ගෝල්ෆේස් පිරවීමේ උප්පරවැට්ටිය
ඒකාබද්ධ විපක්ෂයේ සියලු සංවිධායකයන් පසුගිය දිනවල වෙහෙස වූයේ එකම එක විශාල ව්‍යාපෘතියක් වෙනුවෙනි. එය නම් මැයි දිනයේදී ගෝල්ෆේස් පිටිය පිරෙන්න සෙනඟ ගෙන්වා පෙන්වීමයි. සාමාන්‍යයෙන් මැයි රැලි සඳහා ලබා නොදෙන මෙම පිටිය ඒකාබද්ධ විපක්ෂය ඉල්ලුවේ ලබාගැනීමේ අරමුණෙන් ම නොවේ. ඔවුන්ගේ අරමුණ වූයේ තම සෙනඟට බය වී ආණ්ඩුව ගෝල්ෆේස් නොදුන් බව කීමයි. ඔවුන්ට අභියෝගයක් වූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මැදිහත් වී ගෝල්ෆේස් පිටිය ලබාදීමයි. ඉන්පසුව විශාලම අභියෝගය වූයේ එය කෙසේ හෝ පුරවා පෙන්වීමයි. ඒ සඳහා විශාල වෙහෙසක් දරමින් විශාල ධනස්කන්ධයක් ද වියදම් කිරීමට ඔවුනට සිදු වීය.
රැස්වීමේ සංවිධාන කටයුතු භාර දී තිබූයේ බැසිල් රාජපක්ෂ මහතාට හා ප්‍රසන්න රණතුංග මහතාටයි. ඔවුන්ගේ සැලසුම් අනුව රටේ හැම තැනකින්ම බස්වලින් සෙනඟ ගෙනඒමට කටයුතු කොට තිබුණි. ඒ සඳහා ගමන් වියදම් හා සංග්‍රහ වියදම් ද සියලු පක්ෂවලට හා සංවිධායකයින්ට ලබා දී තිබිණ. එක් එක් ප්‍රදේශවලින් ගෙන්වන බස් රථ ප්‍රමාණය ඉලක්ක ලෙස සකස් කොට ගණන් බැලීම ද සිදු විය. ගෝල්ෆේස් රැලියට සම්බන්ධ නොවූ කොමියුනිස්ට් පක්ෂයේ මහින්ද හිතවාදී සංවිධායකයන්ට ද මුදල් ලබා දී ඔවුන්ගේ හිතවතුන් ද ගෝල්ෆේස් ගෙන්වා ගැනීමට කටයුතු යෙදීමට තරම් වැඩපිළිවෙළ පුළුල් විය.
එලෙස මාතරින්, ගාල්ලෙන් හා රත්නපුරයෙන් බස් රථ අටක් ද ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබීමෙන් මෙම වැඩපිළිවෙළට කෙතරම් බරක් හා ධනයක් යෙදූවද යන්න පැහැදිලි වෙයි. රැලියට සම්බන්ධ වූ පක්ෂ වෙනුවෙන් වැය කළ ධනස්කන්ධය මීට වඩා ඉතා විශාලය.
එසේ වුවද සම්පූර්ණ ගෝල්ෆේස් පිටිය පිරවීම පහසු නොවන බව දැන සිටි බැසිල් රාජපක්ෂ ඇතුළු සංවිධායකයෝ ඒ සඳහා වෙනත් උපක්‍රම ද භාවිත කළහ. බැසිල් හා ප්‍රසන්නගේ උපදෙස් මත ගෝල්ෆේස් රැලියේ වේදිකාව ඉදිකළේ පිට්ටනියේ කොටසක් අතහරිමින් තරමක් ඉදිරියට වන්නටය. එමෙන්ම අති දැවැන්ත වේදිකාවක් ඉදිකොට තවත් ඉඩක් ඒ සඳහා වෙන්කිරීම ද තවත් උපක්‍රමයක් වීය.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළවූ වාර්තා අනුව ගෝල්ෆේස් රැලියේ වේදිකාවේ විශාලත්වය වර්ග අඩි හත්දහසකි. එහි ප්‍රධාන වේදිකාව 750 කට ආසන පනවා තිබූ අතර අතුරු වේදිකාවල 3000 කට ආසන පනවා තිබිණි. මෙලෙස දැවැන්ත වේදිකාවක් ඉදිකිරීමෙන් පසුව එය වටේ විශාල භූමියක් ද ආරක්ෂාව සඳහා ආවරණය කොට තිබිණි. එය සඳහා අනුගමනය කළ පිට්ටනියේ විශාල ඉඩ ප්‍රමාණයක මහජනයා නොරැඳෙන ලෙස සකස් කිරීම උපක්‍රමයක් විය. එමෙන්ම එම වේදිකාව නිසා එය පිටුපසින් අත්හැර දමා තිබූ බිම් කොටස ගැන අවධානය යොමුවීම ද වැළකී තිබිණි. බැසිල්, ප්‍රසන්න ඇතුළු පිරිස ගෝල්ෆේස් පිටිය පුරවන ලද්දේ එබඳු උපක්‍රම ගණනාවක් ද යොදා ගනිමිනි.
මහින්ද රාජපක්ෂ මහතා ගෝල්ෆේස් වේදිකාවට නැඟ කීවේ අපිට අභියෝගයක් දුන්නා ගෝල්ෆේස් පුරවන්න කියලා – ඔන්න අපි ගෝල්ෆේස් පිරෙව්වා කියායි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලු දෙනාම පාහේ කීවේ එම කතාවයි. මෙම මහා ව්‍යාපෘතිය දැඩි කැපවීමකින් හා මහා වියදමකින් ක්‍රියාවට නැඟීම ගැන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතාට ස්තූති කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදී පිරිසක් අසනීප වූ අතර දෙදෙනෙක් මිය ගියහ. ඔවුන් අසනීප වූ මොහොතේ ඒ බව එජාපයේ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිතුමාට දන්වන ලද අතර ඔහු වහාම ගිලන් රථ තුනක් එම ස්ථානයට එවන්නට කටයුතු කළේය. ඒ නියෝජ්‍ය ඇමැතිවරයා මැදිහත් වී සංවිධානය කළ ඉන්දීය ගිලන් රථ සේවයෙනි. එම ගිලන් රථවලින් ඒකාබද්ධ විපක්ෂයේ රැලියේදී අසනීප වූ පිරිස ජාතික රෝහලට ගෙන යනු ලැබීය. ඉන් දෙදෙනකු මිය ගියත් සෙසු පිරිස සුවය ලැබූහ. මෙලෙස තම පාක්ෂිකයන් අසනීප වූ මොහොතේ ගිලන් රථ එවීම ගැන ඩලස් අලහප්පෙරුම මහතා පුවත්පත් සාකච්ඡාවේදී එජාපයටත්, හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයාටත් ස්තූති කළේය.
තමන් ගෝල්ෆේස් පිටිය පුරවන්නට සෙනඟ රැස්කළ බව ඒකාබද්ධ විපක්ෂයේ උදවිය කීවද එය කළ ආකාරය ඉහත කරුණුවලින් පැහැදිලිය. ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් මෙන්ම උප්පරවැට්ටි ද යොදාගෙන තිබිණි. පිට්ටනියේ විශාල කොටසක් අතහැර පිටිය හරහා දැවැන්ත වේදිකාවක් ඉදිකළේ අතහැර දැමූ කොටස ආවරණය වන ලෙස හා වේදිකාව හා එහි ආරක්ෂාවට වෙන්කරන කොටස ද ජනතාවගෙන් තොරව තැබීමටය.
වේදිකාවේ පනවා තිබූ අසුන් 3750 න් විශාල ප්‍රමාණයක් හිස්ව තිබුණද ඒ බව බොහෝ දෙනකුගේ නෙත ගැටුණේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සිට පළාත් පාලන ආයතන නියෝජිතයන් දක්වා සියලු දෙනා වේදිකාවට ගත්තත් මෙතරම් ආසන ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැත. මෙය පැහැදිලි උප්පරවැට්ටියකි. සෙනඟ පෙන්වීමට හැම විටම භාවිත කරන්නේ ද වේදිකාවට ඉහළින් සිට ඉදිරියට ගත් ගුවන් ඡායාරූපයයි. එයින් විශාල සෙනඟක් පෙනුණද කිට්ටුවෙන් ගත් ඡායාරූප අනුව පෙනෙන්නේ එහි වැඩි ජන ඝනත්වයක් නැති බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ තවත් එක් ඇස්බැන්ඳුමක සැබෑ තතු එබඳුය.
සී. ජේ. අමරතුංග
දිනමිණ

