නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඉක්මන් කල යුතුයි – ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඞීව් ගුණසේකර

අපි 72දි අපේම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකෙදි තමයි අපිට පූර්ණ නිදහස ලැබෙන්නෙ. මැතිණිගෙ ඔඩොක්කුවේ තිබ්බ පරමාධිපත්‍යය ජනතාවට පැවරෙනවා. ඒක ලොකු අරගලයක්. අපි එහෙම ඉදිරි පියවරක් ගත්තට ඒක පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් තිබුණෙ නෑ. දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලන නායකයින් ඒකට සහභාගි කරගන්න බැරි උන එක ෙඓතිහාසික වැරැුද්දක්. ඒක තමයි 72 ව්‍යවස්ථාවේ ප‍්‍රධාන අඩුපාඩුව.
නිදහස ලැබිලා අවුරුදු 69ක් ගත වෙලා තියෙනවා. නිදහසට කලින් ඉඳන් තිබුණු ප‍්‍රශ්න කිහිපයක් අපිට තවමත් ඒ වගේම තියෙනවා. ඒ අතරින් ප‍්‍රධාන වෙන්නෙ අපිට මේ වන තුරු ‘ශ‍්‍රී ලාංකික’ කියල ජාතියක් ගොඩනගා ගන්න බැරි වීම. නිදහස ලැබෙද්දි හැම රාජ්‍යයක්ම තමන්ගේම ව්‍යවස්ථාවක් හදාගත්තා. නමුත් අපිට එහෙම බැරි උනා. ඒ නිසා අපිට ‘ශ‍්‍රී ලාංකික’ කියල ජාතියක් ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. අවුරුදු 69ක් ගිහිල්ලත් ඒක කරගන්න අපිට බෑ. ‘ශ‍්‍රී ලාංකික’ කියන වචනෙ තාම අපේ කට්ටියට හුරු නෑ. පිටරට ගියාම අපි සිංහල කියනවා, දෙමළ කියනවා. නමුත් ඉන්දියාවෙ අපිට වඩා ජන වර්ග තියෙනවා. ඒත් ඉන්දියාවෙ කිසිම පුරවැසියෙක් පිටරට ගියාම කේරළේ, තමිල්නාඩු කියලා කියන්නෙ නෑ, ‘ඉන්දියානු’ කියල කියන්නෙ. ඒ වටිනාකම අපේ ජනතාව අතරට ගියේ නැති නිසා තාමත් ඒ විදියට හිතන්නෙ නෑ.
78 ව්‍යවස්ථාව එන්නෙ 77 මැතිවරණ ප‍්‍රතිඵලයත් එක්ක. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ අතිබහුතරය එක්සත් ජාතික පක්‍ෂයෙන් ඡුන්දෙ ඉල්ලූවා. ඒත් ඒ ව්‍යවස්ථාව නිර්මාණය වුනාට පස්සෙ තමයි මට මතක හැටියට අවසාන වතාවට මේ රටේ සියලූම වමේ නායකයො පාරට බැස්සෙ. අපි දැන් මේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කියන කාරණාවට ඇවිත් කියෙන්නෙ අවුරුදු 39කට පස්සෙ. 77න් පස්සෙ තොරතෝංචියක් නැතුව ව්‍යවස්ථා සංශෝදන එනවා. දිගින් දිගටම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල නව ව්‍යවස්ථාවක් ගැන, ව්‍යවස්ථා සංශෝදන ගැන පොරොන්දු තියෙනවා. 2015 වෙද්දි ලංකාවෙ තියෙන සියලූම දේශපාලන පක්‍ෂ ව්‍යවස්ථා සංශෝදනයක් ඉල්ලනවා.
සිංහල, දෙමළ ඕනෑම ජනතාවකට සංස්කෘතියක් තියෙනවා. භාෂාවක් තියෙනවා. අනන්‍යතාවයක් තියෙනවා. මේ අනන්‍යතාවය පිළිගන්න බැරි නම් ඒ ජනතාවට පූර්ණ නිදහසක් නෑ. කොමියුනිස්ට් පක්‍ෂය දෙමළ ජනතාවගෙ අයිතීන් ආරක්‍ෂා කළේ ගුටි කාගෙන. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙන්නෙ නිදහසෙන් අවුරුදු අටකට පස්සෙ. නමුත් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වෙන්නෙ අවුරුදු හතළිහකට පස්සෙ. දෙමළ ජනතාවගේ මව් භාෂාවට, සංස්කෘතියට පිළිගැනීමත් ලැබෙන්නෙ එතැනදි. එතකොට තමයි සම තත්ත්වයට ඇවිල්ලා ශ‍්‍රී ලාංකීය ජාතියක් බිහි වෙන්නෙ. මම රාජ්‍ය සේවකයන්ට දෙමළ භාෂාව අනිවාර්ය කරන්න හිතුවා. අන්තිමට මම දැඩි ස්ථාවරයක ඉඳලා කැබිනට් පත‍්‍රිකාවකින් රජයේ සේවකයන්ට දෙමළ භාෂාව හා සිංහල භාෂාව අනිවාර්ය කළා.
භාෂා ප‍්‍රශ්නය තමයි ගැටුමක් වෙන්නෙ. ඒ ගැටුම තමයි ත‍්‍රස්තවාදය වෙන්නෙ. ත‍්‍රස්තවාදය තමයි බෙදුම්වාදය වෙන්නෙ. බෙදුම්වාදය තමයි යුද්ධය වෙන්නෙ. දැන් යුද්ධෙ ඉවරයි. නමුත් ප‍්‍රශ්නයේ සවභාවය ඒ විදියටම ඉතුරු වෙලා තියෙනවා. ඒ ප‍්‍රශ්නයටත් විසඳුම් හෙව්වොත් විතරයි ශ‍්‍රී ලාංකීය ජාතියක් ගොඩනගන්න පුළුවන් වෙන්නෙ. ඒ වෙනුවෙන් මේ වෙද්දි සැළකිය යුතු මෙහෙයක් කරල තියෙනව නම් ඒ මෙහෙය කළේ වමේ ව්‍යාපාරය. අපි තමයි සිංහල, දෙමළ දෙකම රාජ්‍ය භාෂා කිරීම වෙනුවෙන් කතා කළේ. අපි තමයි ඒ ගැන කතා කරල ගුටි කෑවෙ. අපි තමයි 19 වැනි සංශෝදනයට ඡුන්දෙ දීල අරන් ආවෙ. ඒ ඔක්කොම කළේ ශ‍්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීම වෙනුවෙන්.
අපි අවුරුදු 36ක් ත‍්‍රස්තවාදය එක්ක පොර බැදුවා. අවුරුදු 26ක් යුද්ධ කළා. 1983දි අපි යුද්ධයට වියදම් කළේ එක බිලියනයයි. 2009දි යුද්ධය අවසන් වෙද්දි බිලියන 225යි. බලන්න අපි කොච්චර ධනස්කන්දයක් වියදම් කරල ද කියලා. අපිට දැනෙන්නෙ නෑ ඒ අපේම සල්ලි කියලා. ඒ දැනෙන්නෙ නැත්තෙ අපිට ‘ශ‍්‍රී ලාංකික’ කියන හැඟීම නැති නිසා.
අපිට හරිහමන් ව්‍යවස්ථාවක් නෑ. 19 වැනි සංශෝදනේ හරියට ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා තමයි අපිට අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නෙ. මේ ගැන ගොඩක් කතා කියවුණා. ඒ වෙනුවෙන් යෝජනා ගොඩක් ඉදිරිපත් වුනා. අපි ඉදිරිපත් කරන යෝජනා එක්ක යහපාලන ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න.

ගයාන් රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *