ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ වතගොත – මනෝජ් රූපසිංහ

වත්මන් ජනාතිපතිවරයාගේ ධුර කාලය අවසන් වීම දිනෙන් දින ළඟාවත්ම ජනාධිපතිවරණයකට නාම යෝජනා කැඳවීමේ දිනය ද ආසන්න වෙමින් පවතී. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ නොවැම්බර් 15 වන දිනත් දෙසැම්බර් 07 වන දිනත් අතරතුර දිනක දී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

එහෙත් මේ වන විට කිසිම දේශපාලන පක්ෂයකට තම අපේක්ෂකයා කවුදැයි කීමට තීරණයක් නැති බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, තුන්වෙනි බලවේගයක් ලෙස ඉතා කෙටි කලකින් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයත් තවම තම අපේක්ෂකයා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් මෙනේම නිල වශයෙන්ද ප්‍රකාශයට පත්කර නැත. එහෙත් පක්ෂ ප්‍රබලයන් මෙන්ම ඉහළ මට්ටමේ නිලධාරින් ද තම අපේක්ෂකයා කවුද යන වගට යම් යම් ඉඟි සහ මත පළ කර තිබේ.

ප්‍රධාන පක්ෂවල තත්ත්වය එසේ තිබිය දී ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රටේ අලුත්ම දේශපාලන සන්ධානයක් නිර්මාණය වෙමින් පවතී. ඒ ජවිපෙ ඇතුළු විවිධ සිවිල් සංවිධාන රැසක එකතුවෙන් බිහිවෙන ‘ජාතික ජන බලවේගය’යි. ඔවුන් ද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලකුණු පෙනෙන්නට තිබේ.

‘ජාතික ජන බලවේගයේ’ මංගල හමුව පසුගිය 14 වන දා (2019.07.14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. 2015 මැතිවරණයේ දී පොදු අපේක්ෂකයකු බලයට ගෙන ඒමට සැදී පැහැදී කැපවුණු සංවිධාන රැසක් ‘ජාතික ජන බලවේගය’ හා එක්ව සිටීම කැපී පෙනුණු සිදුවීමකි. වමේ පෙරමුණේ සම කැඳවුම්කරු ලාල් විජේනායක, අචාර්ය මයිකල් ප්‍රනාන්දු, හැත්තෑඑකේ සහෝදරත්ව සංසදයේ ලේකම් නුවර පාරේ පේමසිරි, අලුත් පරපුර වෙනුවෙන් රංගන ශීල්පි ජගත් මනුවර්ණ, සමාජ සාධාරණත්වය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යානාංශයේ ආචාර්ය හරිණි අමරසූරිය, ජාතික භික්ෂු පෙරමුණේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක ග්‍රන්ථ විශාරද රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කෑලිගම විජිතානන්ද නායක ස්වාමින් වහන්සේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම් නීතිඥ එම්.එස්.එම්. පාරිස්, ජනාවබෝධය කේන්ද්‍රෙය් පරිපාලන ලේකම් අජිත් හෑඩ්ලි පෙරේරා, ජන නියමු කලාකරු එකතුවේ කිවියර රවී සිරිවර්ධන, යනාදීන් සහභාගි වූවන් අතර කැපීපෙනන අය වූහ. මෙම සංවිධානය ද ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති අතර ඔහු හිටපු විගණනාධිපති මයාදුන්නේ මහතා වීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.

ජනතාවගේ නිරන්තර අවධානය යොමු වන්නේ ජනාධිපතිවරණ සටනේ ප්‍රබල තරඟකාරී පාර්ශ්වයන් වන එජාප ය, ශිලනිප ය හා පොහොට්ටුව වෙතය. එයින් එජාප ය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වශයෙන් තරඟ වදිනු ඇත. එජාප පෙරමුණේ අපේක්ෂකයා තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැති බව ඉහත ද ප්‍රකාශ කළෙමු. එහෙත් එජාප අපේක්ෂකයා කවුරුන් ද යන වග වටින් ගොඩින් කියැවෙන අතර ඒ පිළිබඳ විවිධ මතවාද ද මේවන විට පැනනැගී ඇත.

බොහෝ දෙනා සිතා සිටියේ සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන න්‍යායපත්‍රය අනුව ඔහු 2025 ජනාධිපතිවරණයේ දී නිසැක වශයෙන්ම එජාප අපේක්ෂකයා වනු ඇති බවයි. සජිත්ගේ දේශපාලන ප්‍රචාරක ජාලයද සජිත් ව ඔසවා තබනු ලැබුවේ 2005 ඉලක්ක කරගෙන බව විමර්ශනශීලිව බලන්නෙකුට පෙනී ගිය කරුණකි. එහෙත් හිටි ගමන්ම ළඟ එන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා තමා යයි හැ‍ඟෙන අයුරින් සජිත් ප්‍රේමදාස මහතා ද, එය තහවුරු වන අන්දමින් ඔහුගේ අනුගාමිකයන් ද විවිධ ප්‍රකාශ කරනු ලැබීම නිසා එජාප යේ යම් අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණ කිරීමට සමත් වී ඇත. සිදු විය යුතුව තිබුණේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ස්ථිර වශයෙන්ම ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කර පුකාශ කරන තුරු නිශ්ශබ්දව සිට යෝජනා වෙන තැනැත්තා කරළියට ගෙන ඒමයි.

 එක්තරා ජනහමුවක දී සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස තමා විසින්ම තමා අනාගත ආර්යාව බවට හඳුන්වා දීමෙන් විරුද්ධ පාක්ෂිකයන්ට, මාධ්‍යවේදීන්ට මෙන්ම කාටුන් ශිල්පීන්ට ද හොඳ මාතෘකාවක් නිර්මාණය කර දෙන ලදී. සමාජ මාධ්‍ය ජාලාවලට මෙය තලු මර මරා කෑමට කලකින් ලැබුණු රසවත් අහරක් මෙන් විය. අවස්ථාව එනතුරු ඉවසීමෙන් සිට බුද්ධිමත්ව මැතිවරණ ව්‍යාපාර මෙහෙය වූවා නම් මෙවැනි සිද්ධීන් නිර්මාණය වන්නේ නැත.

සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප. පෙරමණේ අපේක්ෂකත්වයට සුදුසු යයි කියන පිරිසක් මෙන්ම නුසුදුසුයි කියන පිරිසක් ද වෙති. සජිත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතුයයි ඍජුව හා වක්‍රව කියන පිරිස අතර අජිත් පී. පෙරේරා, තලතා අතුකෝරල, කබීර් හෂීම්, මංගල සමරවීර, දිලීප් වෙදආරච්චි යන අය වෙති. සජිත් එම තනතුරට නුසුදුසු යයි කියන කණ්ඩායමේ පෙරමුණේ සිටින්නේ රවී කරුණානායක යි. චම්පක රණවක හා සරත්ෆොන්සේකා ඇතුළු පිරිසකි.

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු වෙන කවුරුත් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බව කියන පිරිසක් ද වෙති. ඒ රවී කරුණානායක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, අඛිල විරාජ්, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි එජාප ප්‍රබලයන් ය. ඒ අතර කිරිඇල්ල පවසා සිටිනුයේ ‘කවුරුත් නැත්නම් මමත් හොඳයි’ යන අදහස ගම්‍යවන ප්‍රකාශයි.

කෙසේ වෙතත් ඇතිව තිබෙන අලුත්ම තත්ත්වය නම් එජාප ප්‍රමුඛ පෙරමුණක් බිහිවී, එම පෙරමුණේ පාර්ශ්ව කරුවන් ගේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපති අපේකෂකයා තෝරාගැනීමට තීරණය වීමයි. මේ දිනවල එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ කෙටුම්පත් සකසා ගෙන යන අතර එම සංධානය  -ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් ලබන අගෝස්තු 05 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙන සමුලුවක දී ප්‍රකාශයට පත්කරනු ලබන බව රාජිත සේනාරත්න මහතා පවසයි

කීපවරක්ම රට කරවීමට බලයට පත් වූ ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඛාදනය වෙමින් පවතින පක්ෂයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලං.නි.ප. යේ ඛාදනය වූ පාංශු කොටස් ගලාගෙන ගොස් නැවතුනේ එම පක්ෂය දෙකඩ වී බිහිවුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ය. වෙනත් විදිහකට කිවහොත් පොහොට්ටුවේය. උදා වී ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොහොට්ටුවත් එක් වී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළහොත් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පක්ෂ දෙකේම ප්‍රබලයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් වූ විගස කීවේ, ‘මේ මාගේ ප්‍රථම මෙන්ම අවසාන ධුර කාලයයි.  නැවත ජනාධිපති වීමට මාගේ බලාපොරොත්තුවක් නැත’ කියන උදාන වාක්‍යයි. එහෙත් වසර දෙක තුනක් ඇවෑමෙන් ඔහුට එය අමතකව ගිය සෙයක් පෙනෙන්නට තිබේ. දැන් ඔහුගේ කල්පනාව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බව ඒ ජනාධිපතිවරණය පිළිබඳව විමසුම් ඇසින් බලන ඕනෑම අයෙකුට පෙනේ. එහෙත් මෙවර ඔහුට පොදු අපේක්ෂකයෙක් වීමේ වරම් නැත. 2015 දී ඔහු වටා සිටි එජාපය ප්‍රමුඛ සන්ධානය, පුරවැසි බලය, සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන, මධ්‍යස්ථ මතධාරින් දැන් ඔහු සමඟ නැත. එයට හේතුව දූෂිත රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සටනට පිවිසි ඔහු වැඩි කලක් නොගොස් රාජපක්ෂ කඳවුරේ (නිල නොවන මට්ටමින්) නැවතීම හේතුවෙනි.

ඔහුගේ ක්‍රියාකාරකම් පාලක යහපාලනයට සහයෝගය පිණිස නොව විරුද්ධ පක්ෂයට සහයෝගය පිණිසම විය. ඔහුගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා යහපාලන ආණ්ඩුවට ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට බාධක එල්ලවිය. ව්‍යවස්ථාදායකය එකපැත්තකය. විධායකය තවත් පැත්තකය. එසේ නොකොට යහපාලන රජය සමඟ සමගියෙන් සංහිඳීයාවෙන් කටයුතු කළා නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව මුළු මහත් ජනතාව එක් වී යළිත් වරක් ජනාධිපති තනතුරට පත්කර ගනු නොඅනුමානය. ආපසු හැරීමට දැන් ප්‍රමාද වැඩිය.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේ දී වඩාත්ම අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ය. එයට මූලික හේතුව වී ඇත්තේ පොහොට්ටුව වසා ගෙන සිටින රාජපක්ෂවාදයයි. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන වග තවම නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැතත්, ගෝඨාභය රාජපක්ෂ පසුගිය වකවානුවේ වැඩකටයුතු කරගෙන ගියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තමා බව හැඟෙන පරිද්දෙනි. ඔහු වෙනුවෙන් රටවටා සංවිධානය කළ එළිය සම්මන්ත්‍රණ මාලාව එහි එක් අංගයකි. ඔහු හදිසියේම ඇමරිකානු පුරවැසිභාවයෙන් අයින් වීමට අයදුම් කිරීම තවත් එකකි. එහෙත් ඔහුගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය තවම අයින් කරගැනීමට හැකි වී නැතැයි ආරංචි මාර්ග පවසයි. පුරවැසි භාවය අයින් කරගත්තවුන් ගේ අලුත්ම ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නැත. හෘද සැත්කමකට භාජනය වී පසුගිය දිනවල සිංගප්පූරුවේ විවේක සුවයෙන් සිටි ඔහු 23 දා රාත්‍රියේ ආපසු දිවයිනට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමට ප්‍රසිද්ධියේම විරුද්ධත්වය ප්‍රකාශ කර පිරිස් ද එම පිළේ ම ඇත. එයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඉතාමත් හිතෛෂීවන්තයෙකු වූ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු වූ කුමාර වෙල්ගම මහතා කැපී පෙනෙයි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ  වාසුදේව නානායක්කාර මහතා ඉතාම මෑතක දී පැවසුවේ තමන් බලාපොරොත්තු වන අපේක්ෂකයාට අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තම සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙන බවය. වාසුදේව මහතා චමල් රාජපක්ෂ මහතා ජනධිපති අපේක්ෂකත්වයට සුදුසු බවට කීපවතාවක දී අදහස් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම ලිපිය සකස් කරන අවස්ථාව වන විට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ශීරන්ති රාජපක්ෂ මැතිණියට හිමිවනු ඇතැයි මතයක් පළවී තිබුණි ඒ ගැන පොහොට්ටුවේ බිම් මට්ටමේ සාමාජිකයන් ප්‍රසාදයෙන් කතාකරනු පෙනිණි.

මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දැනට නම් පහක් යෝජනා වී ඇති බවත් එයින් එක් අයෙකු ජනාධිපති අපේක්ෂක වශයෙන් තෝරාගන්නා බවත්ය. ඒ පස්දෙනා ශිරන්ති රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන වශයෙන් හඳුනා ගත හැකිය. හතර දෙනෙක් රාජපක්ෂ පවුලේම සාමාජිකයන් වීම විශේෂයකි. කෙසේ වෙතත් අගෝස්තු 11 වැනි දා පවත්වනු ලබන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සමුළුවක දී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා ස්ථිර වශයෙන්ම ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ජනාධිපති අපේක්ෂකයන් බවට පත්වීමට බලාපොරොත්තුවන පුද්ගලයන් අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ද කලක පටන් කියැවේ. විවිධ මාධ්‍යයන් ඔහු සමඟ සාකච්ඡා කිරීමේ දී ඔහු ඒ පිළිබඳ ඉඟි ප්‍රකට කර තිබිණි. මහින්ද රාජපක්ෂගේ පවුලේ හිතවතෙක් වන ඔහු මැතිවරණ කටයුතු වල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දෙන කණ්ඩායමක් නිර්මාණය කරගනු පිණිස වෙනත් ලියාපදිංචි පක්ෂයකින් ජනාධිපති තරඟබිමට පිවිසීමට බොහෝවිට ඉඩකඩ තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු වන ගමරාලලාගේ රොහාන් පල්ලෙවත්ත මහතා නිසැක වශයෙන්ම ජනාධිපතිවරණ තරඟබිමට පිවිසෙනු ඇත. ඔහු මීට කලකට පෙර සිටිම ලංකාව පුරාම සිය සංවිධානයේ ශාඛා පිහිටුවා ගනිමින් වැඩකටයුතු කරමින් සිටින්නෙකි. ඔහු පවසන පරිදි ඔහුගේ නිත්‍ය සාමාජික සංඛ්‍යාව ලක්ෂ එකොළහක් ඉක්මවයි. එය ජනාධිපතිවරණකට බලපෑමක් ඇති කළ හැකි ඡන්ද සංඛ්‍යාවකි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ද ජනාධිපති තරඟ බිමට පිවිසෙන බවට කලක පටන්ම ප්‍රකාශ කර සිටින්නෙකි. නිදහසින් පසු රට පාලනය කළ ප්‍රධාන පක්ෂකෙරෙහි  ජනතාව කළකිරී සිටින බවත් ලබන ජනාධිපතිවරණය මෙතෙක් පැවති කොළ නිල් තට්ටුමාරු ක්‍රමයේ අවසානය බවත් ඔහු ස්ථිරව පවසයි. ඔහු අන්තර් ජාලය තුළ ප්‍රබල හඬක් නගන්නෙකි.

ප්‍රබුද්ධ ගීත රචකයකු වන ධම්මික බණ්ඩාර මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙතැයි වයඹ ආරංචි මාර්ග කියයි. වෘතියෙන් ගුරුවරයෙකු වූ ඔහු පුද්ගලික උපකාරක පංති ක්ෂේත්‍රයේ ද ජනප්‍රිය ගුරුවරයෙකි. හන්තානට පායන හඳ ලස්සනයි ද කියන්න, මගේ පුංචි රෝස මලේ… ආදි ජනප්‍රිය ගීත ලියූ ඔහු සාහිත්‍ය පිළිබඳ විචාරකයකු මෙන්ම දක්ෂ දේශකයකුද වෙයි.

ඔහු පසුගිය වකවානුවේ දිවයින පුරාම සාහිත්‍ය දේශන පවත්වා ජනප්‍රසාදයක් දිනාගත්තෙකි. ඔහු සාහිත්‍ය දේශනවනලදී රට ගමන් කළයුතු දිසානතිය ගැන අදහස් ද ජනතාව අතර ගෙන ගියේය. පසුගිය දිනවල ඔහු සිහිනයකි රෑ, දොරමඬලාව වැනි ප්‍රබුද්ධ රූපවාහිනී වැඩ සටහන් රැසකට ද සහභාගිවිය. ඔහු ජනාධිපති තනතුරට පත්වුවහොත් බස්නාහිර, උතුරුමැද, දකුණ පමණක් නොව වයඹ පළාත ද ජනාධිපතිවරයෙක් බිහි කළ පළාතක් වනු ඇත. ඔහුට ලියාපදිංචි දේශපාලන පක්ෂයක නාමය හා සලකුණ ලැබුණහොත් ජනාධිපති තරඟයට පිවිස සාර්ථක සටනක් දෙනු ඇති බව ඔහුගේ ප්‍රචාරක ලේකම් වරයකුවන ජනප්‍රිය නිවේදක සුදත් සමරදිවාකර මහතා පැවසුවේය.

‘2020 ජනාධිපතිවරණයට එන උගත් බුද්ධිමත් තරුණ ඉංජිනේරු වරයා කවුද?’ කියා සමාජ ජාල මගින් තමන් ම හඳුන්වාගත් දිනේෂ් නුවන් අමරතුංග ද ජනාධිපති අපේක්ෂක සිහිනයකින් පෙළෙන්නෙක් බව ප්‍රකටය. පසුගිය දා කළගෙඩිහේන ප්‍රදේශයේ දී තම රථයට ඉස්සර කිරීමට ඉඩ නොදුන් වෑන් රථයක් පදවා ගෙන ගිය පුද්ගලයකුට පහර දීමට තැත් කළේ මොහුගේ ආරක්ෂකයන්ය. ජනාධිපති අපේක්ෂක සිහිනයෙන් පසු වූ නුවන් ද, ඔහුගේ සහචරයන් ද අධිකරණ නියෝග මත ලබන 29 වන තෙක් රක්ෂිත බන්ධනාගාර ‍ගතකොට ඇත.

මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වා නැමැත්තෙක් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇත. ඔහු ගේ තේමාව සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගිය යුතුය යන්නයි. ඔහු රාවණා බලයෙන් ඕනෑම දෙයක් ක්ෂණයකින් විසඳීමට හැකියාවක් ඇත්තෙකු බව ඔහු විසින් ම හඳුන්වාදෙයි. යම්කිසි විදිහකින් ඔහු බලයට පත්වුණහොත් නිදහසින් පසුව අවුරුදු 70 කට වැඩි කාලයක් නොවිසුඳුන ප්‍රශ්න රාවණා බලයෙන් ඔහුට විසඳීමට සතියක කාලයක්වත් ගත නොවනු ඇතැයි කියති. ‍

තමා මීට පෙර ආත්මවල මුචලින්ද නාගරාජයා ලෙසත්, බෲස්ලි ලෙසත්, පරාක්‍රමබාහු ලෙසත් ඉපදී සිටිය බව කියන කුලියාපිටිය ‍ප්‍රදේශයේ අයෙක් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියයි. ඔහු ද අද්භූත බලයෙන් ඕනෑම දෙයක් කිරීමට හැකියයි කියාගන්නා තැනැත්තෙකි. ඡන්ද දායකයන් ඔහුව බලයට පත්කර ගන්නේ නම් එක් එක් දේශපාලන පක්ෂවලට, දේශපාලඥයන්ට දොස් නගමින් කාලය ගත කිරීමට අව‍ශ්‍ය නැත. පැය කිහිපයක් ඇතුළත ඔහු ලවා සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකිවනු ඇත. ඒ ඔහු කියන කතාවයි.

රැප් ගායකයකු වන ෆිල්ටි ද, ලංකාවේ සිහින කුමරා යනුවෙන් තමාම හඳුන්වා ගන්නා මධු රොක්ස් ද ජනාධිපති අපේක්ෂකයන් වන බව මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

කසේ වෙතත් සිදුවිය යුත්තේ අනාගත දැක්මක් ඇති, යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් ඇති, නීති ගරුක, යුක්ති ගරුක, රටේ සියලු ජනතාවට එක හා සමානව සලකන, පටු ආකල්ප වලින් තොර ජනාධිපති අපේක්ෂකයකු බලයට පත්කරගෙන  අපගේ මාතෘභූමිය ස්වයංපෝෂණය කිරීමයි. ජනතාවට නිදහසේ ජීවත් විය හැකි  ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රජයන රටක් නිර්මාණය කර ගැනීමයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *