මෛත්‍රි මහින්ද දැනටමත් ප‍රාදයි – අනුර සූරියබණ්ඩාර

ඉස්සරහට තැබූ පය පස්සට ගන්නේ නැතැයි කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පම්පෝරි ගැසුවේ, නොවැම්බර් 07දා රාත්‍රියේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රි කණ්ඩායම හමුවේ කතාකරමිනි. ඉස්සරහට ගත් පය යනුවෙන් ඔහු එහි දී අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකාරී ලෙස අගමැති පුටුවේ වාඩි කරවීමය බව පැහැදිලිය. ඔහු තමාගේ ප්‍රකාශය අනුව කටයුතු කළේ නම් විය යුතුව තිබුණේ, පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත පුදගලයා තමා විසින් අගමැති ධුරයේ පිහිටවනු ලැබූ බව පාර්ලිමේන්තුවේදී ඔප්පු කරන්නට කටයුතු කිරීමය. නමුත් එසේ වූයේ නැත. ඒ වෙනුවට සිද්ධ වුයේ පම්පෝරියෙන් රැය දෙකක ගෙවෙන තැන එනම් නොවැම්බර් 09 දා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නටය.

ඒ අනුව මේ වන විටත් ඉදිරියට තැබූ පය පස්සට ගන්නට මෛත්‍රිපාල සිරිසේනට සිදු වී තිබේ. තමා පත්කළ කුමන්ත්‍රණ අගමැති සහ කුමන්ත්‍රණ කැබිනට් මණ්ඩලය සමග තමාට නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබෙන වසර හතර හමාරක කාලය දක්වා ඉදිරි මාස 18 ක පමණ කාලය ඉදිරියට යාමට මෛත්‍රිට නොහැකිවූයේ මන්ද යන්න මෙහිදී සලකා බැලිය යුතුය. තර්කයක් නැත. එයට බල පෑ එකම හේතුව ඔහුගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට හැකියාවක් නොමැති වීමය.

අගමැති තනතුරට මහින්ද පත් කිරීමෙන් මෛත්‍රිට සිදු වුයේ කැලේ සිටිය නයකු ඔඩොකකුවේ දා ගත්තා වැනි දෙයකි. පළමු කොටම එකී ක්‍රියාව හේතුවෙන් මුල පටන්ම මෛත්‍රි සමග එක්ව සිටි මහින්ද ගේ දූෂිත පාලනයට අවංකවම විරුද්ධ කණ්ඩා‍යමේ සහයෝගය ‍මෛත්‍රිටත් මහින්දටත් දෙදෙනාටම අහිමි විය. දුමින්ද දිසානායක වැන්නන් අමැතිකම් ගැනීමට පස්ස ගැසීමෙන් ඒ බව තහවුරු විය. විශේෂයෙන්ම තමාට ජනාධිපති ධුරයට පත්වීමට සහයෝගය දුන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආශිර්වාදය මහින්දගේ කරට අත දමා ගැනීමත් සමගම මෛත්‍රිට අහිමි විය. ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා හිතවාදි පිරිසගේ සහය මෛත්‍රිට ලැබීම ද අඩමානයට ගියේය. අඩුමතරමින් සති දෙකක් තිස්සේ කැබිනට් මණ්ඩලය පත්කර ගන්නටවත් මෛත්‍රි මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුවට නොහැකි වු බව දැන් රටම දන්නා කරුණකි. පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වූ සහය ලැබුණේ නම්, කැබිනට් මඩුල්ල පත්කර මහින්ද බලය පෙන්වා වැඩට බසිනු මිස පාර්ලිමේන්තුව විසුරුවන පියවර ගන්නේ නැත.

තැබු පය පස්සට ගන්නේ නැතැයි මෛත්‍රි පුරසාරම් දොඩනවිටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නැයි ඉල්ලා මන්ත්‍රි 125 දෙනකු ගෙන් කතානායක වරයාට ඉල්ලීම් ලැබී තිබුණි. පාර්ලිමේන්තුවේ සරල බහුතරය යනු මන්ත්‍රි 113ක් නම් පාර්ලිමේන්තුව කල්තැබීම නීති විරෝධි ලෙස සලකා බහුතරය ස්ථාපිත කරන්නැයි ඉල්ලීම් කළ සංඛ්‍යාව ඊට 12 දෙ‍නකුගෙන් වැඩිය. මෛත්‍රි බලය රැක ගැනීමට ගැසු තුරුම්පුව අවලංගු වී ඇති බව එයින්ම ප්‍රකාශමාන විය.

එපමණක් නොවේ, ව්‍යවස්ථා විරෝධීව බලය ඇල්ලීමට ගත් කුමන්ත්‍රණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම කියා තිබුණේ, කැබිනට් ඇමති ධුර බාර නොගැනීමට ඒකාබදධයේ මන්ත්‍රිවරුන් තීරණය කළ බවයි. ඔහුගේ එම ප්‍රකාශය පළ වී තිබුණේ, ඔක්තෝම්බර් මස 31 පුවත්වල වුවත් ඊට දින කිහිපයකට පසුව ඒකාබද්ධ විපක්ෂයේ ලොකුම කෙරුමකු වන දිනේෂ් ගුණවර්ධන ට ඇමතිකමක් බාර ගන්නට සිදු විය. ඒ තනිවම නොවේ. වාසුදේව නානායක්කාර ද පවිත්‍රාද ඒ පිටුපසින් උන්හ. අන්තිම මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ පවා ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක පමණක් නොව උදය ගම්මන්පිල, විමල් වීරවංශ ට පවා ඇමතිකම් බාරගන්නට සිද්ධ වී තිබුණේය. ඒකාබද්ධයේ පිරිස ඇමැතිකම් බාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම පැවසුවේ නිකම් නොවේ. ඔවුන් ඊට පෙරත් කියා තිබුණේ ආණ්ඩුවට සහයෝග‍ය ලබා දුන්නත් අමාත්‍යධුර බාර නොගන්නා බවයි. මේ වතාවේ මෛත්‍රි මහින්ද කුමන්ත්‍රණයේ එක් උපායක් වූයේ ඇමතිධුර පගාවට දී එක්සත් ජාතික පක්ෂෙයන් හෝ වෙනත් පක්ෂවලින් මන්ත්‍රිවරු බිලීබාගෙන ආණ්ඩුව පිහිටු වීමයි. ඇමතිකම් පමණක් නොව කෝටි ගණනින් මුදල්ද ඒ සඳහා සුදානම් පැවති බව පාලිත රංගේ බණ්ඩාර මහතාට දුරකතන ඔස්සේ ලැබුණු ලංසුවෙන් තහවුරු වී තිබේ. එහෙත් දුනේෂ් ගන්කන්ද වැනි දේශපාලන අත දරුවකු හැර සැලකිය යුතු පිරිසක් අල්ලසින් බාගන්නට මෛත්‍රි මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුවට හැකි වූයේ නැත. එයම ඔවුන් මැතිවරණයට කලින් ලැබූ පරාජයක් බව ජනතාව වටහා ගත යුතුය.

මෛත්‍රිපාල සිරිසේන ගේ කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටු‍වීමේ තීරණයත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ ගුණ සමරුවත් දෛවෝපාගත ආකාරයෙන් යෙදී තිබුණේ සමගාමී දින කිහිපයක දී ය. ගියවර සෝභිත හිමි අනුස්මරණයට (අනාරාධිතව) ගොස් වළං කඩයට වැදුණු ගොනු සේ මෛත්‍රි හතර අතට වැණුවේ යහපාලනයට රනිල්ගෙන් බාධා වන්නේය කියමිනි.

ඉන් වසරකටත් පසුව මෙවර සෝභිත හිමි අනුස්මරණයේ පැත්තපළාතක බලහත්කා‍රයෙන්වත් යා නොහැකි තරමට මෛත්‍රි මුහුණේ දැළිගාගෙන සිටි බව රටම දනී. එතැනදී පැහැදිලි වූයේ මෛත්‍රි පය පස්සට නොගන්නට පුරසාරම් නොකීවද ඔහු ඒ වන විටත් ඉතිහාසයේ කුණු කූඩයට වැටී සිටි බවයි. සෝභිත හිමි අණුස්මරණය අයිති රාජපක්ෂවාදය පිළිකෙව් කරන රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ප්‍රකාශනයේ භාෂණයේ නිදහස අගයන ජනතාවටය. යහපාලනයට ප්‍රතිඥා දී මෙරට ප්‍රගතිශීලි ජනතා ඡන්දයෙන් බලයට පත් වූ මෛත්‍රි සෝභිත හිමිගේ මෙවර ගුණසමරුව  වන විට සිටියේ සෝභිත හිමි ගේ දරුණු විවේචනයල ලක් වු මහින්ද රාජපක්ෂ සමග එකගෙයි කමින් පමණක් නොවේ; ඔහුට අගමැති කම ද පුද දුන් පුත්ගලයා බවට පත් වී ය. ඔහු එමගින් මහින්ද අගමැති කළා පමණක් නොවේ, ප්‍රජාතන්ත්‍රවාදය අගයන මෙරට ජනතාවගේ කෝපයට ද ලක් විය.

මහින්ද රාජපක්ෂගේ කරට අතදා ගැනීමෙන් මෛත්‍රි අපේක්ෂා කළේ නැවත වතාවක් විධායක ජනාධිපති ධුරයේ රස බලන්නට නම් එය ද මිථ්‍යාවකි. මහින්ද අගමැති ධරය ලබාගත් ආකාරය පිළිබඳ කුමාර වෙල්ගම වැන්නවුන්ගේ විවේචනය මේ වන විට එල්ල වී තිබේ. මෛත්‍රි – මහින්ද විසින් කැඳ වු නොවැම්බර් 07 ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමට ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ලසන්ත අලගියවන්න, රෝෂාන් රණසිංහ ආදින් සහභාගි නොවීම මගින් පෙන්නුම් කරන්නේ මෛත්‍රි – මහින්ද එකමුතුව සම්බන්ධයෙන් දෙදෙනාගේ කණ්ඩායම් දෙකෙහි පිරිස අතර පවතින අකමැත්ත සහ විරෝධයයි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයක දී මෛත්‍රිට පෙහොට්ටුවේ සහය ලැබෙනු ඇතැයි කෙසේවත් විශ්වාස කළ නොහැකිය.

තැබූ පය පස්සට ගන්නේ නැතැයි කියමින් මහින්ද අගමැති කර ආණ්ඩු පිහිටුවා පාර්ලිමේන්තුව හරහා ගමනක් යාමට උත්සාහ කළ මෛත්‍රිට ඒ උපාය වරදින පාර්ලිමේන්තු  බලය අහිමි බව වැටහුණු විට ඔහුට සිද්ධ වුයේ නැවත වතාවක් ව්‍යවස්ථාව උල්ලංගනය කරන්නටය. යහපාලනය පිහුටුවන්නට කියා බලයට පැමිණ විධායක බලය කැමැත්තෙන් ඉවත්කර ගත්තාය කියමින් පුරසාරම් දෙඩු මෛත්‍රි මේ වන විට නැති විධායක බලයක් පවා ක්‍රියාවට නංවන්නට උත්සාහ කළ තැනැත්තකු බවට පත් වී සිටී. ඒ ආකාරයෙන් ගත් කළ මෛත්‍රි මේ වන විට වැටී සිටින්නේ 2015 දී මහින්ද වැටී සිටියාටත් වඩා ගැඹුරු වළකට ය. දැන් ඔහුට පාක්ෂිකයන් ද නැත. ඔහු වටා සිටි පොදු ජනතාවද නැත.

2015 ජනාධිපතිවරණය ආසන්නයේ මෙරට ඉංග්‍රිසි පුවත්පතක කාටුනයකින් දක්වා තිබුණේ මහින්ද වෝටර් ලු ප්‍රහාරයට සූදානම්ව සිටින ආකාරයයි. මෙවර ශ්‍රී ලං. නි. ප. ඡන්ද සටන වෝටර් ලු සටනකටත් වඩා ඛේදයකට මුහුණ දෙනවාට කිසිදු සැකයක් නැත. මෛත්‍රි – මහින්ද එකමුතුව යනු ශ්‍රී. ලං.නි. ප. පොහොට්ටු එකමුතුවක් නොවන බැවිනි.

ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නට දැන් මෛත්‍රිගේ පිරිසක් ද මහින්දගේ පිරිසක් ද වෙන්වෙන්ව බලා සිටිති. එක් පිලකට නාම යෝජනා දුනහොත් අනෙක් පිල අමනාම වීම වැලැක්විය නොහැකිය. මෛත්‍රි – මහින්ද එකමුතුවක් දැනට පෙනෙන්නට නොතිබුණ ද ගැටුම පිළිබසින්නේ අනාගතයේ දී ය. පසුගිය දිනක දාස හපුවලානගේ කාටුනයක දැක්වුණේ මහින්ද පිටෙහි බැඳගෙන වළකට පනින්නට සැරසෙන මෛත්‍රිගේ රුවයි. ඇත්ත තත්ත්වය එයයි. මෛත්‍රි යනු අනාගතයේ දෙපාරක් පරාජය වන්නට නියමිත නායකයෙකි.

අනුර සූරියබණ්ඩාර  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *