පාරිසරික ජාතිවාදය – අනුර සුරියබණ්ඩාර

විල්පත්තු වනාන්තරයේ සිදුවන මහා වන සංහාරය නවතා දැනට ඉතිරි වී ඇති වනාන්තර ප‍්‍රමාණයවත් රැක ගැනීමට ජාති ආගම් භේදවලින් තොරව එකතු විය යුතු බව සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය කියා තිබුණේ ‘විල්පත්තුව වෙනුවෙන් අපි’ නමැති සංවි”ධානයේ මාධ්‍ය හමුව අමතමිනි. රවීන්ද්‍ර රන්දෙනිය මහතා පමණක් නොව එකී මාධ්‍ය හමුවට තවත් නළු නිළියන් පිරිසක්ද සහභාගී වී තිබුණි.

එපමණක් නොවේ පසුගිය සති අන්ත පුවත්පත්වලද විල්පත්තු වන විනාශය පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව ලිපි පළකර තිබුණි. විල්පත්තුව සුරැකීමේ ජාතික සංවිධානය දෙසැම්බර් 14 වැනිදා විරෝධයකට ආරාධනාකර තිබුණේ “විල්පත්තුවේ අක්කර ලක්ෂයක් ඉල්ලන පරිසර ත්‍රස්තවාදය පැරදවීමට දශ ලක්ෂයක දේශප්‍රේමි එකමුතුවට ඔබත් එක්වන්න” ආදි වශයෙන් කියමිනි.

විල්පත්තුවේ අක්කර ලක්ෂයක් ඉල්ලන ‘ත්‍රස්තවාදය’ ‘දේශප්‍රේමි එකමුතුව’ ආදි වචන ගත් කල්හි එතැන ඇත්තේ පරිසර ප්‍රේමය ඉක්මවා ගිය අරමුණක් බව පැහැදිලිය. අක්කර ලක්ෂයක් ඉල්ලන බව කීවද ඉල්ලන්නේ කවරෙක්ද යන්න ද පැහැදිලි නැත. එසේනම් ඉල්ලුවේ කවුද? කාගෙන්ද? කෙසේද යන වග මේ දේශප්‍රේමින් පැහැදිලි කළ යුතුය.

විල්පත්තුව ගැන උදේඝෝෂණය කරන්නන් උත්සාහ කරන්නේ ලංකාවේ ලොකුම වන විනාශය සිදු වන්නේ විල්පත්තුවේ යැයි පෙන්වන්නටය. ඇත්තෙන්ම විල්පත්තු ප්‍රශ්නය පිටුපස ඇත්තේ පරිසර ආලය ඉක්මවා ගිය ජාතිවාදි ප්‍රශ්නයකි. එනම් මුස්ලිම් විරෝධයකි. පැහැදිලිව කියන්නේ නම් විල්පත්තු වනය උපයෝගි කරගෙන මුස්ලිම් විරෝධයක් මතුකොට දකුණේ සිංහල ජාතිවාදය ඇවිස්සීමේ තැතකි.

ලංකාවේ සිදුවන එකම වන විනාශය විල්පත්තුව නොවේ. අනෙක විල්පත්තුවෙන් අක්කර ලක්ෂයක් කවුරුන් හෝ ඉල්ලු බවක් මෙතෙක් ඔප්පු වී නැත. විල්පත්තුවේ වනය එළිකෙරෙන බවත්, මුස්ලිම් ජනතාව පදිංචි‍කෙරන බවත් සත්‍යයකි. ඔවුන් යුද්ධයට පෙර ඒ ප්‍රදේශවල ජීවත් වූ අය බවයි කියැවෙන්නේ. අවුරුදු තිහක් අතහැර තිබුණු ඉඩම් වනාන්තර බවට පත්වීම පුදුමයක් නොවේ. ඒ නැතත් අවතැන් ජනතාවට කොතැනක හෝ පදිංචියක් ලබාදිය යුතුය. ඔවුන් මුස්ලිම් වරුන් වූ පලියට කඳවුරු වල දිවි ගෙවිය යුතුද? වනාන්තර ගැන රුදාවෙන් කතා කරන අයට අනාථ වූ මිනිසුන්ගේ ප්‍රශ්නය පෙන්නේ නැත. අනෙක ඔය කියන ප්‍රදේශ මෑත අතීතයේ ජනාවාස වශයෙන් පැවති බවට වනාන්තර මැද ඇති මුස්ලිම් පල්ලි සාක්ෂි දරයි. දේශප්‍රේමය ගැන කතා කරන්නන් එසේ කතා කරන්නේ ඒ යථාර්ථය අමතක කරමිනි.

පරිසරයට හානි සිදුවන්නේ යහපාලනය යටතේ කෙරෙන වන එළිපෙහෙළි කිරීම නිසා පමණක්ද? සිංහලයන් නොවන්නන් විසින් වනය එළිපෙහෙළි කරන විට පමණද? වැනි ගැටළු මතු වන්නේ දේශප්‍රේමි පරිසර වාදින්ගේ හැසිරීම අනුවය.

නිදසුනක් වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්‍කයේ පසුගිය වකවානුවේ සිදු කළ වන විනාශය සුළු පටු නැත. මත්තල ගුවන්තොටට එලි කළ වන සංරක්ෂණය සතු අක්කර ගණන 5000කි. අලි ඇතුන් වාසය කළ බිම්ද ඊට අයත්ය.

හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගනය, මිරිජ්ජවිල ආයෝජන කලාපය ආදිය වෙනුවෙන් අක්කර 10000ක පමණ වනාන්තර විනාශ වී තිබේ. කරුවලංකාලිකුලමිනි මෑතදි විනාශ කර ඇත්තේ විල්පත්තුවේ මෙන් පරිවාර වනාත්තර නොව ප්‍රධාන වනයයි.

හෝර්ටන් තැන්න වනය විනාශකෙරෙමින් තිබේ. හල්දුම්මුල්ල, නිල්ගල ආදි තැන්වලත් වන විනාශය සිදුවේ. ඒ ගැන දේශප්‍රේමින් කතා නොකරන්නේ ඒවා කෙරෙන්නේ සිංහලයන් අතින් වන නිසාය. ජාතික සංඝ සම්මේනලනයේ ජාතික සංවිධායක විජිතවංශ හිමි කියන පරිදි විල්පත්තු වනය මුලින්ම එලි කෙරුණේ 2009 දී ය. ඒ වනය මැදින් ඉදිකළ මාර්ගයක් හේතුවෙනි. එකල මෙතරම් විරෝධයක් මතු නොවුණේ කවර හේතුවක් නිසාද?

විල්පත්තුව යනු පරිසර සංවේදි කලාපයකි. එයට විරෝධය පෑමද අසාධාරණ නොවේ. නමුත් සියලු විරෝධතා විල්පත්තුවටම ඉලක්ක කෙරෙන්නේ යටි අරමුණකින් යුතුවය. එකී යටි අරමුණ නම් රිෂාඩ් බදියුදින් විරෝධයයි. එනම් ඔහුගේ මූලිකත්වයෙන් යුතුව මුස්ලිම් ජනයා පදිංචි කරන්නේය යන්නයි. කිසිවකු නොපවසන කතාව වන්නේ රිසාඩ් ඇමති අතින් ක්‍රියාවට නැ‍ඟෙමින් තිබෙන්නේ ජාතික භෞතික සැලැස්ම බවයි. එකී සැලැස්ම වරදක් නම් එය පරිසර අමාත්‍යංශයේ වගකීමෙන් කොටසක්ද වේ. විලපත්තු ප්‍රශ්නය සංවාද කළ යුත්තේ ඒ සියල්ල අවධානයට ලක්කරමිනි.

රවීන්ද්‍ර රන්දෙනිය මහතාගේ ප්‍රකාශයේ ‘විල්පත්තුව හොඳ කේන්ද්‍රයක් රට රැකගන්න, ඉතාම සාර්ථක ලෙස මහපොළොව විනාශ කරමින් ඉන්නවා. අපට දේශපාලනයක් නැහැ. වනාන්තර හැම මිනිහෙකුටම අයිතියි.’ ආදි කරුණු අඩංගුවේ. ඔහුට දේශපාලනයක් නැති බව කීවද රවීන්ද්‍ර රන්දෙනිය මහතාගේ හඬ පිටුපස ඇති හස්තය කාගේදැයි අවබෝධකර ගැනීම අපහසු නැත. විල්පත්තුව හරහා රට රැකගැනීම අරමුණ බව ඔහු පවසන බැවිනි. මේ දිනවල ව්‍යවස්ථා මරඋගුල ආදියෙන් රට රැකගැනීමට කැපවී සිටින්නේ කවුරුන්ද යන වගත් ඒ කණ්ඩායම් සමග රවීන්ද්‍ර රන්දෙනිය ආදින් ගේ අතීත සම්බන්ධතාත් සිහිපත් කර ගැනීම මෙ‍හිදී වැදගත් වේ.

ඉදිරියේ ඇත්තේ මැතිවරණ කාලයකි. එසේම, 2020 මැතිවරණය අරමුණු කරගනිමින් දියත් කළ වැඩ සටහන් ද මේ මොහොතේ කල එළි බසිමින් තිබේ. රවීන්ද්‍ර රන්දෙනිය මහතාත් රජ ගෙදරට හේත්තු වී සිටි කාලයේ එළි පෙහෙළි කළ හම්බන්තොට වනාන්තර සම්බන්ධයෙන් ඇති නොවූ කැක්කුමක් විල්පත්තුව සම්බන්ධයෙන් මතුවීම පිටුපස ඇති සැබෑ හේතු වටහා ගත හැකි වන්නේ ඒ සියල්ල පිළිබඳව තුලනාත්මකව කල්පනා කළහොත් පමණි.

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන්නේ නම් ඊට විරුද්ධ විය යුතුය. විල්පත්තුවේ පමණක් නොව අනෙකුත් ස්ථානවල සිදුවන වන විනාශයන්ද පිටුදැකිය යුතුය. එය කළ යුත්තේ දේශප්‍රේමයෙන් නොවේ. ත්‍රස්තවාදය ගැන භීතියක් වපුරමින්ද නොවේ. පරිසර හිතකාමී මෙනේම ජනතාවාදීව  කල්පනා කරමිනි.

අනෙක් කරුණ වන්නේ වනාන්තර රැකීමට උනන්දු වන තරමටම කිසිවකු අනෙක් ආකාරවල පරිසර විනාශ ගැන උනන්දු නොවීමය. නිදසුනක් වශයෙන් කොකා කෝලා සමාගම කැළණි ගඟට තෙල් මුසුකර තිබුණේ මීට වසර දෙකකට පමණ කලිනි. ඒ අපද්‍රව්‍ය ගඟට මුසුවී තිබුණේද අපද්‍රව්‍ය බැහැර කරන නළයක් ඔස්සේය. ඉන් කියැවුණේ කොකා කෝලා සමාගමේ අපද්‍රව්‍ය නළයකින් කැලණි ගඟට මුසුකරන බවයි. විල්පත්තුව ගැන හඬ නඟන මාධ්‍ය හෝ සංවිධාන හෝ ඒ ගැන මහලොකු විරෝධයකට පෙළඹුණේ නැත. අද එම සමාගම යළි පරිසර බලපත්‍රද ලබාගෙන ව්‍යාපාර කටයුතුවල යෙදී සිටී.

තැන තැන එකතුවෙන පොලිතීන්, ප්ලාස්ටික් ආදිය සම්බන්ධයෙන් ද එසේ මය. අවම වශයෙන් නිසි ලෙස කැළි කසල බැහැර කරන සිරිත පොදු ජනතාව තුළ ඇති කරන්නට හෝ මේ පරිසර සංවිධාන උත්සාහයක් නැත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *