|

බටලන්ද පඹගාලක් වෙයිද? – රටේ රාළ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මාර්තු 14 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.සභා නායක ඇමති බිමල් රත්නායක වාර්තාව ඉදිරිපත් කරමින් සංවේදී කතාවකුත් කළා.ඒක කතානායකටත් ඇඩෙන සයිස් එකේ කතාවක්. කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පවත්වන බවත් කිව්වා.බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධව කටයුතු කිරීමට අනුර ඇතුළු කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්ත බවත් කියවුනා.
ඒ අනුව බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා.මේ කොමිෂන් වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් දෙන්න ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමටත් තීරණය කරලා තියනවා.මෙතනදී තවමත් පේන්නේ ආණ්ඩුව බටලන්ද කොමිෂන් වාර්තාව උපයෝගීකරගෙන ලොකු රට පැටලවීමක් කරන්න හදනවා වගෙයි.
ආණ්ඩුව ප්‍රශ්නය අනවශ්‍ය විදිහට සංකීර්ණ කරගන්න යෑමෙන් ඒක පේනවා.ආණ්ඩුව උපදේශක කම්ටුවක් පිහිටවීමට යෝජනා කරන්නේ ඒ අර්ථයෙන් වෙන්න පුළුවන්.ඒක ආණ්ඩුව ප්‍රශ්නය කොයි තරම් දුරට ඇදගෙන යනවාද කියලා තීරණය කරන්න පත්කරන කමිටුවක් වෙන්න තියන ඉඩ වැඩියි.බටලන්ද කොමිෂන් වාර්තාවට ගන්න නීතිමය ක්‍රියාමාර්ග තවමත් නිශ්චිත නෑ.නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ වෙන්න නම් කොමිෂන් වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕනි.
තවම ඒක වෙලා නැති උනත් යවනවා කියන සහතිකය බිමල් දීලා තියනවා.ඒ වගේම පත් කරන උපදේශක කමිටුවේ කවුද ඉන්නේ කියලා පැහැදිලි නෑ.කොමිෂන් වාර්තාව සම්බන්ධව ආණ්‌ඩුව ගන්න නෛතික ක්‍රියාමාර්ග ගැන අපට කතා කරන්න වෙන්නේ ආණ්ඩුව ඒ පියවරට ගියාට පස්සෙයි. ආණ්ඩුව කොමිෂන් වාර්තාව පදනම් කරගෙන ගන්න හදන දේශපාලන ක්‍රියාමාර්ග නම් පැහැදිලියි.
ඒ දේශපාලන ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට කොමිෂන් වාර්තාව සභාගත කරපු තැන ඉඳන් ආරම්භ වෙනවා.විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පවත්වන විවාදයේ වැඩි වාසිය ජවිපෙට ගන්න පුළුවන්.ඒකට හේතු කිපයක් තියනවා.එක පැත්තකින් මේ විවාදයේදී රනිල්ව ආරක්ෂා කිරීමට සහ රනිල් වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නෑ.ඒක නිසා 225ස් දෙනාගෙන් බහුතරය එකතු වෙලා රනිල් නැමති තැලෙන යකඩය උඩ පැන පැන තලයි.
ඒ වගේම සජබයට මේ විවාදයට සහභාගී වෙන්නේ වෙන්නේ බොහොම පරිස්සමෙන්.මොකද බටලන්ද ඝාතන සිද්ධ වෙද්දී මේ රටේ ජනාධිපති සජීත්ගේ තාත්තා.රණසිංහ ප්‍රේමදාස.ආරක්ෂක ඇමති හිටියේ රන්ජන් විජයරත්න.රනිල් බටලන්ද කොමිෂමට දීලා තියෙන සාක්ෂියේ ඇතැම් තැන්වල රන්ජන් විජයරත්නගේ නම සදහන් වෙනවා.ඇතැම් දේවල් රන්ජන් විජේරත්නගේ ඉල්ලීම පරිදි කළා කියලා සදහන් කරලා තියනවා.
ඒක නිසා විවාදයේදී ජවිපෙ අතපය දිගෑරලා වනද්දී සජබෙට ප්‍රවේසමෙන් පිත්ත හසුරවන්න වෙනවා. සියල්ල රනිල්ගේ කර උඩින් යවන්න පුළුවන් නම් ඒ නිහඬතාවය ආරක්ෂා කරන්න සජිත් එකඟවෙයි.ඒ වගේම විපක්ෂයේ ඉන්න සජබ අයට යම් සීමාවක බැට් කරන්න වීමත් විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු මේ සම්බන්ධව බොහෝ කරුණු නොදැනීමත් විවාදයේදී ආණ්ඩුවට ලොකු වාසියක් විදිහට තියෙනවා.
මේ සම්බන්ධව ගන්න මතවාදී හයිය ආණ්ඩුව විසින් සමාජයට කාන්දු කරනවා.ඒක නිසා රනිල් අත්අඩංගුවට ගනිව්,රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරව්,බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපතිට යොමු කරව් වගේ සටන් පාඨ පදනම් කරගත්ත උද්ඝෝෂණ,පෙත්සම් අත්සන් කිරීමේ ඉදිරි දවස්වලදී අපිට දැක ගන්න පුළුවන් වෙයි.එක පැත්තකින් ඒක පලාත් පාලන මැතිවරණයේ ජවිපෙ සාමාජිකයා සක්‍රීය කරගන්න හොඳ සටන් පාඨයක්.
ඒ වගේම බටලන්දට මුවාවෙලා ආණ්ඩුවට තවත් ටික කාලයක් තමන්ගේ නොහැකියාව වහගන්න අවස්ථාවකුත් එනවා.මේ විවාදයේදී පාර්ලිමේන්තුවේ හඩක් නැති කෙනා බවට පත්වෙන්නේ රනිල්.රනිල් වෙනුවෙන් කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන එකක් නෑ.කොහොම උනත් මේ තත්වය ඉස්සරහා රනිල්ට සහ එජාපයට කට පියාගෙන ඉන්න බෑ.ඒක නිසා පලාත් පාලන මැතිවරණ සටනේදී මාලිමාවේ ප්‍රශ්නවලට උත්තර දෙන්න රනිල්ට සහ එජාපයට සිද්ධ වෙනවා.
ඒ වගේම රනිල් සහ අනුර පහුගිය කාලයේ එකට කරපු දේශපාලන ක්‍රියා කාරකම් ගණනාවක් තියනවා.රනිල් වෙනුවෙන් ජවිපෙ කිසිම හිරිකිතක් නැතිවුනාට පෙනී හිටපු තැන් ඕනි තරම් තියනවා. රනිල් එක්ක දේශපාලන වශයෙන් අනුරලා එක ගෙයි කාපු කාලයක් තියනවා.විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේ අනුර සහ රනිල් අතර තිබුණේ දැඩි දේශපාලන සම්බන්ධයක්. අනුරලාට සෝමවංශ රතු අලි පැටව් කිව්වේ නිකං නෙවෙයි.
රනිල් සහ අනුර අතර තියෙන මේ අප්‍රකාශිත එකඟතාවය බිඳවැටෙනවා නම් අනුරට විරුද්ධ රනිල් ළඟ තියෙන තුරුම්පුත් අදින්න රනිලුත් පසුබට වෙන එකක් නෑ.ඒක නිසා දෙන්නා තවදුරටත් එකගතාවයකට එන්න තියෙන ඉඩ වැඩියි.ඒ එකගතාවය ඇති වෙන විදිහට තමයි අනුරගේ පැත්තෙන් බැට් කරන්නේ.නැත්තං මීට වැඩිය නීතිමය ක්‍රියාමාර්ග පැත්ත ශක්තිමත් කරන්න අනුරට පුළුවන්.
අනික තමයි මේ ප්‍රශ්නයත් එක්ක මතුවෙන ජවිපෙ සාමාජිකයාගේ ඓයිතිහාසික බලාපොරොත්තුව වන විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩලය ඝාතනය සෙවීමේ ඉල්ලීම ජවිපෙ ඇතුලෙන් බුර බුරා නගිමින් පවතිනවා.ඒකටත් සමහරවිට ෂොට් එක දෙන්න ඔය උපදේශක මණ්ඩලය යොදා ගන්න පුළුවන්.රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ රනිල් සහ අනුර ජවිපෙ සාමාජිකයාට හොරෙන් එකිනෙකා පිට කහගෙන ප්‍රශ්නය ගොඩින් බේරා ගනී කියලයි.
බොහෝ වෙලාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අනුරලා දැන් දක්වන ඇල්මැරුණු ස්වභාවය බටලන්ද කොමිෂන් වාර්තාවටත් අත්වෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 5 people and people smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *