|

කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ පාර ඡනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණින් ස්වාධින අපේක්ෂකයෙක් විදිහට.රනිල් දිනුවොත් තව අවුරුදු පහක් රට පාලනය කරන්නේ ස්වාධින ජනාධිපතිවරයෙක් විදිහට.රනිල් ස්වාධින අපේක්ෂකයෙක්වීමත් එක්ක බලවේග ගොඩක් රනිල් වටේ එකතු වුනා.හැබැයි ඒ කිසිම පක්ෂයක් හරි කණ්ඩායමක් හරි තමන්ගේ අනන්‍යතාවය නැති කරගත්තේ නෑ.
ඒ වගේම රනිල් එජාප නායකයා උනා කියලා එජාපයේ අනන්‍යතාව අහෝසි කරන්න ඕනිත් නෑ. අනික රනිල්ට ගෑස් සිලින්ඩරය හම්බවෙන්නේ මේ ජනාධිපතිවරණයට විතරයි.ඊට පස්සේ ඒ ලකුණ ආයෙත් මැතිවරණ කොමිෂමේ ලියාපදිංචි ලකුණ ගොන්න අතරට යනවා.රනිල්ට සිලින්ඩරය හම්බ උන ගමන් එජාපයේ සිරිකොත බලධාරීන් ඉස්සෙල්ලාම කළේ සිරිකොතේ අලියා වහලා දාන එකයි.
සිරිකොතේ අනන්‍යතාව උන අලියා නැතිව සිරිකොත උඩ ගෑස් සිලින්ඩරය ගහලා තිබුණා. පස්සේ ගෑස් සිලින්ඩරය ගලවලා අලියා තියන්න කියලා රනිල් කිව්වා කියලයි ආරංචියි.කොහොම උනත් කවුරු කළත් සිරිකොතේ අලියා වහපු එක නං පට්ට ගොන් වැඩක්.ඇත්තටම ඒකෙන් කියන්නේ අපේ රටේ දේශපාලනය කොච්චර දුප්පත්ද කියන එකයි.පොදු දේ වෙනුවෙන් වැඩ කරන්න තමන්ගේ අනන්‍යතාවය විනාශ කරගන්න ඕනි නෑ.කරන්න ඕනි අලියාගේ හොඳ දෙයක් තියනවා නං ඒක පොදු දේට එකතු කරන එකයි.
සිරිකොතේ අලියා වැහීමත් හරියට රනිල්ට සිලින්ඩරය ලකුණ හම්බ උනා කියලා ජෙප්පෙක් කුස්සියේ තියන ගෑස් සිලින්ඩරය ගෝනිවලින් වැහුවා වගේ වැඩක්.ඇත්තටම මේ වෙලාවේ එජාපය මොකද්ද කරන්න ඕනි.මේ ජන්දයේදී එජාප අනන්‍යතාව මකන එක වැරදියි.මේ ඡන්දය ගොඩක් දුරට යනවා ඇත්තේ පොදු අනන්‍යතාවයකින්.ඒක තේරුම් අරගෙන ඒ පොදු අනන්‍යතාව පිලිඅරගෙන ඒක පෝෂණය කරන්න එජාප නම්‍යශීලී වෙන්නයි ඕනි.
ඒක කරනවා කියලා අපට නම් පේන්නේ රවී වගේ කෙනෙක් විතරයි.රවී ශ්‍රිලනිපය එක්ක සහ පොහොට්ටුවේ අනෙක් කණ්ඩායම් එක්ක පොදු වැඩක ඉන්න බව පේනවා වගේම බිමටත් බහිමින් ඉන්නවා.කොහොමත් රවී දැන් කාලයක ඉඳන් සියලු දෙනා එකතු උන ගමනක් ගැන කතා කරමින් හිටියා.ඒ මොනවා උනත් එජාපයෙන් පණිවිඩයක් එනකං බලා ඉන්න එජාප පාක්ෂිකයෙක් පොලොවේ ඉන්නවා.
ගිය මහ මැතිවරණයේදී එජාපයටවත් සජබයටවත් ඡන්දය නොදුන්න එජාප පාක්ෂිකයන් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා.රනිල් සජිත් ගැටුම නිසා එයාලා කාටවත් ඡන්ද නොදී නිෂ්ක්‍රීය වුනා.හැබැයි රනිල් ජනාධිපති උනාට පස්සේ එයාලා ආයෙත් රනිල්ට ටිකක් බර වෙලා.මුලදී රනිල් ආවේ රාජපක්ෂලා රකින්න කියන අදහසේ එයාලා හිටියා.ඒ නිසා මුලදී එයාලගේ යම් නැඹුරුවක් සජබයට තිබුණා.
රනිල් රට බංකොලොත්භාවයෙන් මුදාගෙන රට යථාවත් කිරීම ඇතුලේ එයාලා ආයෙත් රනිල්ට නැඹුරු වෙලා.ඒ වගේම නාමල් වෙනම තරඟ කිරීම ඇතුලේ රනිල් කියන්නේ රනිල් රාජපක්ෂ නෙවෙයි රනිල් වික්‍රමසිංහ බව දැන් එයාලට ෂුවර්.ඊළඟට රනිල්ට බෑ කියලා සජිත් කිව්වේ පට්ට බොරුවක් කියලා එයාලා දැන් පිලිගන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි ඒ බොරුව සිය දහස් වාරයකට වැඩිය කියම්න් ගොබෙල්ස් න්‍යායක් බවට පත්කරලා එජාපය දෙකඩ කිරීම වැරදියි බව එයාලා දැන් පිලිගන්නවා.
එදා ගෝඨාභය පැනලා යන වෙලාවේ තනි එක්සත් ජාතික පක්ෂයක් තිබුණා නම් රනිල්ට මේ රට තවත් ගොඩක් ඉස්සරහට ගේන්න තිබුණා.එදා එජාපය එක්ක සජබ මන්ත්‍රීධූර 54 යි එජාපයේ 01 යි එජාප 55ක් විදිහට තිබුණා නම් රනිල් රාජපක්ෂ රකිනවා කියන සටන් පාඨය කවදාවත් එන්නේ නෑ.ඒ වගේම රනිල් සහ සජිත් වෙන් වෙලා ඉන්න තත්වයක් යටතේ උනත් එක කරන්න තිබුණා.රනිල් ජනාධිපතිවෙලා සර්වපාක්ෂික ආණ්ඩුවට එන්න කියලා සජබෙට ආරාධනා කලා.
රටට ආදරයක් තිබුණා නම් එදා සජිත් කරන්න තිබුණේ රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුවට පත්වීම ඉඩක් තිබුණා නම් ඒක වලක්වන එකයි. හැබැයි සජිත් කලේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු නොවී රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුවට තල්ලු කිරීමයි.රනිල් කළේ වෙනත් කදවුරකට ගිහින් ඒකේ තමන්ට බැන බැන හිටපු මිනිස්සු ටික අල්ලගෙන,රාජපක්ෂලත් ආණ්ඩු මට්ටු කරගෙන අන්තිමට රනිල් රනිල් වික්‍රමසිංහ වෙලා රටත් බේරගෙන එලියට ඒමයි.
රනිල් දැන් සජිත්ව සජිත් රාජපක්ෂ කෙනෙක් කරලා ඉවරයි.ඇත්තටම ඒක රනිල්ගේම මාස්ටර් ප්ලෑන් එකක්.රනිල් මේ පාර ජනාධිපති උනොත් ඒක සමාන වෙන්නේ පෘතුගීසී බලකොටුව ඇතුලේ බෞතීස්ම වෙලා අවස්ථාව ආපුවහම කන්ද උඩරට රාජත්වයට පත් වෙච්චි පලවෙනි විමලධර්මසූරිය රජතුමාගේ භූමිකාවට.එදාට රනිල්ට දොන් ජුවන් ධර්මපාල කියලා කියපු අයට සමහරවිට රනිල්ට පලවෙනි විමලධර්මසූරිය කියලා කියන්න වෙන්නත් බැරි නෑ.
හැබැයි තවමත් එජාපයේ දොන් ජූවන් ධර්මපාලලා ඉන්න බව රටේ රාළ නං පිලිගන්නවා.එදා දොන් ජුවන් ධර්මපාල බලා හිටියේ පෘතුගීසීන් සියල්ල කරලා දෙනකල්. අන්තිමට දොන් ජුවන් ධර්මපාල පෘතුගීසීන්ට කන්ද උඩරට රාජධානිය සන්නසකින් පවරලා දුන්නා.අද සිරිකොතේ ඉන්න දොන් ජුවන්ලා තමයි අලියා ගලවලා දාලා ගෑස් සිලින්ඩරය ගහගත්තේ. ඇත්තටම මේ වෙලාවේ සිරිකොත කියන්නේ හරියට මහා කර්මාන්ත ශාලාවක් වගේ වෙන්න ඕනි.
වැඩ ගොඩක් එකට යන තැනක් වෙන්න ඕනි.හැබැයි කම්හලක් වෙන්න ඕනි සිරිකොත කම්මලක් වෙලා තියන බව පේනවා.සිරිකොතේ ඉන්න ආචාරියෝ එක යකඩයක් තලාගෙන ඉන්නයි හදන්නේ.රටේ රාළ කියන්නේ බොරුද කියලා ගමට ගිහින් එජාප පාක්ෂිකයන් ගෙන් අහන්න.දවසකට එජාප පාක්ෂිකයෝ සිය ගාණන් සිරිකොතට සහ Flower Road එකට ඇවිත් මළ පැනලා බලාපොරොත්තු සුන් කරගෙන යනවාද කියලා?
ඇයි මේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා පොදු ක්‍රියාවලියට එකතු කරන්නේ නැත්තේ.ඇත්තටම නිමල් ලන්සා – ශ්‍රිලනිප සන්ධානය සහ ප්‍රසන්න රණතුංගලාගේ පොහොට්ටුවේ පාර්ශවය නැත්නම් මෙලහටත් ජෙප්පො බලය අල්ලලා ඉවරයි.කොළඹ හැර නං එජාපයේ වැඩක් යනවා කියලා රටේ රාළ නං දකින්නේ නෑ.ඒකත් යන්නේ රවීලා වගේ කීපදෙනෙක් ඉන්න නිසයි.සමහර එජාප නායකයෝ තවමත් නිදි.
ඡන්දෙන් පස්සේ ජෙප්පෝ ඇවිත් දොරට තඩිබාන කොටවත් මෙයාලා ඇහැරෙයිද කියන්න බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *