” රන්වල දැන් යන්න ” ලිපියෙන් ඊයේ රටේ රාළ කිව්වේ ආචාර්ය,මහාචාර්ය පට්ටම් ඉස්සරහා ජවිපෙ අද ඇඹරෙන විදිහ සහ ඉතිහාසයේ ඒ සියල්ලට වඩා කැපකිරීමේ දේශපාලනය උඩින් තියාගෙන ජවිපෙ වැඩ කරපු විදිහ ගැනයි.1994 කියන්නේ ජවිපෙට ඉතාමත් තීරණාත්මක කාලපරිච්ඡේදයක්.එදා ජවිපෙට ඕනි උනේ ඇත්ත කැපකිරීම් කරන මිනිස්සු.පූර්ණකාලීන සඟයෝ. නැත්තං වෘත්තීය විප්ලවවාදීන්.මරා දාපු පක්ෂයක් ගොඩගන්නයි උවමනා වෙලා තිබුණේ.
ජවිපෙට ආකර්ෂණය උන අයගෙන් පක්ෂයට පුර්ණකාලිනව සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම දිගටම කළා.එදා ඒ ඉල්ලීම ජවිපෙ ජාතික අධ්‍යාපන කදවුරේ ඉගෙන ගනිමින් හිටපු අනුරට සහ විජිතටත් කරලා තිබුණා.හැබැයි අනුර සහ විජිත ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. දෙන්නම කියලා තිබුණේ උපාධිය සම්පූර්ණ නොකර එන්න බෑ කියලයි.අනුරලා එහෙම කළාට බිමල් රත්නායක එහෙම කළේ නෑ.
බිමල් විශ්ව විද්‍යාලයේ එක තැනකින් උපාධියට ආයුබෝවන් කියලා පක්ෂයේ පූර්ණකාලීනයෙක් බවට පත්වුනා.එකෙන් රටේ රාළ කීයටවත් උපාධිය හෑල්ලු කරන්නේ නෑ වගේම උපාධිය ගැනීම අනවශ්‍යයි කියලා කියන්නේ නෑ.එදා ජවිපෙ ඇතුලේ උපාධිය,රස්සාව,ජීවිතය නෙවෙයි පක්ෂයේ අවශ්‍යතාවයයි ප්රමුඛදේ බවට පත්වුනේ. අනුරලා ජවිපෙ නායකයෝ උනාට පස්සේ තමයි උපාධි,ආචාර්ය,මහාචාර්ය සංකල්ප ඇතුලේ පක්ෂය හිර කළේ.
ජවිපෙ ඒ ගමන අද නතරවෙලා තියෙන්නේ හොර උපාධිකාරයෝ,හොර ආචාර්ය,මහාචාර්යවරු රොත්තක් පිරිවරාගෙන.හෙට දවසේ තවත් එහෙම ආචාර්ය,මහාචාර්ය සෙට් එකක් පාර්ලිමේන්තුවෙන් මතුවුනොත් ඔයාලා පුදුම වෙන්න එපා.එයලා JVP කාරයෝ හරි මාලිමාකාරයෝ හරි උනා කියලත් පුදුම වෙන්න එපා.එතනදී ඔයාලා එක දෙයක් විතරක් පිලිගන්න.අද තියෙන්නේ එදා තිබුණ ජේවීපී එක නෙවෙයි.අපි දාලා ගියේ ඔය තක්කඩි ජේවීපී එක මිසක් විජේවීර හදලා සෝමවංශලා ඇතුළු පිරිස රැකගත්ත ජේවීපී එක නෙවෙයි.
අදත් අපි විජේවීරගේ ශිෂ්‍යයෝ කියලා ඕනි තැනකදී කියනවා.හැබැයි ඔය අම්බලමේ ලැඟලා ඉන්න කාටවත් එහෙම කියන්න බෑ.කියනවා නං කියන්න වෙන්නේ රනිල්ගේ ගෝලයෝ කියලා විතරයි.රටේ රාළ අනුරට සහ ටිල්වින්ට අභියෝග කරනවා පුළුවන් නම් අශෝක රන්වලට මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියන්න කියලා.අඩුම ගානේ කථානායක පුටුවෙන් ඉල්ලා අස්වෙන්න කියන්න.ඔය වගේම නොවුනත් ඔයිට සමාන ප්රශ්නවලදී ජවිපෙ නායකයෝ ඒ වගේ ශක්තිමත් තීරණ ගත්තා.
සෝමවංශ ජවිපෙ නායකත්වය දරද්දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙකුට චෝදනා දෙකක් ආවා.එක්කෙනෙක් අනුරුද්ධ පොල්ගම්පොල,අනිත් කෙනා සිරිපාල අමරසිංහ. ඒ දෙන්නාගේ භාවිතාවන් දෙකක් පක්ෂයේ විනයට සහ සංස්කෘතිකට ගැලපෙන්නේ නෑ කියලා එයාලට තමන්ගේ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා කිව්වා.ඒ ඉල්ලීම කරන්න එදා පක්ෂයට පෞරුෂය තිබුණා.ඒ වගේම ඒ ඉල්ලීමට එකඟවෙලා ඒ දෙන්නා බොහෝම නිහතමානීව තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දෙකෙන් ඉල්ලා අස්වුනා.
ඉතිහාසසේ ජවිපෙ එහෙමයි තමන්ගේ සුජාතභාවය රැකගත්තේ.ඒක විනාශ කළේ ජවිපෙ හතර දෙනාගේ කල්ලිය.ඒක නිසා ඒ ඉල්ලීම කරන්න ටිල්වින්ටවත් අනුරටවත් ධෛර්යයක් නෑ.දැන් රන්වලට ඉල්ලා අස් උනොත් අස්වෙන්නේ ජනතා විරෝධය ඉදිරියේ මිසක් ජවිපෙ පෞරුෂය ඉදිරියේ හරි ජවිපෙ නායකයන්ගේ පෞරුෂය ඉදිරියේ හරි නෙවෙයි. එහෙම නායකත්ව පෞරුෂයක් හරි සංවිධාන විනයක් හරි ජවිපෙට දැන් නෑ.ඊළඟට අද තියෙන්නේ දෙමුහුම් පක්ෂයක්.
ජවිපෙ ටිල්වින් කියන්නේ ජවිපෙ සහ මාලිමාව කියන්නේ දෙකක් කියලා.මාලිමාවේ හරිනි කියන්නෙත් ජවිපෙ සහ මාලිමාව කියන්නෙත් දෙකක් කියලා.ඒ කියන්නේ සංස්කෘතීන් දෙකක්. හැබැයි දැන් මේ දෙක මුහුවෙලා හින්දා ජවිපෙ සංස්කෘතික මොකද්ද,මාලිමාවේ සංස්කෘතික මොකද්ද කියලා වෙන්කරලා ගන්න බෑ.මාලිමාව සහ ජවේපෙ එකට එකතුවෙලා ගොඩනගපු අලුත් සංස්කෘතිකය දේශපාලනික වශයෙන් පාදඩ එකක්.
ඒක තිබුණ ජවිපෙ සංස්කෘතික පැත්ත පලාතකට ගන්න බැරි අවලං සංස්කෘතියක්.බොරු කියන එක.නැති තාන්න මාන්න,පට්ටම්,තනතුරු,උපාධි පෙන්නලා තමන් ගැන වර්ණනා කර ගන්න එක, පක්ෂ ඉතිහාසයේ හිටපු වීරයෝ විදිහට ඉතිහාසය විකෘති කරමින් පෙනී ඉන්න එක ඇතුළු වැඩවසම්කම ජීවිතය කරගත්ත නායකයෝ ඉන්න ව්‍යාපාරයක් බවට අද ජවිපෙ සහ මාලිමාව පත්වෙලා.පක්ෂයක් විදිහට සංවිධානාත්මක බලවේගයක් නිර්මාණය කරනවා වෙනුවට අනුර අයියව උස්සගෙන ගිහින් ජනාධිපති කරලා රටේ මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා ගහලා බලයගත්ත ගේමක් විතරයි මේක.
ගේමක් ගහලා හරි බලය ගත්තත් කමක් නෑ කියමුකෝ.ඒත් අඩුම ගානේ බලය ගත්තට පස්සේවත් මේක හරියට ස්ථාන ගත කරගන්න දැන ගන්න ඕනි.ඒකට කොන්දක් තියෙන්න ඕනි. එතනදී එකතු කරගන්න ඕනි මොනවද,ඈතින් තියන්න ඕනි මොනවද කියලා විග්‍රහයක් තියෙන්න ඕනි.දැන් අර්බුදය වට ගණනාවකින් කැරකෙමින් එනවා.මෙහෙම ගියොත් නං මේක මහ පාරේ බේරගන්න සටනක් බවට පත්වෙන එක නවත්තගන්න බෑ.පහුගිය මහ මැතිවරණයේදී ජවිපෙට මොන සෙල්ලම් දාලා උනත් ගන්න පුළුවන් උනේ ලක්ෂ 68 යි.
තව කෝටියකට වැඩිය පිරිසක් එළියේ ඉන්නවා. අනුරලා මතක තියාගන්න ඕනි ඒ කෝටිය කියන්නේ ජවිපෙ කරන කරන හැමදේටම Yes, Okay කියන බයියෝ නෙවෙයි කියලා.ඒ මිනිස්සු දැනට නිහඩව හිටියත් එයාලා මාලිමාව ගැන ලොකු අධීක්ෂණයක ඉන්නවා.ඒක හින්දනේ ජවිපෙට පොඩ්ඩක් වැරදුන ගමන් පවා මහා ගෝෂාවක් හැදෙන්නේ.ලාල්ගේ කතාවට, වසන්තගේ කතාවට,රන්වලගේ හොර උපාධි සිද්ධියට වේගවත් සමාජ සංවාදයක් හැදුනේ ජවිපෙට එරෙහිව තවත් කෝටියක් එලියේ ඉන්න හින්දයි.
ජවිපෙ ඒක තේරුම් ගන්න ඕනි.ජවිපෙ ඒ පිරිස බැලන්ස් කරගත්තේ නැත්තං ඒක තමයි ජවිපෙට එරෙහිව නැගිටින මහජන බලවේගය බවට පත්වෙන්නේ.මේ විපක්ෂයට ජවිපෙට ඇටෑක් කරන්න බැරිවෙයි.හැබැයි ඒ මහජන බලවේගය නැගිටින දවසට ජවිපෙ ආණ්ඩුවට පැවැත්මක් නෑ. ජවිපෙ එලවලා දාන එක ඒ බලවේගයට මහ ලොකු දෙයක් නෙවෙයි.දැන් ජවිපෙ ඒ මහජන බලවේගය කොනිත්තන්න පටන් අරන්.
හාල් – පොල් ප්රශ්නය ඇවිත්,ලුණු ප්රශ්නය ඇවිත්, තෙල් ප්‍රශ්න,විදුලි බිල අඩු නොකිරීමේ ප්රශ්නය ඇවිත්,පොහොර සහනාධාරය තවම හමු නොවීම ඇවිත්,ධීවරයන්ට දෙනවා කිව්ව තෙල් සහනාධාරය හමු නොවීමේ ප්‍රශ්න ඇවිත්.මේ ඔක්කොම ප්‍රශ්න කෙලින්ම බඩත් එක්ක සම්බන්ධ ඒවා.තවත් ප්‍රශ්න ගොඩක් එන්න ලෑස්තිවෙලා පෝලිමේ තියනවා.ඒවා අතරට රන්වලලාගේ හොර උපාධි ප්‍රශ්නත් ආවම මහජන නැගිටීම තවත් ඉක්මන් වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.