|

රටට අලුත් ආර්ථික ආකෘතියක් ඕනෑ – දිනේෂ් වීරක්කොඩි – සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

 

 

රටක ආර්ථිකය නමැති සාධකය විසින් එරටේ ඉදිරි ගමන තීරණය කරනු ලැබේ. නොයෙක් අභියෝග හමුවේ අපේ අාර්ථිකය ද විවිධාකාර චලනයන්ට මුහුණ දුනි. එහෙත් එවන් පසුබිමක වුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම හා සෘජු විදේශ ආයෝජන හමුවේ ප්‍රශංසනීය ලෙස අපේ ආර්ථිකය යහපත් මාවතකට මේ වන විට යොමු වෙමින් පවතී. එය එසේ වෙද්දී නිෂ්පාදනය හා අපනයනය මුල් කරගත් ආර්ථිකයක් වෙත අප යොමු වීම අත්‍යවශ්‍ය බව විද්වතුන්ගේ ද මතය වී ඇත. එසේ හෙයින් වත්මන් ආර්ථිකය, ආයෝජනය සහ අනාගත ආර්ථිකය ගොඩ නැඟීමේ ඉඩ ප්‍රස්ථා පිළිබඳව, මෙරටට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ප්‍රමුඛතම නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සමඟ කළ සම්මුඛ සාකච්ජාවයි මේ.

 ඔබ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක්. ආර්ථික අර්බුදයක් පවතින අවදියක රජයේ ආර්ථිකය හසුරුවන ප්‍රමුඛතම ආයතනයක සභාපතිවරයා ලෙස පත්වීම් ලබනවා. ඔබ මත විශාල වගකීමක් පැවරී තිබෙනවා. මේ අභියෝගය ඔබ ජය ගන්නේ කෙසේද?

විශේෂයෙන්ම අපේ රට මේ අවස්ථාවේ අර්බුද රැසක පසුවනවා. ඒවායින් රට නිදහස් කර ගැනීම ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානයයි. නිෂ්පාදනය හා අපනයනය මුල් කරගත් ආර්ථිකයක් බිහි කිරීම මේ අර්බුදයෙන් මිදීමට හැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි නායකයෙක් යටතේ ඔහු පවරන වගකීම් ඉටු කිරීමට මා හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ඒ අනුව වෙහෙස නොබලා වැඩ කිරීම හරහා මා වෙත පැවරූ මේ අභියෝගය ජය ගැනීමටයි කටයුතු කරන්නේ.

ඔබ හඳුනාගත් පරිදි මුහුණ දීමට සිදු වී තිබෙන අභියෝග මොනවාද?

අප රටක් ලෙස COVID 19, රුසියා – යුක්රේන යුද්ධය වැනි විවිධ සාධක හේතුවෙන් ගෝලීය වශයෙන් ආර්ථික අවපාතයක් අත්විඳිමින් සිටින පිරිසක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහිද, මෙම ගෝලීය ආර්ථික අවපාතය ඍජුවම බලපාන බව අපට පිළිගැනීමට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව ද බහුවිධ අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව කිව යුතුමයි.

එවන් මොහොතක අප කළ යුත්තේ කුමක්ද?

මෙවැනි තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම රට තුළට විදේශ විනිමය ගලා ඒමේ, හොඳම ණය නොවන මූලාශ්‍රය ඍජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම වන බැවින්, ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අප කටයුතු කළ යුතුයි. ඍජු විදෙස් ආයෝජන හරහා අපනයන ඉපැයීම වැඩි දියුණු කිරීම, රැකියා උත්පාදනය සහ නව තාක්ෂණය හුවමාරු වීම තුළින් පමණයි රටේ ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියා කරන්නේ ඒ අරමුණ ජය ගැනීම ඉලක්ක කරගෙනද?

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ආකර්ෂණය සඳහා වන ප්‍රමුඛතම නියෝජිතායතනය ලෙස සැලකෙන්නේ අප ආයතනයයි. ආයෝජන මණ්ඩලය ආයෝජන සඳහා පහසුකම් සැලසීම තුළින් රටේ ආර්ථික වර්ධනය නඟා සිටුවීමට උපරිම උත්සාහයක් දරනවා. අද වැනි වටපිටාවක අභියෝගාත්මක අවස්ථාවක, ආයෝජන මණ්ඩලයෙහි සභාපතිත්වය භාර ගෙන, පසුගිය කාලසීමාවන්හි මා ලද දැනුම සහ අත්දැකීම් පදනම් කර ගනිමින්, රටෙහි ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට දායක වීමට බලාපොරොත්තු වෙනවා.

එහිදී ඔබ සිදු කිරීමට බලාපොරොත්තු වන විශේෂ කාර්යයන් මොනවාද?

අපනයන වර්ධනය, නව කර්මාන්ත, නවෝත්පාදන, ඩිජිටල්කරණය සහ කුසලතා වර්ධනය සඳහා සහාය සහතික කෙරෙන වගකීම් සහිත සංවර්ධනය සඳහා නව ආර්ථික ආකෘතියක් ක්‍රියාත්මක කිරීම දැන් අත්‍යවශ්‍යම වෙනවා. ඒ අනුව, අපගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ නිෂ්පාදන හා අපනයන මුල් කරගත් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටයි.

ඊට අමතරව තවත් ඔබ අවධානය යොමු වූ අංශ තිබේද?

ඔව්. ගෝලීය ප්‍රවණතාවය හා සමගාමීව, ඩිජිටල් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම කෙරෙහි ද අපගේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම තනි කවුළු අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම, නම්‍යශීලී රැකියා නීති හඳුන්වා දීම සහ කාර්යක්ෂම ආරවුල් විසඳීමේ යන්ත්‍රණයක් සක්‍රිය කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙනවා.

දිගුකාලීන ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් කතා කළොත්?

දිගුකාලීන ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන සියලුම ආයතන එක්ව ආයෝජකයන් සඳහා ව්‍යාපාරික පරිසරය සරල කරමින් රටේ ආයෝජන වාතාවරණය වැඩි දියුණු කිරීමට එක්ව ක්‍රියා කළ යුතුයි. එය අප අවබෝධ කර ගත් කරුණක්. ඒ වගේම විවිධ ව්‍යාපාර, නිෂ්පාදන, සේවා මාර්ග සහ ක්ෂේත්‍රයන්ගේ වර්ධනයක් ඇති කිරීම උදෙසා විශේෂඥ දැනුම ලබා ගැනීමට අවශ්‍යයයි. අපි නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සහ නිෂ්පාදන සහ සේවා සඳහා පවතින වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා නිදහස් වෙළඳ ගිවිසුම්වලට අවතීර්ණ විය යුතුයි. එමෙන්ම, නව ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා, ලංකා දූත මණ්ඩලවල උපරිම සහයෝගිතාවය ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒවා අපගේ දිගුකාලීන ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ උපාය මාර්ගයි.

ජනාධිපතිතුමා සිය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එකට එකතු කර නව ආයෝජන ආයතනයක් පිහිටුවන බව ප්‍රකාශ කළා. දැන් එහි තත්ත්වය කුමක්ද?

නිසැකයෙන්ම, දැනට පවතින ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ කුසලතා, නිෂ්පාදන, ජීවන තත්ත්වය, නීතිමය රාමුව සහ ස්ථානීය වාසි ප්‍රදර්ශනය කිරීමට සහ සියලු ආයෝජන සඳහා තනි කවුළුවක් සේ ක්‍රියා කිරීමට රටේ ආයෝජන ප්‍රවර්ධනයට සම්බන්ධ සියලුම ප්‍රධාන නියෝජිතායතන එකට වැඩ කිරීම අවශ්‍යයි. ඒ පිළිබඳව කිසිම තර්කයක් නැහැ. ඒ නිසා අප අලුතින් සිතා නව සැලසුම් කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාව ආයෝජන ආකර්ෂණය සඳහා ගෙන ඇති පියවරයන් මොනවාද? කලාපයේ සෙසු රටවල් හා සැසඳීමේදී මෙරටට පැමිණෙන ආයෝජකයින්ට ලබා දෙන දිරිගැන්වීම් මොනවාද?

ආයෝජන ප්‍රවර්ධනය සඳහා තරගකාරී රටවල් විසින් බදු සහන බහුලව භාවිතා කරනවා. විශේෂයෙන් මූල්‍ය දිරිගැන්වීම් ලබා දී ඇති කලාපයේ රටවල් කිහිපයක් ඉහළ ආයෝජන ආකර්ෂණය ගැනීමට සමත් වී තිබෙනවා. මෙම රටවල් තෝරාගත් අංශ සඳහා බදු සහන ලබා දෙනවා.

වසර 2022 දේශීය ආදායම් පනතේ නව සංශෝධන සමඟ ශ්‍රී ලංකාව බදු නිවාඩු ලබා දීම, සහනදායී CIT හෝ අඩු කළ CIT සහන ලබා දීම අත්හිටුවා තිබෙනවා. වැඩි කළ ප්‍රාග්ධන දීමනාව (ECA) පමණක් ලබා දීම සිදු කරනවා. මෙහිදී, ක්ෂය වන ස්ථාවර වත්කම් මත ඩොලර් මිලියන 3 කට වඩා වැඩි ආයෝජන, 100% – 200% වැඩි කළ ප්‍රාග්ධන දීමනාව සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඩොලර් මිලියන 3 ට අඩු ආයෝජන සඳහා මෙම පහසුකම අදාළ වන්නේ (ECA) 2024 වර්ෂය දක්වා පමණයි. මෙයට අමතරව, ආයෝජනයේ ස්වභාවය අනුව ආනයන බදු සහන ලබා දෙනවා.

තරගකාරි රටවල් තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් බදු දිරි ගැන්වීම් සපයනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම බදු ඉවත් කළ නොහැකියි. එබැවින්, ඉලක්කගත අංශවලට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, තරගකාරී රටවල් ලබා දෙන බදු සහන ප්‍රතිපත්තීන් හා සමගාමීව ලබා දිය යුතු බදු සහන සඳහා යෝජනා අදාළ ප්‍රතිපත්ති සම්පාදන ආයතන වෙත අප ඉදිරිපත් කර තිබෙනවා.

මෙවන් පරිසරයක් තුළ ඔබ ආයතනය ව්‍යවසායකයන්ට, ආයෝජකයන්ට මිත්‍රශීලී සේවාවක් ලබා දී තිබේද?

විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ පවතින BOI ව්‍යවසායයන්ට ඔවුන්ගේ කාර්යයන් කරගෙනයාමට අප සහයෝගය ලබා දෙනවා. රටට අවශ්‍ය ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වඩාත් හිතකර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට ආයෝජන මණ්ඩලය නිරතුරුවම කැප වී සිටිනවා.

ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඔව්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපි ආයෝජකයින්ට විවිධ සේවාවන් සිදු කරනවා. ඒවා අතරට නව පියවර කිහිපයක් ද අප ගෙන තිබෙනවා. ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය (IFC) පිහිටුවීම, තොරතුරු තාක්ෂණ සේවා සමාගම් 100 ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දැනට පවතින BOI සමාගම් 50ක් නැවත ආයෝජනය කිරීමට දිරිගැන්වීම සිදු කර තිබෙනවා.

ඒ වගේම හඳුනාගත් අංශ සඳහා උපදේශක සභා පිහිටුවීම, ප්‍රධාන ආයෝජක සේවා ඩිජිටල්කරණය, ජාත්‍යන්තර හරිත ප්‍රමිතීන් සපුරාලීම සඳහා පවතින කලාප නවීකරණය කිරීම, හවුල්කාරීත්ව සොයා ගැනීමේ දත්ත ගබඩාව හඳුන්වාදීම (Partnership Finder), පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීම කර තිබෙනවා.

ආයෝජකයන් තිරසර ප්‍රතිපත්තියක් හඳුන්වා නොදීම, ආයෝජකයන්ගේ පැමිණීමට බාධාවක්ව තිබෙනවාද? රජයයන් මාරුවීමේදී රජයේ ආයෝජන ප්‍රතිපත්තිය වෙනස් වීම ගැටලුවක් නොවේද?

ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක්, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රබල සාධකයන් බව අප හඳුනාගෙන තිබෙනවා. එවැනි දෙයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අප ක්‍රියා කරමින් ඉන්නවා. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආ‍යතනවල උපදේශකත්වය යටතේ ඒ සඳහා කටයුතු දැනටමත් කෙරෙමින් පවතිනවා.

රජය ආයෝජන කලාප පරිපාලනය පුද්ගලික අංශයට දීමේ අපේක්ෂාවක් පවතිනවාද?

වසර 45ක පමණ කාලයක් මේවායේ පරිපාලන කටයුතු BOI හොඳින් කර තිබෙනවා. ඒ නිසා එවැනි දෙයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

කොපමණ බාධක මධ්‍යයේ වුවද පසුගිය වසරේ ඇ.ඩො.බිලියන 1කට වැඩි ආයෝජන ගෙන ඒමට ඔබට හැකි වුණා. ඒ පිළිබඳව හා මෙම වසරේ (2023) අනාගත ආයෝජන අපේක්ෂාවන් කෙබඳුද?

රට වෙත විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමේ මෙහෙවර අප ඉටුකරමින් ඉන්නෙ. ඉතා අභියෝගාත්මක කාලවකවානුවක් තුළ වුවත්, වසර 2022 වර්ෂය සඳහා එහි ඉලක්කගත ආයෝජනය වන ඩොලර් මිලියන 1000 අභිභවා යමින් ඩොලර් මිලියන 1076ක් ගෙන්වා ගැනීමට ආයෝජන මණ්ඩලය සමත් වුණා. වසර 2023 දී ඩොලර් බිලියන 2ක ඍජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීම අපේ බලාපොරොත්තුවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් (IMF) විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මෙම ණය පහසුකම රටට හිමිවීමත් සමඟ රටේ ආර්ථිකයෙහි සිදුවන වෙනස ඔබ දකින්නේ කෙසේද?

ඔව්. IMF මූල්‍ය පහසුකම අප රටට ලැබීමත් සමඟ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා. ඒ සමඟ ආයෝජක විශ්වසනීයත්වය වැඩි වී තිබෙනවා. ඒ නිසා ආයෝජන රට තුළට ගලා ඒම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙවන් වටපිටාවක විදෙස් ආයෝජකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කරන්නේද?

නව ආර්ථික ප්‍රවර්ධනයත් සමඟ අප ආයෝජන ආකර්ෂණය සඳහා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන තියෙනවා. ඒවා අතුරින් ඛනිජ තෙල්, පුනර්ජනනීය බලශක්තීන්, යටිතල පහසුකම්, අගය එකතු කළ ඛනිජ ඇතුළු නිෂ්පාදන ක්ෂේත්‍රවලට විදෙස් ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය වේයැයි අපි අපේක්ෂා කරනවා.

ජයසිරි මුණසිංහ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *