ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන බල තරඟයේ ගොදුරක් වීමේ අනතුරක් – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි පරිවර්තනය කෙරෙහි ලබාදෙන දායකත්වය සහ එහි ගැටලූ පිළිබඳව මේ සංවාදයෙන් සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණයේ දී අවධාන යොමුවිය යුතු ඉසව් කිහිපයක් ඇති බව පෙන්වාදෙන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනවාරි 8වෙනිදා පරිවර්තනයට මුල් වූ අයට පවා මේ පිළිබඳ අවබෝධයක් නොමැති බව කියයි. මහාචාර්ය උයන්ගොඩ පවසන්නේ පුරවැසියාගේ අවධානය යොමු වී නැති එම ඉසව් පිළිබඳව සාකච්ඡා නොකරන්නේ නම් නව පාලනයක් යටතේ ද රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි කිරීමේ ව්‍යායාමය සිතන තරම් සාර්ථක විය නොහැකි බව ය.

ජනවාරි 8වෙනිදා ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි කිරීමේ කටයුත්ත කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව ඔබගේ තක්සේරුව කුමක් ද?

ජනවාරි 8 වෙනිදා ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙරට දේශපාලන පරිවර්තනයේ නව දිශානතියක් පිලිබඳ යහපත් ඇඟවීමක් කරයි. නමුත් නව දේශපාලන බලතුලනය තුළ රටවැසියා ද බෙදී ඇත. රටේ බහුතරයක් නව වෙනසත් සමඟ ඉදිරියට යා යුතු බව පවසන අතර තවත් පිරිසක් පැරණි මගෙහි ම ගමන් කළයුතු බව පවසති. වෙනත් ආකාරයට පවසන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිසට මේ වෙනස සමඟ ඉදිරියට යැමට අවශ්‍ය නැත. මේ අනුව ජනවාරි 8 ජයග්‍රහණය කළ මාවතේ තව දුරටත් ඉදිරියට යනවා ද යන්න පිළිබඳව අපේ සමාජය තූළ ඇත්තේ විසම්මුතියකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි පරිවර්තනයේ ගමන් මග පිළිබඳ ගැටළුවක් ලෙස අප තේරුම් ගතයුතු ය.

ජනාධිපතිවරයා මේ මැතිවරණයේ දී මධ්‍යස්ථව සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම යහපාලනයට හිතකර නොවන්නේ ද?

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ප්‍රධානතම නියෝජිතයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඬ ව සිටීමෙන් පුරවැසියාට දෙන පණිවිඩය යහපත් යැයි කිව නොහැක. සිරිසේන මහතා ගේ ජයග්‍රහණයට පදනම් වූ එම සන්ධානය දැන් නැත. වෙනත් ආකාරයකට පවසන්නේ නම් හංසයා දැන් සියළුදෙනාට ම අමතක ය. එයින් ද පුරවැසියාට දෙන්නේ යහපත් පණිවිඩයක් නොවේ. මේ සියල්ලෙන් ම පෙන්නුම් කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිවර්තන ක්‍රියාවලිය, රටේ දේශපාලන බලවේග අතර පවතින බල තරඟයේ ගොදුරක් බවට පත්වීමේ අනතුරක් ඇති බවය. මේ නිසා පවතින නිමේශයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මීට වඩා යොමුවිය යුතු ය.

පුර වැසියන් ලෙස මේ අවදානමට මුහුණ දෙන්නේ කෙසේ ද?

ලංකාවේ දේශපාලනයේ ඇති එක් වැදගත් ලක්ෂණයක් වන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් ස්වාධීන වූ සමාජ පුරවැසි බලවේග කිසියම් ශක්තියක් ගොණුකරගෙන තිබීම ය. මෙකී සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදයේ වත්මන් ක්‍රියාකාරිත්වයට වැදගත් දායකත්වයක් ලබාදෙයි. එවකට පැවති ආණ්ඩු වලින් වරින්වර එල්ල වූ ප්‍රහාරයන් හමුවේ දුර්වල වී තිබූ නමුත් 2001 න් පසුව පැවති එක්සත් ජාතික පක්ෂයේ කෙටි පාලන කාලය තුළ සිවිල් සමාජ බලවේග සඳහා අවකාශය පුළුල් කෙරුනි. සිවිල් සමාජ සහ සමාජ ව්‍යාපාරයන් හි අවකාශය මේ වන විට වඩාත් පුළුල් වී තිබේ. ජනවාරි 8 සිදු වූ පරිවර්තනයත් සමඟ සිවිල් සමාජ බලවේගයන් හි අවකාශය තව දුරටත් පුළුල් විය. එම සිවිල් අවකාශය ආරක්ෂාකර ගැනීම ඉතාම වැදගත් ය. දිග හැරෙමින් ඇති සන්දර්භය තුළ පුරවැසි සංවිධානවලට ඉටුකිරීමට තිබෙන්නේ තරමක් සංකීර්ණ කාර්යකි. ප්‍රජාතන්ත්‍රවාදය බලඅරගලයේ ගොදුරක්වීමට ඇති අනතුර නිසා ම පුරවැසි සංවිධාන තම කර්තව්‍යයන් ස්වාධීනව ඉටුකරන අතර ම දේශපාලන සිදුවීමේ කෙරෙහි සිහි බුද්ධියෙන් සිටිය යුතුය.

මහින්ද රාපක්ෂ මහතා නැවතත් තමන්ට බලය ලබාදෙන ලෙස ඉල්ලමින් මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටී. නැවත පැමිණිමේ ඔහුගේ මේ උත්සාහය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණියහොත්, ඒ සිවිල් අවකාශය ඉතා දැඩිලෙස සීමා කෙරෙනු ඇත. ඔහු බලය ඉල්ලන්නේ කිසිසේත් ම ජනවාරි 8 වෙනිදා ලැබූ පරාජයේ පාඩම් ඉගෙනගෙන නොවේ. ඔහු පමණක් නොව ඔහුගේ පාර්ශවය නියෝජනය කරන කිසිම කෙනෙක් පරාජයෙන් දේශපාලන පාඩමක් ඉගෙන අලූතින් සිතන බවක් නොපෙනේ. එයින් කියැවෙන්නේ තම පරාජයෙන් කිසිදු දේශපාලන පාඩමක් නූගත් බව ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සගයින් අලූත් දේශපාලන ගමනක් යන බව පෙන්වා නැත. එම නිසා ඔහුට නැවත බලය ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයට මහත් අනතුරකි.

ලිබරල්වාදය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි පරිවර්තනයට නායකත්වය ලබාදෙන බවට බරපතල විශ්වාසයක් ගොඩනැගී ඇත. විශේෂයෙන් ම ජාතික ප්‍රශ්නය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරයන් මෙයට හේතු වී තිබේ. මේ පිළිබඳව ඔබට යමක් කිව හැකි ද?

රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණයේ දී ජාතිකවාදයට වඩා ලිබරල්වාදය ඉදිරියෙන් සිටින බව ඇතැමෙක් කියති. මෙය පැහැදිළි කිරීමේ දී ප්‍රජාතන්ත්‍රිකරණය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න සහ දැන් කළ යුතු කර්තව්‍යයන් මොනවාද යන්න විමසිය යුතු ය. නිර්ප්‍රජාතන්ත්‍රිකරණයට නිරන්තරයෙන් විභවයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන මූලික ගැටළුවකි. ලිබරල්වාදි රාජ්‍යයක පවා නිර්ප්‍රජාතන්ත්‍රිකරණය වීමේ විභවයක් තිබේ. බි්‍රතාන්‍ය සහ ඇමෙරිකාව වැනි ලිබරල් රාජ්‍යයන්ට ද මෙය වලංගු ය. මේ රාජ්‍යයන් දෙකේ පවා, තිබෙන දේශපාලන අවලක්ෂණයක් වන්නේ පසුගිය කාලයේ ජාතික ආරක්ෂක රාජ්‍යය කියන තර්කය මතුවීම ය. ජාතික ආරක්ෂක රාජ්‍ය මූලධර්මය යටතේ ලිබරල්වාදි ක්‍රමයක් ඇතුළේ තිබෙන පුරවැසි අයිතිවාසිකම් සීමා කිරීම හා රාජ්‍යයේ මධ්‍ය අධිකාරි බලය ශක්තිමත් කිිරීම යන සියල්ලම සිදුවේ. ලිබරල්වාදි යුරෝපයේ සහ ඇමෙරිකාව වැනි දියණු කාර්මික රටවල තිබෙන ලිබරල් රාජ්‍යයන් තුළ පවා නිර්ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවනතාවයන් ලිබරල් නායකත්වය තුළින් ම මතුවේ. අමාත්‍ය මණ්ඩලයේ කේන්ද්‍රීය නායකත්වය, ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය මූල්‍ය හසුරුවන නිළධරය වැනි කුඩා කණ්ඩායමක්, පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුකරණය පැහැරගෙන ඇති ශ්‍රී ලංකාව වැනි රටකට මෙය අතිශයින්ම අදාල ය. මේ අනුව පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි කර්තව්‍යයන් යන්න කවදාවත් නිම නොවන දෙයක් බව ය. එය නිරන්තරයෙන් ම අලූත්වන දෙයකි. සමහර දේශපාලන න්‍යායවේදීන් පවසන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය යන්න කිසිදාක නිම නොවේ. වෙනත් ආකාරයකට පවසන්නේ නම් එය නිරන්තරයෙන් අලූත්වන ඉලක්කයකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පොදු සතුරා ලෙස සැළකූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරගැනීමේ පහසුව තකා එයට එක් වූ බලවේගයන් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම යන වාද කරුණට සීමා විය. නමුත් නව සන්දර්භය තුළ ජාතික ප්‍රශ්නය තවදුරටත් මගහැරිය හැකි ද?

අප මුහුණ දෙන ප්‍රශ්න අතර බරපතල ගැටළුවක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ජාතිකවාදි ව්‍යාපෘතින් හි කාර්යභාරය අප තක්සේරු කරන්නේ කෙසේද යන්න ය. ජාතිකවාදී දේශපාලනයේ ද අධිකාරිවාදි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි විභවයක් ඇත. වමේ ව්‍යාපාරයේ ද ප්‍රජාතන්ත්‍රවාදි මෙන්ම අධිකාරිවාදි විභවයක් තිබේ. දේශපාලනයේ පමණක් නොව ආගම් වල ද මේ විභවතාවයන් දෙකම දැකිය හැක. අපේ රටවල ප්‍රජාතන්ත්‍රවාදි සහ ප්‍රජාතන්ත්‍රවාදි නොවන විභවයන් අතර වන මේ ගැටුමේ දී ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලිය ශක්තිමත් කරන්නේ කෙසේ ද යන්න විශාල අභියෝගයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරින්වර මේ කාර්යයන් දෙකේම හැසිරීම ලංකාවේ සිත්ගන්නා සුලූ දේශපාලන ලක්ෂණයකි. එක් කළෙක දී එක්සත් ජාතික පක්ෂය සමාජයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි අරගලයේ ඉදිරියෙන් සිට ඇත. තවත් කාලයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අරගලයේ ඉදිරියෙන් ගමන්කර තිබේ. ඒ අරගලයේ ම ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව අවධියක දී අධිකාරිවාදි දේශපාලනයේ නායකත්වය ගෙන තිබේ. එමෙන්ම තවත් වරක දී එක්සත් ජාතික පක්ෂය ද අධිකාරිවාදි දේශපාලනයට නායකත්වය දී ඇත.
අද පවතින දේශපාලන තරඟය දෙස බැලීමේ දි එක්තරා ආකාරයකට එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ පරිවර්තනය සඳහා පෙනී සිටින සමාජ බලවේගයන්ට ය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අධිකාරිවාදි දේශපාලනයට නායකත්වය දෙති.
මට පෙනෙන හැටියට නම් දැනට ශ්‍රී ලංකාවේ සිංහළ සමාජය තුළ අන්ත සිංහළ ජාතිකවාදයට එතරම් ම තැනක් නැත. අද පවතින දේශපාලන තත්ත්වය තුළ මැදහත්වාදී සිංහළ ජාතිකවාදී ස්ථාවරයන් දරණ පිරිස බලවත් වී තිබේ. පසුගිය කාලයේ මෛත්‍රිපාල සිරිසේන මහතා වටා එක් වූ සන්ධානයත්, අද එක්සත් ජාතික පක්ෂය වටා සිටින සන්ධානයත්, මීට වසර 4-5ට පෙර සිහිනකින්වත් සිතිය නොහැකි වර්ගයේ සන්ධාන වේ. සිහල උරුමය හා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව වමේ කණ්ඩායම් ද එයට සහයෝගය දක්වති. එයින් පැහැදිළි වන්නේ ලංකාවේ දේශපාලන බලතුලනයේ වෙනස් වීම් සිදුවෙමින් පවතින බව ය. දේශපාලන ගතිකත්වයේ හැඩරුව වෙනස් වෙමින් තිබෙනවා පමණක් නොව එය වෙනස් වන්නේ ද නරක පැත්තටමත් නොවේ. මා හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදි බලවේගයන්ට තිබෙන කාර්යවන්නේ මේ අවකාශය තුළ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණයේ කොටසක් ලෙස ජාතික ප්‍රශ්නය ද ආමන්ත්‍රණය කළහැකි බව ය.

ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට පැවරී ඇති වගකීම පිළිබඳ ඔබගේ අදහස ?

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර පමණක් නොව මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතරේ පවා විශාල බල තරගයක් තිබුණු බව අපි දුටුවෙමු. මා හිතන හැටියට 2015 ජනවාරි මාසයේ මුදුන්පත් වූ ඒ ක්‍රියාවලිය ද තිබෙන්නේ අනතුරක් ඉදිරිපිට ය. කොපමණ දුරකට දේශපාලන පක්ෂ සූදානම් ද මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න යන ගැටලූව අප හමුවේ ඇත. දේශපාලන පක්ෂ නිතරම බලන්නේ ඒකෙන් අපි ලබන වාසිය කුමක් ද යන ඇසිනි. අපගේ බලය කොපමණ තහවුරුවේ ද, කොපමණ ආසන සංඛ්‍යාවක් ඊ ළග මැතිවරණයේ දී ලැබේ ද, යනාදි ලෙසට ඔවුහු ගණන් බලති. දේශපාලන පක්ෂ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් තුළ තිබෙන අත්‍යවශ්‍ය සහ කේන්ද්‍රීය ආයතන ව්‍යුහය කි. ඒවාට විශාල ප්‍රජාතන්ත්‍රවාදි කාර්යභාරයක් තිබේ. අප රටේ ව්‍යුහාත්මක දේශපාලන පරිවර්තනයක් ඉදිරියට ගෙනයන්නට නම් දේශපාලන පක්ෂවල ද පරිවර්තනයක් සිදුවිය යුතුය. සැබවින් ම මේ පක්ෂ, සම්මේලන පවත්වන බව සත්‍යයක් වන නමුත් මේවායේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
දේශපාලන පක්ෂයන් හි ප්‍රජාතන්ත්‍රියකරණය පිළිබඳ සාකච්ඡාව ඓන්ද්‍රීය ක්‍රියාකාරින් තුළින් ම මතුවිය යුතු ය. නමුත් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණය පිළිබඳ සාකච්ඡාව මෙන්ම මේ සාකච්ඡාව ද දේශපාලන පක්ෂ තුළට ගෙන එන්නට වෙන්නේ පක්ෂ වලින් පිට සිටින අයට ය. දේශපාලන පක්ෂවල සිටින අයට මේ ගැටළුව වැටහුණත් ක්‍රියාමාර්ගයක් නොගැනීම එයට හේතුව වේ. මා හිතන්නේ ප්‍රජාතන්ත්‍රිකරණයේ දී ලංකාවේ දේශපාලන පක්ෂවල ස්වභාවය පිලිබඳව අපි ඉතා ගැඹුරු සාකච්ඡාවකට යායුතු ය. එවැනි සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව මට තාමත් පෙනෙන්නේ නැත.

දැනට ආරම්භ වී ඇති ප්‍රජාතන්ත්‍රිය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙහි ලා වෙනත් යෝජනා තිබේ ද?

ප්‍රජාතන්ත්‍රීකරණයේ දී තවමත් අපගේ අවධානයට ලක්නොවූ අංශයකට ද අපගේ අවධානය යොමු කළ යුතු ය. මට පෙනෙන ආකාරයට ලංකාවේ දේශපාලන තුළ 80 ගණන්වල සිට නිශේධනාත්මක ගතිකයක් තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන තන්ත්‍රය යටතේ එය තදින් තහවුරු විය. ඒ පරිවර්තනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දේශපාලන බලය, රාජ්‍ය බලය සහ ආර්ථික බලය කියන බල ත්‍රිත්වය ම කුඩා කණ්ඩායමක් අතට පත්වීම ය. එය ඉංග්‍රීසි භාෂාවෙන් cartelization of governance  ය නුවෙන් හැඳින්වේ. මේ රටේ සමාජ හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු ගන්නේ කැබිනට් ඇමතිවරුවත්, පාර්ලිමේන්තුවවත් නොවේ. එම තීරණගන්නේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, භාණ්ඩාගාර ලේකම්, භාණ්ඩාගාර උපදේශකයින්, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඇතුලත් 10දෙනෙකුට නොවැඩි පිරිසකි. පෙර දී ව්‍යාපාරිකයින් දේශපාලකයින් වූ අතර දැන් දේශපාලකයින් දේශපාලනය ප්‍රයෝජනයට ගෙන ව්‍යාපාරිකයින් බවට පත් වී ඇත. දේශපාලනය මුල්‍යකරණයවීම ලෙස එය හැඳින්වේ.
දූෂණය පිළිබඳ පරික්ෂණ ක්‍රියාවලිය අඩපනවීමට අර්ධ වශයෙන් මේ දේශපාලනයේ කාටල ගතවීම හේතු වී ඇත. ඉතා ශක්තිමත් මෙම කාටල දියකර නොහැර ලංකාවේ යහපාලනය ඇතිකළ හැකි බව මා සිතන්නේ නැත. අලුතෙන් පත්වන ආණ්ඩුව තුළත් ඔය කාටල හැදෙන්නට පුළුවන. එම නිසා සමාජ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය එම කාටලයෙන් උදුරාගෙන පාර්ලිමේන්තුවට පවරාගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදි අරගලයේම කොටසකි.
මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇතිවූ මේ ක්‍රියාවලිය නැවැත්වීමට පසුගිය ජනවාරි 8 සිදු වූ ආණ්ඩු වෙනසින් වැදගත් පදනමක් වැටුණි. නමුත් ඒ පරිවර්තන ක්‍රියාවලියට මුලික වූ අයට පවා පෙර සඳහන් කළ සාංගමීකරණය (cartelization of governance) නැවැත්විම පිළිබඳ අවබෝධයක් නැති බවයි මට පෙනෙන්නේ. එයට හේතුව අප රටේ මේ පිළිබඳ දේශපාලන විග්‍රහයක් තවම සිදුනොවීම ය

ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්න වන රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය, ජාතික ප්‍රශ්නය සහ සමාජ-ආර්ථික ප්‍රශ්නය සාර්ථක ලෙස ආමන්ත්‍රණය කිරීමට නම් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය වියයුතු බවට අදහසක් මතු වී තිබේ. මේ පිළිබඳව ඔබ කල්පනා කරන්නේ කෙසේ ද?

ජාතික ආණ්ඩු සංකල්පයට මා එකඟ වන්නේ නැත. ජාතික ආණ්ඩු නායකත්වය තුළ දේශපාලනමය වශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ට ගමන් කළ හැක. ජාතික ආණ්ඩුවකට වඩා, වැදගත් වන්නේ දේශපාලන පක්ෂ අතරේ එක්තරා ප්‍රතිපත්තිමය සම්මුතියක් ඇතිකර ගැනීම ය. ලංකාවේ පවතින ප්‍රධාන සමාජ ආර්ථික මෙන්ම ජාතීන්ගේ ප්‍රශ්නය විසඳිමට ප්‍රධාන වශයෙන්ම ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර ඔවුනොවුන් එයට සහයෝගය දීම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්කරගත යුතු ය.
එදිරිවාදි දේශපාලනය පාර්ලිමේන්තුවාදි දේශපාලනය ක්‍රමය තුළ තිබෙන එක්තරා ලක්ෂණයකි. එහි දී ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නිරන්තවම එදිරිවාදි වේ. එදිරිවාදි දේශපාලනය තුළ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂයට සහයෝගය දක්වන්නේ නැත. ආණ්ඩු පක්ෂය වඩා යහපත් ප්‍රතිසංස්කරන ගෙනාව ද එයට ද විරුද්ධ පක්ෂය විරුද්ධ වේ. එය තමන්ගේ යුතුකමක් ලෙස කල්පනා කිරීමෙන් අප මිදිය යුතු ය. මේ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර සම්මුතියක් තිබිය යුතු අතර ම විරුද්ධ පක්ෂය ආණ්ඩුවේ කොටසක් බවට පත් නොවිය යුතු ය. එසේ නොවී ජාතික ආණ්ඩුවක් ඇතිවීමෙන් වඩාත් නරක ප්‍රතිඵල ගෙනදීමට පුළුවන. ජාතික ආණ්ඩු සංකල්පයට මා නම් සහයෝගය දක්වන්නේ නැත.

සාකච්ඡා සංවාදය- මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *