| |

පරණ පොරොන්දු කඩනු ! සහල් වෙළෙඳපොළට ඉඩ දී රජය ඉවත්වනු ! – සී ජේ අමරතුංග

 

විපක්ෂයේ සිටින විට ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව රටේ සහල් ප්‍රශ්නය යොදාගත්තේ පැවති ආණ්ඩුවේ හෝ ආණ්ඩුවල හෝ නොහැකියාව ගැන කියන්නට ය. ඔවුන් කී දේ ගැන දැන් බොහෝ දේ කියැවී ඇති නිසා ඒ ගැන නැවත කිව යුතු නැත. එසේ වුවත්, ඒ සියල්ල දැන් මාලිමාව වෙත කැරකී පැමිණ ඇත්තේ පාරා වළල්ලක් ආකාරයෙනි.

එක පෑන් පහරින් ප්‍රශ්න විසඳුණේ නැත. තවමත් සහල් නැත. තියෙන සහල් මිල අධික ය.

ආණ්ඩුව ගෙනෙනවා කී රට සහල් තවම නැත. සතොසේ ටෙන්ඩර් දෙකක් ප්‍රතික්ෂේප වූ පසු නැවත කැඳ වූ ටෙන්ඩරය ද ප්‍රතික්ෂේප වී ඇත. ආණ්ඩුව යන්තම් ගොඩ ගියේ පෞද්ගලික වෙළෙඳුන් ගෙන් වූ සහල් තොග හේතුවෙනි. ඒවා ද ප්‍රමාණවත් නැත.

ආණ්ඩුවේ කතා බොරු බව හෙළිවෙයි

ආණ්ඩුව පාඩම් ඉගෙන ගනිමින් සිටියි. සහල් මාෆියාවේ මෝල් හිමියන් දැවැන්ත සහල් තොග සඟවාගෙන සිටින බවට කී කතා බොරු වී ඇත. වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා දැන් කියන්නේ සැඟ වූ සහල් තොග නැති බව යි. රටේ ඇත්ත සහල් හිගයක් තිබෙන බව යි. එය ගණනය කළාටත් වඩා විශාල බව ඒ මහතා දැන් කියයි.

තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ. ගොවීන් තම වී වලින් කොටසක් තබාගෙන සහල් හිග වූ විට වැඩි මිලට විකුණා ඇත. කිලෝව රුපියල් 135 ,140 වැනි මිල ගණන්වලට වී විකිණී ඇත. මරඳගහමුල වෙළෙඳපොළට සහල් සපයන මෝල් හිමියන් නොවැම්බරයේ වී මිල දී ගත්තේ කිලෝව රුපියල් 156 කට බව ද ප්‍රකාශ වී ය. සහල් මිල තීරණය වී ඇත්තේ ඒ අනුව ය.

සහල් මිල හැදෙන හැටි ද වාර්තා වී ඇත. සහල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6 ක් අවශ්‍ය ය. අනෙක් වියදම් එකතු කළ විට මිල නියම වන්නේ වී කිලෝවක මිල මෙන් 2.06 ලෙස යැයි ද ගණන් බලා තිබේ. මෝල් හිමියාගේ ,තොග වෙළෙඳුන්ගේ, සිල්ලර වෙළෙඳුන්ගේ වියදම් සහ ප්‍රවාහන ගාස්තු ආදිය මෙන් ම ලාභ ද එයට ඇතුළත් බව කියති.

ඒ අනුව රුපියල් 140 ට වී ගත්තේ නම් සහල් මිල 280 ඉක්මවා යාම පුදුම විය යුතු කරුණක් නොවේ. අඩු මිලට ගෙන ගබඩා කරගත් ලොකු මෝල් හිමියන්ගේ වියදම මීට අඩු විය හැකි ය. ඔවුන්ට ද ගබඩා කිරීමේ, බැංකු ණයට පොලී ගෙවීමේ වියදම් සහ වී වල තෙතමනය පාලනය ආදිය සඳහා වියදමක් දරන්නට සිදුවෙයි.

( YUKTHIYA SRI LANKA යූ ටියුබ් නාලිකාවේ ” සහල් වෙළෙඳපොළට ඉඩ දී මාලිමා ආණ්ඩුව ඉවත් විය යුතුයි ” වීඩියෝව ද බලන්න )

වෙළෙඳපොළේ අවුලක් නැත

වෙළෙඳපොළේ සහල් හිගයක් නැති විට මිල පහත බැස තිබු බව ද දැන් පැහැදිලි වී තිබේ. මේ වසර මැද සහ සැප්තැම්බර් මාසයට පෙර තිබු සහල් මිල ලෙස වාර්තා වන්නේ කිලෝව රුපියල් 170 – 180 අතර ය. මෑතක මිල ඉහළ යාම ප්‍රශ්නගත වූයේ ද ඒ නිසා ය. නමුත් එසේ වෙළෙඳපොළේ මිල පහළ ගොස් තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ 2022 මැයි 3 දා නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මකව තිබිය දී සහ ඒ අනුව සහල් කිලෝවක සහතික මිල රුපියල් 220 ක් ලෙස නියමකර තිබිය දී ය. එයින් ද පෙනී යන්නේ සහල් වෙළෙඳපොළේ මිල යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මකව තිබු බව යි.

රටේ සහල් අතිරික්තයක් ඇතැයි ආණ්ඩුව කීවේ නිලධාරීන්ගේ ගණන් හිලව් අනුව ය. රටේ ඇත්ත සහල් හිගයක් ඇතැයි වෙළෙඳ ඇමතිවරයාට දැන් පිළිගැනීමට සිදුව තිබේ. එම යථාර්ථය හෙළි කළේ මිල යාන්ත්‍රණය මගින් ය. මෙලෙස ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ නිවැරදි සංඥා ලබාදීම මිල යාන්ත්‍රණයේ ඇති වැදගත් වාසියක් බව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රධාන පිළිගැනීමකි.

මේ සියල්ල මගින් පෙන්නුම් කරන්නේ සහල් වෙළෙඳපොළේ විකෘතියක් ගැන හෝ මෝල් හිමි මාෆියාවක් මිල තීරණය කරන බව හෝ කියමින් සමාජ ගත කර තිබෙන කතාව පට්ටපල් බොරුවක් බව යි. එය වැරදි දේශපාලන දර්ශනයක් මත ගොඩනැගුණු මිත්‍යා විශ්වාසයකි.

මිත්‍යාවෙන් මිදීමට මාලිමා ආණ්ඩුව සුදානම් නැත

දැන් ප්‍රශ්නය තිබෙන්නේ සියලු සත්‍ය තොරතුරු හෙළි වී තිබියදීත් තම මිත්‍යාවෙන් මිදීමට මාලිමා ආණ්ඩුව සුදානම් නොවීම යි.

සහල් වෙළෙඳපොළේ ඔවුන් කී ප්‍රශ්නයක් නැති බව තහවුරු වී ඇතත් එයට ඔවුන් සිතා සිටින විසඳුම ක්‍රියාත්මක කිරීමට මාලිමා නායකයෝ කැප වී සිටිති. ඔවුන් තවමත් කියන්නේ ඊනියා සහල් මාෆියාව පාලනය කරන බව යි. මිල පාලනය තාවකාලිකව ඉවත් කිරීමේ සුදානමක් ගැන වෙළෙඳ ඇමති කීවත්, ඉන් ඉවත් වන්නට සුදානමක් නැත. ඔවුන්ගේ  අවසන් විසඳුම රජයේ පාලන මිලකට වී ගැනීම සහ සහල් සඳහා පාලන මිලක් නියම කිරීම යි. රජයෙන් වී මිල දී ගෙන ගබඩා කොට පසුව විකුණන්නට යන්නේ වී අලෙවි මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම මගින් ය.

වී අලෙවි මණ්ඩලය යනු මාලිමාව කියන 76 වසරක සාප කාලය තුළ 1971 දී ඇති කළ ආයතනයකි. ආරම්භ කළ දිනයේ පටන් ම එම ක්‍රියාමාර්ගය සාර්ථක නොවන බව තහවුරු වී ඇත. සහල් ප්‍රවාහනය තහනම් කොට සහල් පොලු දැමුවේ රජයේ මැදිහත්වීම නිසා රටේ කළු කඩ ක්‍රමය වර්ධනය වීම නිසා ය. සතියේ දින දෙකක් ජනතාවට බත් කෑම තහනම් කළේ එම කාලයේ ය. බත් කන ජනතාව විසින් එම ආණ්ඩුව පෙරළා දැම්මේ හයෙන් පහක බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමින් ය.

ඉන් පසු පැමිණි ආණ්ඩු වී අලෙවි මණ්ඩලය වසා නොදැමුවත් වෙළෙඳපොළට බරපතළ ලෙස මැදිහත් වුයේ නැත. මෑත කාලයේ එබඳු උත්සහයක් දැරුවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යි. එයට අත් වූ ඉරණම අමුතුවෙන් මතක් කළ යුතු නැත. මාලිමාව දැන් කරන්නේ එම අසාර්ථක වැඩ පිළිවෙළට යළි පණ දීමට උත්සාහ දැරීම යි.

තේරුම් ගැනීමේ නොහැකියාව

රාජ්‍ය මැදිහත් වීම අසාර්ථක වන බවට ලෝකය පුරා අත්දැකීම් ඇතත්, ඒවා  තේරුම් ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය ගැන ඇති අනවබෝධය යි. මොවුන්ට වෙළෙඳපොළ ගැන ඇත්තේ අති සරල අදහසකි. ඔවුන් හිතන්නේ වෙළෙඳපොළ යනු නිෂ්පාදකයාගේ නිෂ්පාදන අඩු මිලට ගන්නා වෙළෙඳුන් ඒවා පාරිභෝගිකයාට වැඩි මිලට විකුණා අධික ලාබ ලැබීම බව යි. මෙය වෙළෙඳපොළ දෙස මතුපිටින් බලා ඇතිකර ගන්නා මිත්‍යා විශ්වාසයකි. විද්‍යාත්මක හැදෑරීමක් මෙහි නැත.

වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ දේශපාලන ආර්ථික විද්‍යාවේ හැදෑරීම් රාශීයක් ඇත. වාද විවාද පවතී. නමුත් ඒ අතරින් පිළිගත අදහස් හදාරා තේරුම් ගත යුතුව ඇත.

වෙළෙඳපොළ යනු වෙළෙඳුන් හිතුමතේ භාණ්ඩ විකිණීමක් නොවේ. එය ක්‍රියාත්මක වන්නේ සමාජ පද්ධතියක් ( Social system ) වශයෙනි. එයට නිෂ්පාදකයෝ  සහ පාරිභෝගිකයෝ යන ප්‍රධාන කණ්ඩායම් සම්බන්ධව සිටිති. එම කණ්ඩායම් වෙළෙඳපොළ තුළ තරග වදින්නේ තම තමන්ගේ ආර්ථික ප්‍රතිලාභ උපරිම කර ගැනීමට ය. අතර මැදියන්ගේ සියලු තීන්දු තීරණ ගැනෙන්නේ ඉහත කී ප්‍රධන කණ්ඩායම් දෙකෙහි පලපෑම අනුව ය. වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය ගැන දේශපාලන ආර්ථික විද්‍යාවේ පැහැදිලි කිරීම ඉතා සරලව එලෙස ය.

වෙළෙඳපොළ යන පද්ධතියට සම්බන්ධ කණ්ඩායම් ද සමජාතීය නැත. වී ගොවීන් ගතහොත් ඔවුන්ගේ මට්ටම් ගණනාවක් ඇත. ඉඩම් අයිතිය අනුව, ප්‍රදේශ අනුව, වගා ක්‍රම අනුව ඔවුහු විවිධ තලවලට අයත් වෙති. වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ද සමාන නැත. ඇතැම් ගොවීන් තම අස්වැන්න එකවර විකුණා දමනවා විය හැකි ය. එසේ වුවත්, වෙළෙඳපොළේ මිල ඉහළ යනතෙක් තම අස්වනු ගබඩා කිරීමට ඇතැම් ගොවීන් කටයුතු කොට ඇති බව දැන් පැහැදිලි වී තිබේ. සහතික මිල ක්‍රමයක දී එයට ඉඩක් ලැබෙන්නේ නැත. එයින් ඔවුන්ගේ අවස්ථා අහිමි වෙයි.

මෙරටේ විශාල මෝල් හිමියන් සිටින්නේ හතර පස් දෙනෙකි. ඔවුන්ගේ වෙළෙඳපොළ පංගුව සියයට 20 කට අඩු ය. ( 17% බව කියති.). බහුතරය සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ වෙති. ලොකු මෝල් හිමියන්ට පාඩම් උගන්වන්නට ගිය විට මුලින් ම පහර වදින්නේ කුඩා මෝල් හිමියන්ට ය.

තොග සහ සිල්ලර වෙළෙඳුන් අතර ද තල ගණනාවකි. ඒ හැමගේ අවශ්‍යතා සමාන නැත.

මිල පාලනයේ විපාක

පාරිභෝගිකයෝ ද සමජාතීය නොවෙති. දිළිඳු ජනයා අඩු මිලට සහල් බලාපොරොත්තු වන නමුත් මැද පන්තිකයා ට අවශ්‍ය වන්නේ ගල්, වැලි, වී නැති ගුණාත්මක තත්ත්වයේ සහල් ය. විවිධ සන්නාම යටතේ සහල් වෙළෙඳපොළට ඉදිරිපත් වන්නේ එම සන්නාම මගින් ගුණාත්මක බව තහවුරු කොට ඇතැයි යන විශ්වාසය නිසා ය. පාරිභෝගික රුචිය අනුව ද ඇතැම් සන්නාම සඳහා ඉල්ලුම අඩු වැඩි වෙයි. පාලන මිල ක්‍රමයක් තුළ මෙම ගුණාත්මක බව රැකීමේ දිරි ගැන්වීමක් නැත. පාලන මිල ක්‍රියාත්මක වූ සැම විටක ම ප්‍රතිඵලය වී ඇත්තේ ගුණාත්මක බව පහත වැටීම යි.

ඒ ගැන කිසිවකුට සැකයක් ඇත්නම්, කළ යුතු වන්නේ, ගල් වැලි සහිත සහල්වලට වතුර ගසා විකුණු, මිරිස් කුඩුවලට ගඩොල් කුඩු මිශ්‍ර කළ, ගම්මිරිස්වලට පැපොල් ඇට මිශ්‍ර කළ, තේ කුඩුවලට පාට කළ ලී කුඩු මිශ්‍ර කළ 1977 ට පෙර යුගය ගැන තොරතුරු සොයාගෙන හැදෑරීම යි. මාලිමා ආර්ථික දැක්ම අනුව ආදර්ශ යුගය එය බැවින් එම හැදෑරීම වඩාත් වැදගත් වෙයි.

මෙබඳු සමාජ පද්ධතියක් මැදට රජය කඩා පාත්වීමෙන් සිදුවන්නේ එය අවුල් ජාලයක් වී නැති ප්‍රශ්න ඇතිවීම පමණකි.

සහතික මිල ක්‍රමයකට විරුද්ධ ආර්ථික විද්‍යාඥයින් දිළිඳු ජනයාට ඍජු සහන දෙන අස්වැසුම වැනි ක්‍රමවලට දැඩි ලෙස පක්ෂ වන්නේ ඒ නිසා ය. ගොවියාගේ සහ අන් සියලු දෙනාගේ අවශ්‍යතා රකිමින් දිළිඳු ජනයාට සහන දිය හැක්කේ ඒ ආකාරයෙනි.

ගොවියාගේ ගෙල සිර කිරීම

සහල් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිල නියම කළ විට වී සඳහා ද උපරිම මිලක් නියම වෙයි. එය ආර්ථික වශයෙන් ගොවියාගේ ගෙල සිර කිරීම කි. ගොවියාට සාධාරණ මිලක් දෙන බව රජය කීව ද එම මිල සාධාරණ බව පිළිගැනීමට ගොවියා සුදානම් වේද යන්න සැක සහිත ය.

පාරිභෝගිකයා ද සතුටු කළ නොහැකි ය. ඔවුන් ද සිතනු ඇත්තේ මිල තමන්ට සාධාරණ නොවන බව යි.

අවසන් ප්‍රතිඵලය වන්නේ රජය සියලු පාර්ශවවල විරෝධයට ලක්වීම යි. ඒ සමග ආර්ථිකය ද කඩා වැටීමකට ලක් වන්නේ තමන්ට ප්‍රතිලාභ අඩු වන විට ඇතැම් ගොවීන් ගොවිතැනින් ඉවත්වීම හේතුවෙනි.

ආණ්ඩුව දැන් මෙම ප්‍රශ්නය අවුල් කරගත්තා හොඳට ම ඇති ය. දැන් කළ යුතු වන්නේ වෙළෙඳපොළට ක්‍රියාත්මක වන්නට ඉඩ හැර, මිල පාලනය ඉවත් කර සහල් වෙළෙඳපොළ විනාශ කිරීමෙන් ඉවත් වීම යි.

මාලිමාව කතා නිර්මාණය කළේ ආණ්ඩු පෙරළන්නට ය. පොරොන්දු දුන්නේ ඒකට ය. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නට ගියහොත් සිදුවන්නේ රටේත්, මාලිමා ආණ්ඩුවේත් විනාශය යි. එබැවින් දැන් කළ යුතු වන්නේ කලින් දුන් පොරොන්දු කඩමින් රටට අවශ්‍ය දේ කිරීම යි.

ආර්ථික ප්‍රශ්න විසඳීමට වෙළෙඳපොළට ඉඩ දීමට දේශපාලඥයෝ කැමති නැත. සියලු දේට මැදිහත් වී සියල්ල කළේ තමන් බව කීම ඔවුන්ගේ ආශාව යි. විනාශයට මුල වන්නේ ද එම ආශාව යි.

තමන් කී දේ වැරදි යැයි පිළිගැනීම මාලිමා නායකයින්ගේ ලැජ්ජාවට හේතුවක් විය හැකි ය. නමුත් එය නොපිළිගතහොත් සිදුවන්නේ විනාශය යි.

ලැජ්ජාව ද , විනාශය ද, යන දෙකෙන් එකක් තෝරා ගැනීමට මාලිමා නායකයින්ට සිදු වී තිබේ.

සී ජේ අමරතුංග

 

( YUKTHIYA SRI LANKA යූ ටියුබ් නාලිකාවේ ” සහල් වෙළෙඳපොළට ඉඩ දී මාලිමා ආණ්ඩුව ඉවත් විය යුතුයි ” වීඩියෝව ද බලන්න )

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *