මැයි දිනයේ දුර්මත -සී. ජේ. අමරතුංග

 

 මැයි දිනය ලෙස හඳුන්වන ලෝක කම්කරු දිනය මෙවරද සැමරුවේ ලක්ෂ ගණන් ජනයා පෙළපාලිවලට හා රැස්වීම්වලට සහභාගි වෙමිනි. ප්‍රධාන පක්ෂවලට මෙය තමන්ගේ ශක්තිය පෙන්වන අවස්ථාවකි. සමහර මැයි රැලි සඳහා නොමිලේ මහජනයා ප්‍රවාහනය කරන්නෙත් විවිධාකාර සංග්‍රහ කරන්නේත් ඒ සඳහාය. එසේ කරන්නේ ඔළුගෙඩි පෙන්වා ‘මේ අපේ බලයයි’ කියා කියන්නටය. ඇතැම්විට ඒ බලය රටේ නැති බව කවුරුත් දනිති.

ප්‍රධාන නාටකය එසේ සිදුවෙද්දි බොක්කෙන්ම මැයි දිනය සමරන පිරිසක්ද සිටිති. ඒ වමේ පක්ෂවල කට්ටියයි. එම පිරිස මැයි දිනයට එන්නේ දැඩි කැපවීමෙනි. රටපුරා පැවැති මැයි රැලි විස්සකට ආසන්න ප්‍රමාණයෙන් වැඩි ගණනක් එලෙස වාමාංශිකයන් සංවිධානය කළ රැස්වීම්ය. වමේ අය හිතන්නේ කම්කරු පංතිය නියෝජනය කරන්නේ තමන් බවයි. ඒ නිසාම මැයි දින අයිතිය ඇත්තේද තමන්ට බව ඔවුහු කල්පනා කරති. අධිරාජ්‍යවාදයට එරෙහිවීම, ධනවාදී සූරාකෑමට එරෙහිවීම ආදී සටන්පාඨ ඔවුන්ගේය. හැමදාමත් මේ සටන්පාඨ හඬනගමින් ඔවුහු ඒවා සමාජගත කරන්න උත්සාහ කරති. එසේ වූවද දිනෙන් දින පසුබෑමක් මිස වමේ ඉදිරි ගමනක් පෙනෙන්නට නැත. වම ලෙස පෙනී සිටි ඇතැම් පක්ෂ මේ වනවිට පැවැත්ම සඳහා ජාතිවාදය සමඟද සන්ධානගතවී ඇත්තේ ඒ නිසා විය හැකිය.

සමහරු හිතන්නේ මේ වම ගැන දැන් කතා කරන්නවත් දෙයක් නැති බවයි. එසේ වූවද මොවුන් සමාජගත කරන ඇතැම් අදහස් මිථ්‍යාවන් වීමත්, ඇතැම් පිරිස් එම මිථ්‍යාවන් විශ්වාස කරමින් ක්‍රියාත්මක වීමත් නිසා රටේ විවිධාකාර අර්බුද හා ගැටුම් වර්ධනය වන බව පෙනෙන්නට තිබේ. වම්මුන් සෘජුව හෝ වක්‍රව දායක වෙමින් ඇතිකරන ඇතැම් ගැටුම් සමාජයට විනාශකාරී විය හැකිය. එබැවින්ම ඒවා නොතකා හැරිය නොහැකිය.

කෝකටත් වි‍ෙරා්ධය

වමේ ප්‍රධාන සටන්පාඨයක් නම් අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමයි. හැම පඳුරක් අස්සේම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඇති බව ඔවුහු කියති. විශ්වාස කරති. එම නිසාම විදේශ ආයෝජනවලට විරුද්ධ වෙති. ඔවුන්ට අනුව නම් ඒ සියල්ල අප ර‍ට විනාශකර මහ රටවල් පොහොසත්වන ක්‍රියාමාර්ග වෙයි. මැයි දිනයේදිත් ඔවුන් සමාජගත කරන්න හදන්නේ සංවර්ධනයට එරෙහි මෙවැනි මතවාදයි.

අධිරාජ්‍යවාදීන් ලොව බෙදාගෙන පාලනය කළ යුගයක් තිබිණි. එකල අප රට පාලනය කළේ බ්‍රිතාන්‍ය ජාතිකයෝය. ඔවුහු මේ රට පාලනය කරමින් ඔවුන්ගේ ධනය ආයෝජනය කොට වැවිලි කර්මාන්තය ඇති කළහ. එයින් ලාභ ලැබූහ. ඒ අධිරාජ්‍යවාදී යුගයේ ක්‍රමයයි. මෙය ඊට පෙර පැවැති යටත්විජිතවාදයට වඩා වෙනස් ක්‍රමයකි. වෙනස නම් තමන් යටතේ ඇති විජිතවල ධන ආයෝජනයයි.

මෙලෙස රටවල් යටත්කරගෙන සිටීමට විරුද්ධ විය යුතුය යන්න මාක්ස්වාදීන්ගේ මතයයි. එය විශේෂයෙන් ඉදිරිපත්කොට ඉදිරියට ගෙන ගියේ රුසියාවේ වී. අයි. ලෙනින් විසිනි. ඔහු කීවේ යටත්විජිතවල ජාතික විමුක්ති ව්‍යාපාරවලට ආධාර කළ යුතු බව හා අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධ විය යුතු බවයි. අපගේ වාමාංශිකයෝ තවමත් අධිරාජ්‍යවාදයක් ගැන කතා කරමින් සිටින්නේ ඒ අනුවය.

අපේ වාමාංශිකයන් තේරුම්ගෙන නැති කාරණයක් නම් ලෙනින් අධිරාජ්‍යවාදය කී දෙය අද ලෝකයේ නැති බවය. අමෙරිකාව හෝ බලවත් රටවල් වෙනත් රටවල දේශපාලනයට ඇඟිලි ගැසීම එම අධිරාජ්‍යවාදය ලෙස පෙන්වීමට අද සිටින වම්මු උත්සාහ කරති. මෙය ඇත්ත වශයෙන්ම මිථ්‍යාවකි.

අධිරාජ්‍යවාදය යටතේ ප්‍රාග්ධන ආයෝජනය සිදුවූයේ මව් රටේ සිට යටත්විජිතයටය. ප්‍රාග්ධනය යටත්විජිතවලට ගියේ අධිරාජ්‍යවාදී මව් රටේ හමුදා බලයේ ආරක්ෂාව යටතේය. අද එවැන්නක් නැත. ප්‍රාග්ධනය ගමන් කරන්නේ ආයෝජනය කරන රාජ්‍යයේ ආරක්ෂාව යටතේය.

අනෙක් අතට අද තිබෙන්නේ තනි තනි රටවල ප්‍රාග්ධනයක් යැයි කිව නොහැකිය. එහි ජාත්‍යන්තරකරණයක් දැකිය හැකිය. ජපානයේ සෝනි සමාගම මීට කලකට පෙර කීවේ දැන් අපි ජපන් සමාගමක් කියා කිව නොහැකි බවයි. එයට විවිධ රටවල ප්‍රාග්ධනය සම්බන්ධ වී ඇත. ලෝකයේ විශාල සමාගම් බොහෝමයක මෙම තත්ත්වය දැකිය හැකිය.

අධිරාජ්‍යවාදී මව් රටවල් ආයෝජනය කළේ තම යටත්විජිතවලය. දැන් එවැන්නක්ද නැත. හැම රටක්ම හැම තැනකම ආයෝජනය කිරීම අද පවතින තත්ත්වයයි. අමෙරිකාවෙන්, යු‍රෝපයෙන් අප රටට ආයෝජන ගලා ආවා සේම දැන් අප රටින්ද විදේශ ආයෝජන සිදුවී ඇත. දම්රෝ, මන්චි වැනි සමාගම් ඉන්දියාවේ නිෂ්පාදන අරඹා ඇත. ඇඟලුම් කර්මාන්ත රටවල් ගණනාවක ආයෝජන සිදුකොට ඇත. අලුත්ම වාර්තාවක සඳහන් වූයේ මාස් හෝල්ඩිංග්ස් සමාගම අමෙරිකාවේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් මිලට ගෙන වැඩිදියුණු කිරීම ආරම්භ කළ බවයි. මෙයින් පෙනී යන්නේ අධිරාජ්‍යවාදී රටවල් හා යටත්විජිත ලෙස පැවති වෙනසද අහෝසි වී ඇති ආකාරයයි.

අද ලෝකයේ හඳුනාගත හැක්කේ බලවත් ජාතීන් හා දුර්වල ජාතීන් වශයෙනි. නැතහොත් සංවර්ධිත ජාතීන් හා සංවර්ධනය වන ජාතීන් වශයෙනි. එමෙන්ම පසුගිය කාලය පුරා දකින්නට ලැබුණේ බලවත්ව සිටි ජාතීන් ක්‍රම ක්‍රමයෙන් දුබල වෙමින් සිටින ආකාරයයි. වෙනත් ජාතීන් බලවත් වෙමින් ඉදිරියට එන ආකාරයයි. මේ තත්ත්වය තේරුම් නොගෙන අධිරාජ්‍යවාදයක් ගැන කතාකිරීම සම්පූර්ණ මිථ්‍යාවකි. මුලාවකි. වමේ පක්ෂ මේ රටේ ජනතාව ඇදදාන්න හදන්නේ එබඳු මුලාවකටය. එම මුලාවට ලක්වූ ඇතැම් පිරිස් කරන්නේ රටේ සංවර්ධනය පසුබස්වා විනාශකාරී ක්‍රියාවල යෙදීමයි.

වමේ උදවියගේ තවත් දුර්මතයක් නම් ප්‍රාග්ධනය පැමිණීම විනාශයක්ය යන්නයි. විදේශ ආයෝජන කරන්නේ ඔවුන්ගේ යහපත පිණිස බවත් එම රටවල් පොහොසත් වී අෙනක් රටවල් දුප්පත්වීම එහි ප්‍රතිඵලය බවත් වමේ උදවිය පතුරුවන මිථ්‍යාවකි. මෙය මාක්ස්වාදයේ නොතිබුණු ග්‍රාම්‍ය අදහසකි.

වී.අයි ෙලනින්

අධිරාජ්‍යවාදයට එරෙහිව ලියූ ලෙනින්ට ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය ගැන ලිපි විශාල ප්‍රමාණයක් ලියන්නට සිදුවිය. ලෙනින් එතරම් ලිපි ලිව්වේ ඇයි? යන්න වමේ උදවිය තේරුම් ගත යුතු කාරණයකි. එයට හේතුව නම් මාක්ස්වාදීන් තුළම ඊට විරුද්ධ අදහස් තිබීමයි. එහි පෙරමුණේම සිටියේ ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් විප්ලවවාදිනියයි. ඔවුන්ගේ අදහස නම් අධිරාජ්‍යවාදය ලොව පුරා ගමන් කිරීමත්, ප්‍රාග්ධන ආයෝජනයන් මඟින් වැඩවසම් වාදය විනාශවීමත් ධනවාදය ගොඩනැඟීමත් සිදුවන බවයි. එනම් රටවල් සංවර්ධනය වන බවයි. එහි ප්‍රගතිශීලී කාර්යභාරයක් සිදුවන බවයි. එයට එරෙහිව ලෙනින් තර්ක කළේ කෙසේ වෙතත් රටවල් දේශපාලන වශයෙන් යටත් කරගැනීමට විරුද්ධ විය යුතු බවයි. ප්‍රාග්ධන ආයෝජනය සඳහා රටවල් යටත් කරගැනීම අවශ්‍ය නොවන බව කාල් කෞට්ස්කිගේ මතය විය.

අධිරාජ්‍යවාදයේ මෙම ප්‍රගතිශීලී කාර්යය ගැන දැන් සිටින වමේ උදවිය නම් දන්නේම නැති තරම්ය. එහෙත් අපේ සමහර වැඩිහිටියොත් එකල කීවේ ‘සුද්දා හිටියානම් හොඳයි’ කියායි. එසේ කියන්නේ ගැති භාවය නිසා යැයි එදා අපි සිතුවෙමු. නමුත් හොඳින් සිතාබලනවිට පෙනෙන්නේ ඔවුන් අපේ රටේ ආයෝජනය කොට සංවර්ධනය කළ බවයි. වැවිලි ආර්ථිකය තවමත් අප රටේ ආර්ථිකයේ ප්‍රබල අංශයකි. අපගේ දුම්රිය මාර්ග, මහාමාර්ග තැනූවේ ඔවුන්ගේ පාලනය යටතේය. නටබුන් වී තිබූ මහා වැව් පිළිසකර කිරීම ආරම්භ කළේ එම යුගයේය.

ග්‍රාම්‍ය අදහස්වල සිටින අප රටේ ඇතැම් වමේ උදවියට මේ කිසිවක් නොතේරෙන බව පෙනෙන්නට තිබේ. ඔවුන්ට විදේශ ආයෝජන පෙනෙන්නේ අධිරාජ්‍යවාදය හැටියටය. එයින් මේ රට සංවර්ධනය වන බව හොඳින්ම පෙනෙන්නට තිබුණත් එය තේරුම් ගන්නට සූදානම් නැත. එයට හේතුව නම් අධිරාජ්‍ය විරෝධය නම් මිථ්‍යාවක් මත විශ්වාසය තැබීමයි.

කලකට පෙර බටහිර සමාගම්වලට එරෙහිව බහුජාතික සමාගම් විරෝධයක් සමාජගත කළ මෙම වමේ පිරිස දැන් චීන ඉන්දියානු ආදී ඕනෑම ආයෝජනයකට එරෙහිව එයම කරති. එය පිළිගත් පිරිසක් විරෝධතාවල යෙදෙති. ඉන් පහර වදින්නේ රටේ ඉදිරි ගමනටය.

අධිරාජ්‍යවාදය ගැන කතාකරන වමේ උදවිය තාමත් කියන්නේ යටත්විජිත පාවිච්චි වන්නේ අමුද්‍රව්‍ය හා වෙළෙඳ පොළ ලෙස බවය. අපගේ අද වෙළෙඳපොළ වී ඇත්තේ අමෙරිකාව හා යුරෝපය බවත් දැන් අප රට නිමි භාණ්ඩ අපනයනය අතින් ඉදිරියට පැමිණ ඇති ආකාරයත් මොවුන්ට පෙනෙන්නේ නැත. අමුද්‍රව්‍ය වෙළෙඳ පොළ ප්‍රතිපත්ති ගැන තවමත් කතාකිරීමද විහිළුවකි.

සූරාකෑම යන්නද වමේ උදවිය තේරුම් කරන්නේ වැරදි අර්ථකථනයක් දෙමිනි. එනම් කොල්ලකෑමක් වශයෙනි. කම්කරුවා ළඟ තිබූ දෙයක් ධනපතියා ගැනී‍මක් වශයෙනි. යටත්විජිතයක තිබූ දෙයක් මහ රටක් ගැනීමක් වශයෙනි. මෙම ක්‍රියාවලිය එවැන්නක් නොවේ. එය සිදුවන්නේ නිෂ්පාදනයේදීය. සිදුවන්නේ අලුතින් වටිනාකම් නිපදවා එයින් කොටසක් අත්කර ගැනීමයි. එහිදී දෙපාර්ශ්වයටම අලුතින් යමක් ලැබෙයි. එය බෙදීමේ සාධාරණ අසාධාරණ බව වෙනම කාරණයකි.

ප්‍රතිගාමී වම

‘ගෝලීය ධනවාදයට එරෙහිව’ යැයි වමේ උදවිය කියද්දි අපේ තරුණ ජනයා දිවි පරදුවට තබා බෝට්ටුවලින් ඉතාලියට ඔස්ට්‍රේලියාවට යන්නේ තම ශ්‍රමය සූරාකන්න කෙනෙක් සොයාගෙනය. ඒ ඔවුනට හොඳ ජීවිතයක් අපේක්ෂාවෙනි. අද සමාජයේ වම්මුන්ගේ බලපෑම අවම වී ඇත්තේ මේ යථාර්ථය තේරුම් නොගැනීම නිසාය.

චීනයේ ආර්ථික වර්ධනය අමෙරිකාවට තර්ජනයක්ද යන්න අධ්‍යයනය කළ අමෙරිකානු සෙනෙට් මණ්ඩල කමිටුවක් වාර්තා කළේ ‘ආර්ථික සංවර්ධනය යන්න එකතුව බිංදුව ‍වන සෙල්ලමක් (සීරෝසම් ගේම්) නොවන බවයි. එනම් එයින් දෙපාර්ශ්වයටම වාසි සැලසෙන බවයි. ආර්ථික සංවර්ධනයේ ඇත්ත කතාව ඒකයි.

වමේ උදවියගේ ගුරුවරුන් වන කාල් මාක්ස්ලා, එංගල්ස්ලා ධනවාදයට එරෙහිව සටන් කළ බව ඇත්තකි. එසේ වූවද එකල ඔවුන් හිතුවේ ධනේෂ්වර සංවර්ධනය අවසන් අදියරට පැමිණ ඇති බවයි. එංගල්ස් කීවේ කර්මාන්ත ජනසතු කිරීම සාධාරණ වන්නේ එසේ නොකර පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට තත්ත්වය මෝරා ඇතිනම් බවයි. ලෙනින් හිතුවේ අධිරාජ්‍යවාදය දුර්වල පුරුකෙන් කැඩිය හැකි බවයි. එසේ වූවද ධනවාදය දිගින් දිගට සංවර්ධනය වී ඇත. තවමත් සංවර්ධනය වෙමින් පවතියි. එසේ සංවර්ධනය වෙමින් පවතින ක්‍රමයකට එරෙහිවීම වම කරන තවත් වරදකි. සැබෑ වමක් දැන් කළ යුතු වන්නේ මෙම සංවර්ධනය වඩා හොඳින් හා වේගවත්ව ගෙනයමින් සමාජ සුබසාධනය ඉහළින් තබාගැනීමට අවශ්‍ය සටන්පාඨ තෝරාගැනීමයි.

අද ක්‍රියාත්මක බොහෝ වමේ පක්ෂවල ක්‍රියාකාරිත්වය පවතින්නේ සමාජ සංවර්ධනයට හරස්ව යන ව්‍යාපාර වශයෙනි. වමේ භාෂාවෙන් කිවහොත් මේවා පවතින්නේ ප්‍රතිගාමී බලවේග වශයෙනි. ඉතාම ප්‍රගතිශීලී තමන්ය කියාගන්නා වම ඉතාම ප්‍රතිගාමී වී සිටින්නේ ඒ ආකාරයෙනි. මේ වළෙන් ගොඩ යන්න නම් වම අලුතින් සිතා නව දේශපාලනයක් ඇරඹිය යුතුය. නැතහොත් සිදුවන්නේ රටත් විනාශ කරමින් තමන්ද විනාශය කරා ළඟාවීමය.මිථ්‍යාවන් මත දේශපාලනය කරන මෙම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. එසේ වූවද මෙය පවතින කාලය තුළ කරන බලපෑමෙන් සිදුවන විනාශය වළක්වාගත යුතුය. එය කළ හැක්කේ මහජනයා වඩා බුද්ධිමත්ව ක්‍රියාකිරීමෙනි.

සී. ජේ. අමරතුංග

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *