ඒක රනිල්ටත් හොඳයි.මෙතනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගය ගැන රටේ රාළ කතා කරන්නේ නෑ.
ඒක කතා කරන්න වෙන්නේ 22වෙනිදායින් පස්සේ. හැබැයි මේ සිද්ධි පිටිපස්සේ තියන දේශපාලනය ගැන කතා කරන්න ඕනි. හිටපු ජනාධිපතිවරුන්ට එල්ලවෙන දේශපාලන ප්‍රහාරය දිහා හොඳන් බැලුවොත් ඔයාලටත් පේනවා ඇති සියලු දෙනාටම පොදුවේ ප්‍රහාරයක් එල්ලවෙන අතරතුර රනිල් සහ මහින්ද ඉලක්ක කරගෙන වෙනම ප්‍රහාරයක් එල්ල වෙනවා.දැනට ජීවතුන් අතර ඉන්න හිටපූ ජනාධිපතිවරුන් අතරින් රනිල් සහ මහින්ද කියන්නේ ලාංකීය දේශපාලනයේ සුවිශේෂී චරිත දෙකක්.
රටේ රාළ එහෙම කියන්නේ චන්ද්‍රිකා හරි මෛත්‍රි හරි හෑල්ලු කරන්න හිතාගෙන නෙවෙයි.අවුරුදු 17ක් තිබුණ එජාප දේශපාලන ආධිපත්‍යය බිමට සමතලා කළේ චන්ද්‍රිකා.එතනදී චන්ද්‍රිකා සුවිශේෂියි.ඒ වගේම රනිල්ට,සරත් ෆොන්සේකට සහ කොටින්ට(යුද්ධයෙන්) පරාද කරන්න බැරිවුන මහින්දව පරාද කළේ මෛත්‍රි.ඒ අතින් මෛත්‍රිත් සුවිශේෂීයි.මෙතනදී රටේ රාළ කියන්නේ ඒ ජාතියේ සුවිශේෂීකමක් ගැන නෙවෙයි.මහින්ද සහ රනිල් යටතේ අපි රටක් විදිහට තීරණාත්මක කඩයිම් දෙකකට මුහුණ දුන්නා.
ඒ තීරණාත්මක කඩයිම් දෙකෙන් එදා අපිට ගොඩයන්න බැරිවුනා නම් අපි තවමත් ඉන්නේ ප්‍රපාතයේ.අනූර අද දාන ඔය හැම සෙල්ලමක්ම දාන්නේ අපි ඒ කඩයිම් දෙකෙන් පැනගත්ත හින්දයි. 2009 දී තිස් අවුරුදු යුද්ධ අවසන් කිරීම එක කඩයිමක්.ඒ කියන්නේ දෙමල බෙදුම්වාදී සන්නද්ධ පෙරමුණ පරාජය කිරීම. ඒක 2005දී ජවිපෙට මහින්ද දුන්න පොරොන්දුවක්.ඒ වෙනුවෙන් තමයි එදා ජවිපෙ මහින්දගේ ඡන්ද සටන අතට ගත්තේ.මහින්ද යුද්ධය තනියෙන් කළේ නෑ කියලා අපිත් දන්නවා.යුධ බිමේදී ෆොන්සේකා දුන්න නායකත්වය සුවිශේෂී එකක්.
ඒ වගේම අනිත් හමුදාපතිවරුත් තමන්ගේ කොටස හරියට කළා. සියලු රණවිරුවොත් එහෙමයි.ඒ යුද්ධයේ යම් වැඩ කොටසක් චන්ද්‍රිකාත් කරන්න ඇති.මෛත්‍රි ඒකට දායක වෙන්න ඇති.හැබැයි එදා මහින්දගේ දේශපාලන නායකත්වය තිබුණේ නැත්තං අපට යුද්ධය දිනන්න බෑ.ඒ වගේම තමයි 2022 රට බංකොලොත් උන වෙලාවේ කිසිම කෙනෙක් රට බාරගන්න ඉදිරිපත් නොවෙන වෙලාවක රනිල් ඇවිත් රට බාරගත්තා.රනිල් රට බාර අරගෙන රට ගොඩදැම්මා.එදා රනිල් ඒ වැඩේ කළේ නැත්තං අපි තවමත් ප්‍රපාතයට වැටෙමිනුයි ඉන්නේ.ඒකත් රනිල් තනියෙන් කරපු දෙයක් නෙවෙයි.
ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රනිල්ට සහය දුන්නා.එයාලගේ වගකීම එයාලා ඉෂ්ඨ කළා.රාජ්‍ය නිලධාරීන්ගේ සහය හම්බවුනා,ඉන්දියාව,චීනය, ජපානය ඇතුළු අපේ ණය හිමියන් සහය දුන්නා.හැබැයි එදා රනිල්ගේ දේශපාලන නායකත්වය නොතිබුණා නං අදටත් අපට මෙහෙමවත් රටක් නෑ.අනුර ඇවිත් ගොඩදාපු රටක් නෑ.අනුරලා තමවත් ජනාතවගෙන් ගුටි නොකා ඉන්නේ රනිල් ගොඩදාපු රටේ කියන එක අනුරට අමතකවෙලා.අනුර මහින්ද ගැන අසීමිත වෛරයකින් කටයුතු කරන බව අපි දැක්කා.
එක වෙලාවක අනුර මහින්දගේ ආරක්ෂාවට දීලා තිබුණ ආරක්ෂක භටයන් හැට ගාන ගැන කිව්වේ වැඩිය කෑගැහුවොත් ඒකවත් දෙන්නේ නෑ කියලයි.අනුර ඒ දවස්වල හැසිරුණේ තඹුත්තේගමෙන් කොළඹ ආපු රස්තියාදුකාරයෙක් වගේ.අනුරට රනිල් ගැන තියෙන්නෙත් එහෙම වෛරයක්.රනිල්ව අත්අඩංගුවට ගැනීමේ පැලවත්තේ සැලැස්මක් ක්‍රියාත්මක වෙන බව ජවිපෙ අභයන්තර ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබෙනවා.රනිල්ට දඬුවම් කරන බව බිමල් පාර්ලිමේන්තුවේදී සපත කරලා කිව්වා. අර මහින්දානන්ද එක පාරක් කිව්වා වගේ රනිල්ව හිරේ දානකම් ටිල්වින්ට සහ බිමල්ට නින්ද යන්නේ නෑ.ඒ වෙනුවෙන් රනිල්ගේ මොකක් හරි වැරද්දක් හොයන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන බව පැලවත්තෙන් එන ආරංචි මාර්ග තහවුරු කරනවා.
ඇත්තටම ඔහොම ගියොත් ඉතින් මොකක් හරි වැරැද්දක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.ඒ අනුව රනිල් ටික දවසක් හරි ඇතුලට දාන්නත් බැරි නෑ.මෙතනදී අනුර මොන තරම් දේශපාලන කුහකයෙක්ද කියලා තේරෙන්නේ පහුගිය දවසක මුදල් අමාත්‍යාංශ ලේකම් විදිහට හිටපු මහින්ද සිරිවර්ධන විශ්‍රාම ගිය වෙලාවේ අනුර විශේෂ සිහිවටනයක් දෙමින් මහින්ද සිරිවර්ධන ගැන විශේෂ ගුණකතනයක් කළා.රට වැටුන වෙලාවේ රට ගොඩදාගන්න මහින්ද සිරිවර්ධන දරපු උත්සාහයට අනුර විශේෂ ප්‍රශංසාවක් කළා.
ඇත්තටම මහින්ද සිරිවර්ධන රට ගොඩදාගන්න විශාල වැඩ කොටසක් කලා කියලා රටේ රාළ කිව්වේ අනුරලා මහින්ද සිරිවර්ධන හිරේ දාන්න ඕනි කියන කාලේ.හැබැයි අනුර එදා රට ගොඩගත්ත රනිල් ගැන වචනයක්වත් කිව්වේ නෑ.රනිල් නැතිව මහින්ද සිරිවර්ධන හිටියා කියලා ඒක වෙන්නේ නෑ.ඒකයි දේශපාලන නායකත්වය සුවිශේෂි වෙන්නේ.අනුරලාගේ අලුත් තියරියට අනුව අනුරලා කරන වැඩවලදී විතරයි දේශපාලන නායකත්ව සුවිශේෂී,අනිත් අය කරද්දී වෙන කවුරු හරි කෙනෙක් තමයි සුවිශේෂි කරන්න හදන්නේ.
අනුරගේ තියරියට අනුව රට බංකොළොත්භාවයෙන් ගොඩ එනකොට රනිල් ලංකාවේ ජනාධිපති වෙලා හිටියා.එච්චරයි.අනුර යුද්ධය ගැන කිව්වෙත් එහෙමයි.සිවිල් යුද්ධය ඉවර වෙනකොට මහින්ද ජනාධිපතිවෙලා හිටියා කියලයි.ඇත්තටම රටේ රාළ මහින්දගේවත් රනිල්ගේවත් දේශපාලනයට එකඟ නෑ.හැබැයි අපේ දේශපාලන ප්‍රතිවාදියෙක් රටට වැඩදායක දෙයක් කරනවා නං ඒක අගය නොකර ඉන්න තරම් අපි කුහක නෑ.ඇත්තටම මෙතන තියන ප්‍රශ්න ඇයි අනුර මහින්ද සහ රනිල් පස්සේ මේ තරම් එලවන්නේ කියන එකයි.
හරි නං අනුරගේ ටාගට් එක වෙන්න ඕනි සජිත්.සජිත්ට අනුරගෙන් කිසිම තර්ජනයක් නෑ.එහෙම තර්ජණයක් වෙන්නත් එපා.ඇත්තටම මොකද්ද මේ වෛරය.මේ වෛරය නිර්මාණය වෙන්නේ බය හින්දයි.එක පැත්තකින් මහින්ද කියන්නේ තවමත් මහජන බලයක් ගොඩනගන්න පුළුවන් සාධකයයි.රනිල් කියන්නේ ඕනිම අර්බුදයක් කලමණාකරණය කරන්න පුළුවන් සාධකයක්.ඒක නිසා අනුර දන්නවා මාලිමාවේ පැවැත්මට තර්ජනය තියෙන්නේ ඔතනින් කියලා.එක්කෝ මහජන බලය ඇතුලේ නැත්තං අර්බුදය ඇතුලේ.
පැලවත්ත එහෙම ටාගට් කරන තවත් කිපදෙනක් ඉන්නවා. එයාලා ගැන අවස්ථාව ආවම කතා කරමු.මේ රටේ ප්‍රභූත්වය සහ මහ සංස්කෘතිය විනාශ කිරීමේ මෙහෙයුමක අනුරලා,ටිල්වින්ලා යෙදිලා ඉන්නවා.මේ සියල්ල කරමින් අනුරලා හරිනි ඇතුළු මාලිමා පාර්ශවය බය කරගන්න උත්සහ කරන බවත් පේනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.