වැඩ්ඩන් පක්ෂයට එක් වෙද්දී කුහකයන් එරෙහි වෙනවා – සජිත්
වැඩක් කළ හැකි කෘතහස්ත පුද්ගලයන් සමඟි ජන බලවේගය සමඟ එක්වන විට තම පක්ෂයේ ඇතැම් පිරිස් දේශපාලන කුහකත්වයෙන් යුතුව ඊට එරෙහි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ කටයුතු කරන ලෙසත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (03) ‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවට එක්වෙමිනි. තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජ කරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පුද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කරගෙන පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බවත් එවැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයන් බවත් දේශපාලනය තුළ පරිණත හා පුළුල් දැක්මක් සහිත පුද්ගලයන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. දුර්වල තැන්වල වෙනස්කම් සිදු කළ යුතු බවත් ඒ තැනට පත් නොකර නිවැරදිව වැඩ කරන ලෙසත් කිසිවකු ඉවත් කිරීමෙන් තමා සතුටක් නොලබන බවත් මේ මැතිවරණ වසරේ හිතවත්කම් මත කටයුතු කළ නොහැකි බවත් ජනතාව හමුවට ගොස් යුතුකම් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සමගි ජන බලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්ෂයක් බවත් එය ජයග්‍රාහී තැනට ගෙන ඒමේ අභියෝගය නායකයා ලෙස තමාට ඇති බවත් පක්ෂය පුළුල් කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසර දුන් බවත් එම නිසා විවිධ පුද්ගලයන් පක්ෂයට බඳවා ගත් නමුත් කිසිදු ජාතිවාදියකු ආගම්වාදියකු දූෂිතයකු වංචාකාරයකු බඳවා නොගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. තැන්තැන්වල ගොස් විවිධ කතා කියා, කයිවාරු නොගහ පක්ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙසත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් ඍජු තීන්දු ගැනීමේදී තමා කාටවත් බය නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත
දිනමිණ

