ගිණි ගන්නා සුළු කතාවක් ! – සපුගස්කන්ද විකුණමු !!
ජනතාවට අත්‍යවශ්‍ය බෙහෙත් පෙත්තක් හෝ නිසිපරිදි රටින් ගෙනවිත් දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති මේ මොහොතේ, සපුකස්කන්ද තෙල් පිරිපහදුවේ 1100ක් පමණ වන කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් මිලියන 700කට අධික මුදලක් වැය කරයි.
සම්මත ගෝලීය දර්ශක අනුව ශ්‍රී ලංකාවේ සපුකස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය වසර 23 ක කාලය තුළ ආසියාවේ අකාර්යක්ෂම ම පිරිපහදුව ලෙස ශ්‍රේණිගත කර ඇත.
අඛණ්ඩ බොරතෙල් සැපයුමක් නොමැතිකම හේතුවෙන් බොහෝ විට සපුගස්කන්ද පිරිපහදුව වසරේ බොහෝ කාලයක් වසා දැමීමට සිදුව ඇත. මේ වසර පුරාවටම ලංකාවට පැමිණ ඇත්තේ බොරතෙල් නැව් 3ක් පමණි. මෙම නැව් තුනේ පැමිණි බොරතෙල් පිරිපහදු කර දැනට මාස 8කට වැඩි කාලයක් සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇත. පවතින ආර්ථික දුෂ්කරතා, ඩොලර් ප්‍රශ්න මත මෙම සීමා කිරීම් සිදුව තිබේ. එසේම මෙම පිරිපහදුව කාර්යක්ෂමතාව අතින් ඉතා පහළ මට්ටමක පවතින අතර තාක්ෂණය යල්පැන ගොස් ඇත. එය නවීකරණය කර සක්‍රීයව තබා ගැනීමේ වැඩපිළිවෙළක් ගැන අවධානයක් හෝ යොමුකර නොමැත.

නමුත් මෙහි සීමිත සේවක පිරිසක් හැම විටම උත්සාහ ගන්නේ පණ අදින පිරිපහදුවේ එල්ලී එල්ලී එය දේශපාලන කුමන්ත්‍රණ වලට පාවිච්චි කරමින් රටේ වෙනස් ජනමතයක් මවා පොදු ජනතාව නොමග හැරීමටමය. නමුත් මේ වන විට පැන නැගී ඇති තත්ත්වය තව දුරටත් මේ සපුගස්කන්ද පිරිපහදුවේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් අලුත් කතාබහක් සිදුවිය යුතුමය.
මහ බැංකුවටත් හිසරදයක් වෙලා ! –
රටටම ඇලජික් වූ ඇන්ටික් රිෆයිනරේ !!
මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව දැඩි තීරණයකට එළඹ සිටින ශ්‍රී ලංකා මහ බැංකුව, තව දුරටත් බොරතෙල් ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.
සපුගස්කන්ද පිරිපහදුව ආසන්න වශයෙන් වසර 50 කට වඩා පැරණි ය. මෙහි ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් ව්‍යුහය ද ඒ අනුව සැකසී ඇත්තේ ඒ කාලයට සරිලන ආකාරයෙනි.
මෙහි සේවය කරන සාතිශය බහුතරයක් කාර්ය මණ්ඩල සේවකයින් ගෙන් ඵලදායි සේවාවක් ජාතික ආර්ථිකයට එකතු කිරීමට වඩා වර්තමානයේ සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනවශ්‍ය බරක් එකතු කිරීම පමණි. ඔවුන්ගේ චර්යා රටාද අතිශය පසුගාමී වන අතරම භාවිතාව ද උදාසීනය. කිසිඳු යාවත්කාලින වීමකට හෝ නව්‍යකරණයකට ලක්වීමේ කිසිදු උනන්දුවක් හෝ උත්සාහයක් ඔවුන් තුළ දක්නට නොමැත. ඔවුහු හුදෙක්ම සිය පුද්ගලික වාසි තකා මාසික වේතනය වෙනුවෙන් පුටු රත් කරන නිකමුන් පිරිසක් බවට පත්වෙමින් සිටිති.
ඔවුන්ට නව වෙනස්කම් ගැන ඉවක් දැනුනත් තිබුන ද ඉතා සංවිධානාත්මක පිරිස් ඊට අතිශය විරෝධී ආකල්ප මතු කර නවීකරණයන්ට ඉඩ නොතබයි. සරලවම වර්තමාන ලෝකයේ යම් කාර්යයක් විනාඩියෙන් කරන්නට තාක්ෂණය භාවිතා කිරීමට ක්‍රමවේද තිබුණත් ඊට පැය ගාණක් ගත කරන්නට මෙම සේවකයින් දක්වන්නේ අතිශය රුචිකත්වයකි.
වාසි අතට කියන දිව දෙකේ කතා !
මෙහි පහත සඳහන් වන්නේ, පිරිපහදුව අභ්‍යන්තරයෙන් ප්‍රකාශිත තවත් ෆැන්ටසි කතා කිහිපයකි.
1969 සිට 2022 දක්වා වකවානුවේ මෙම ආයතනයේ වෘත්තීය සමිති නායකයින් මෙන්ම එහි ඇතැම් විශේෂඥයින් එකහෙලාම කියා සිටියේ, සපුගස්කන්ද පිරිපහදුවට භාවිතා කළ හැක්කේ ඉරාන්ලයිට් (Iran Light ) බොරතෙල් පමණක් බවයි. ගෝලීය දේශපාලනික ක්‍රියාකාරකම් මත පැනවුණු සම්බාධක හේතුවෙන් ඉරානයෙන් සෘජුව තෙල් ආනයනය කිරීමට නොහැකි වූ එවක රජය මෙමගින් දැඩි අපහසුතාවයට පත්විය. පසුව පිරිපහදු කාර්ය මණ්ඩලය අබුඩාබි බොරතෙල් වලට හුරු වූ අතර පසුගිය වසර 20 තුළ ඉන් එහා වෙනත් විකල්පයක් සොයා ගැනීමට හෝ වෙනත් බොරතෙල් කාණ්ඩයක් අත්හදා බැලීමට ඔවුන්ට වුවමනාවක් ද නොවීය.
සමස්තයක් වශයෙන් ගත් කල, මෙහි වෘත්තීය සමිති මෙන්ම සේවකයින්, රටේ බලශක්ති සුරක්ෂිතතාවයට කිසිදු ලෙසකින් දායක නොවන බව සක් සුදක් සේ පැහැදිලිය.

සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් විදී බැස විරෝධතා පවත්වන අරගලකරුවන්, රටේ ආර්ථිකය දිය කරන, ඩොලර් සංචිත වෑස්සෙන සිදුරු වසා දමීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන්නේ නම්, ලංකාවේ හෙට දවස යහපත් කිරීමට එම මහෝපකාරයක් වනු නියතය.
ඉදිරි මාස ගණනාවකට කිසිදු බොරතෙල් ඇණවුමක් ගැන සේයාවක් වත් නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද බොරතෙල් පිරිපහදුවේ ඇති අඩුපාඩු ගැන විමර්ශනය කර බොරතෙල් ආනයනයට මුදල් ලබාදීම ද ප්‍රතික්ෂේප කර ඇති කාලයක කිසිදු සැලසුමක් නොමැතිකම නිසා වසරේ වැඩි කාලයක් වසා දමන්නට සිදුව ඇති සපුකස්කන්ද තෙල් පිරිපහදුවේ සමස්ත කාර්ය මණ්ඩලයම වෙනත් ඵලදායි දේකට යොමු කිරීම වැදගත් නොවේද ? ඒ අනුව කාලය හා තවදුරටත් මහජන මුදල් අපතේ නොයවා පිරිපහදුව වසා දැමීම සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීමට රටේ ජනාධිපතිවරයාට සහ බලශක්ති ඇමැතිවරයාට කාලය එළැඹ ඇත. එම තීරණය ජනප්‍රිය එකක් නොවුවද දේශපාලන රාමුවෙන් පිටත ගොස්, ජනප්‍රිය දේශපාලන තීරණයකට එහා ගිය ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් එඩිතර තීරණයක් ගැනීම වත්මන් දේශපාලන නායකත්වය කටයුතු කළ යුතුමය.
( විශේෂ ලියුම්කරුවෙකුගේ සටහනකි)
# සංවාදය සඳහා විවෘතයි….
