රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !
නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය තරග කළහොත් යම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් ආදේශක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් වන බව හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයකු වන බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කොට ඇති බව තතුදත් දේශපාලන අංශ වාර්තා කරයි.
1994 මැතිවරණයේ දී ගාමිණී දිසානායක මහතා ඝාතනය වූ විට ඒ මහතාගේ බිරිඳ ආදේශක අපේක්ෂක ලෙස නම් කළ හැකි වුයේ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ නිසා බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය බදාදා උදේ පැවති සාකච්ඡාවක දී ය.
මහගම සේකර මාවතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ජේෂ්ට උපදේශක සාගල රත්නායක මහත්වරුන් ද සහභාගී වී ඇත.
ජනාධිපතිවරණය පැවැත්වීම ගැන එහි දී මහින්ද රාජපක්ෂ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු තවත් මැතිවරණයක් ද පවත්වන බව යි.
