උසාවි ගෙන්වා සෝදා ගෙදර යැවීම – අනුර සූරියබණ්ඩාර

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන පන්සියයක් සාපරාධී ලෙස සහ සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා නිදොස් කොට නිදහස් කිරීමට ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය.

එසේ නිදහස් කිරීම්ට හේතුව වශයෙන් ත්‍රිපුද්ගල මහා මහාධිකරණය දක්වන ලද්දේ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයා ගන්නා ලද කෝටි 55ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබුණද එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි යන්නය

විත්තිකරුවන් කුමන්ත්‍රණකාරී ලෙස හෝ වරදක් කිරීමේ චේතනාවෙන් කටයුතු කර නොමැති බව පිටු 283 කින් යුතු තීන්දුව විවෘත අධිකරණයේ දී ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල විසින් සඳහන් කෙරිණි.

එලෙස නිදහස් කරනු ලැබූ තැනැත්තන් අතරට canwill holdings පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කළ පියදාස කුඩාබාලගේ මහතා සහ එම සමාගමේ මූල්‍ය නිලධාරී කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර මහතාද ඇතුළත් වූහ.

නඩුවට පාදක වූ රුපියල් මිලියන 500 ක මුදල යොදවා ආයෝජනය කළ ආකාරය සැළකිල්ලට ගැනීමේදී මුදල් our අවභාවිතය කරන පුද්ගලයන් කටයුතු කරන ආකාරයෙන් මෙම විත්තිකරුවන් කටයුතු කළ ආකාරයෙන් නඩු විභාගයේ දී හෙළි නොවන බවත් රුපියල් මිලියන 500 ක මුදල ආයෝජනය කරනු ලබන්නේ හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීම සඳහා බව ලිට්රෝ සමාගම මෙන්ම canwill holdings සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය දැන සිටි බවට සාක්ෂි මගින් අනාවරණය වන බවත් විනිසුරු මඩුල්ලේ තීරණය විය. එසේම canwil හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී එම මුදල් වෙනත් බාහිර කටයුත්තකට යොදවා නැති බවත් විත්තිකරුවන් එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට සාක්ෂි ඉදිරිපත් නොවන බවත් තීන්දුවේ සඳහන් ය

2015 වසරේ ජනවාරි මාසයේ වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේ පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා ය. ජනතාවගේ බලාපොරොත්තුව වූයේ යහපාලන ආණ්ඩුව යටතේ දූෂිතයන්ට බරපතළ දඬුවම් ලබාදෙනු ඇති බව ය. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණ වසර හතරකට වඩා වැඩි කාලයක් ගතවී තිබුණද මෙතෙක් කිසිම හෝ වැරදිකරුවකු ට දඬුවම් ලබා දී නැත. ඒ වෙනුවට සිදු වෙමින් පවතින්නේ වැරදිකරුවන් උසාවි ගෙන්වා නිවැරැදිකරුවන් යයි ප්‍රකාශයට පත් කොට අදාල තැනැත්තන් ගෙදර යැවීමය. මෙයට පෙර වතාවක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ නඩුවක දී සිදුවූයේ ද මෙවර ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිස සම්බන්ධ නඩුවේ දී සිදුවූ දෙයමය. එහිදීද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නගා තිබූ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල පාර්ශ්වයට හැකිවූයේ නැත

මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් වත්මන් ආණ්ඩුවට එල්ලවන චෝදනාව වන්නේ ද එම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ නිලධාරීන්ට හිතවතුන්ට මේ ආණ්ඩුව විසින් අභූත චෝදනා එල්ල කරන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෑත දිනකදී පවසා තිබුණේ ද ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කරමින් ඒ මහතා පසුපස එලෙව්වා මිස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු නොකළ බවය.වැරදි කර ඇත්නම් ඔප්පු කරනු යන්න ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ආණ්ඩුවට එල්ල කරන තවත් අභියෝගයකි. ගාමිණී සෙනරත් මහතා සම්බන්ධ නඩුවේ තීරණය ආදිය හේතුවෙන් සිද්ධ වනු ලබන්නේ මහින්දවාදීන්ගේ ඉහත චෝදනා ඔප්පු වීම ය. එනම් රාජපක්ෂවරුන්ට එරෙහිව ජනවාරිවරුන් එල්ල කරනු ලැබූ දූෂණ වංචා චෝදනා පුස්සක් බව ජනතාවට වැටහී යාමය

කවර තැනත්තෙකුට හෝ පදනම් විරහිතව චෝදනා එල්ල කිරීම යහපාලනයට පමණක් නොව ලොව කවර හෝ රාජ්‍ය පාලන මූලධර්මයකටවත් ගැලපෙන්නේ නැත. නිරපරාදේ මිනිසුන් උසාවි ගෙන්වීම එකී තැනැත්තන්ගේ ආත්ම ගරුත්වයට ද කරන අභියෝගයක් වන්නේය. එය ඊටත් අමතරව එය අධිකරණයේ කාලය නාස්ති කිරීමකි. මෙරට අධිකරණය හමුවේ නඩු දාස් ගණනක් ප්‍රමාද වෙමින් පවතින බව කියැවෙන මොහොතක පලකට නැති නඩු විසඳීමට අධිකරණයේ කාලය ගත කිරීම ද ජාතික අපරාධයකි. අධිකරණයේ කටයුතුවලට වැය වන මුදල් සම්බන්ධව ගත් කල එය මුදල් නාස්තියකි.

අපරාධ පරීක්ෂණ කටයුතු භාර දෙපාර්තමේන්තුවකට සම්බන්ධ නිලධාරියෙකු පෞද්ගලික කතාබහක දී වරක් පැවසුවේ රාජපක්ෂ පාලනය යටතේ දූෂණ වංචා රැසක් සිදු වී ඇති නමුත් ඒවා සිදුකොට ඇත්තේ නීත්‍යානුකූල ආකාරයෙන් බවයි. එනම් ඒවාට අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ දඬුවම් පැමිණවීමට නොහැකි වනු ඇති බවයි.

එක්තරා ආයතනයකට වාහන ගෙන්විමක් සම්බන්ධව තමා පරීක්ෂණ කරන බව කී නිලධාරියා වැඩිදුරටත් කීවේ සැබෑ වටිනාකම මෙන් පස් ගුණයක් වාහන වලට ගෙවා ඇති නමුත් එසේ ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාගෙන ඇති බවයි. මහින්ද පාලන ක්‍රමය වූයේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ පිළිවෙතය. එනම් තමන්ගේ හිතවතුන්ගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය පුරවා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත නීත්‍යානුකූල ලෙස වංචා දූෂණවල නියැළීම බව ඒ අනුව අනුමාන කරන්නට පුළුවන.

ගැටලූව එය නොවේ. සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි නම් ඇතැම් පුද්ගලයන්ට විරුද්ධව යහපාලනය යටතේ නඩු පවරනු ලබන්නේ කුමකට ද? යන්න ය .තමන් එල්ල කරන චෝදනා උසාවිය හමුවේ ඔප්පු කළ හැකිද නොහැකිද යන්න පිළිබඳ වැටහීමක් එසේ චෝදනා ගොනු කරන තැනැත්තන්ට තිබිය යුතුය.ඔප්පු කළ නොහැකි චෝදනා එල්ල කොට රටේ මුදල් සහ අධිකරණයේ කාලය නාස්ති කරනු වෙනුවට නඩු නොපරවා සිටීම වැදගත් ය. එසේ නොමැතිව කරන නඩු පැවරීම් වලින් සිදුවනු ඇත්තේ රාජපක්ෂ රෙජීමයෙන් පව් සේදීම සහ ජනවාරි වරුන් විසින් රාජපක්ෂවරුන්ට එල්ල කරනු ලැබූ චෝදනා බල රහිත වීම ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *