සරසවි ඇදුරු සංගමය තම දේශපාලන නිරුවත හෙළි කරයි !

 

විශ්ව විද්‍යාල අචරයවරුන්ගේ සමිති සම්මේලනයේ වත්මන් නායකත්වය තමන් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් කරන සංවිධානයක් ලෙස මෙතෙක් පැළඳ සිටි වෙස් මුහුණු ඉවත්කොට තම අන්තවාදී දේශපාලනය ඔවුන්ගේ අලුත් ම මාධ්‍ය නිවේදනයෙන් හෙළි කොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් ඉවත් කිරීම සඳහා ඇතැම් අන්තවාදී කණ්ඩායම් පසුගිය කාලයේ දරු උත්සාහයන්හි දී භාවිත කළ අදහස් ඒ ආකාරයෙන් ම ආචාර්ය සංගමයේ නව මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කොට ඇත්තේ මේ අයුරිනි .

” පසුගිය මහ මැතිවරණයේදී තම ආසනය පවා අහිමි කරගත්තා වූත්, මහජන ඡන්දයෙන් තේරී පත් නොවූත්, අනීතික ජනාධිපතිවරයෙකුගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය භාරගත යුත්තේ බලාපොරෙත්තු බිඳී යමින් පවතින බලයක් වෙත තව තවත් ආශක්තව සිටීම පිණිස ගන්නා උපායක් වශයෙනි.”

ජනාධිපතිවරයා ගැන මෙම කතාව කියමින් ඔහු ඉවත් කිරීම අරමුණු කොට මෙම අන්තවාදී කණ්ඩායම් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ඊනියා ‘දැවැන්ත සටන්’ ජනතා සහභාගීත්වයක් නැතිව අසාර්ථක වූ බව කවුරුත් දන්නා කාරණයකි. ලක්ෂ ගණන් ජනයා ගෙන්වන්නට කළ සැලසුම් අනුව පන් දහසක් වත් ගෙන්වන්නට ඔවුනට හැකි නොවී ය. ආචාර්ය  සංගමය නැවත පුන පුනා කියන්නේ මහජනයා ප්‍රතික්ෂේප කළ එම මතය ම වන අතර මොවුන් කරන්නේ දේශපාලන අරගලයක් බව ද එමගින් හෙළි කොට තිබේ .

ඔවුන්ගේ අන්තවාදී දේශපාලන මතවාදය මෙලෙස ද ප්‍රකාශිතය .

“මෙමගින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය විනාශ කරන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයක් ස්ථාවර කෙරෙනු ඇත. එය පෞද්ගලීකරණයේ නාමයෙන් අපගේ සියලු වත්කම් හා ඉඩම් කෑදර ව්‍යාපාරික අවශ්‍යතාවලට විකුණා, දේශීය ආදායම් හා ජීවනෝපාය විනාශ කර, තව දුරටත් මේ රටේ දුප්පතුන් සූරාකමින්, දිළිඳු කරමින්, දුලබ කිරීමට අඛණ්ඩව කටයුතු කරගෙන යයි. ”

මෙය මේ වන විට ලෝකයේ මෙන් ම ලංකාවේ ද බහුතර ජනයා දිගින් දිගට ප්‍රතික්ෂේප කොට ඇති අන්ත වාමාංශික මතවාදය යි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බහුතරය ද මෙම අදහස් නොපිළිගන්නා බව ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ මගින් ද තහවුරු වෙයි. අචාරයවරුන්ගේ නාමයෙන් සංගමය මේ කියන්නේ බහුතර ආචාර්යවරුන් ද නොපිළිගන්නා අදහසක් බව නිරීක්ෂකයෝ කියති.

එමෙන් ම මෙය වෘත්තීය සටනක් නොව දේශපාලන සටනක් බව ද එමගින් පැහැදිලි වෙයි.

තමන්ගේ සටන වෘත්තීය අරගලයක් නොව දේශපාලන ක්‍රියාවක් බව ද මෙම නිවේදනයේ ඍජු ලේස මෙලෙස ද සඳහන් කොට ඇත.

“ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා වන අපගේ අරගලය අපි කිසි විටෙකත් අත් නොහරිමු. අපගේ සාමාජිකයන් වෙනුවෙන් අප ගන්නා සෑම ක්‍රියාමාර්ගයකදීම, ආගම, සංස්කෘතිය, ස්ථානය, ස්ත්‍රී-පුරුෂභාවය, වයස් භේදය, මතවාද, භාෂාව හෝ වෙන යම් විෂමතාවක් හෝ නො සළකා මේ රටේ සියලුම පුරවැසියන්ට වඩාත් යහපත් වූ යහපතක් උදාකරලීමේ අරමුණෙන් අප කිසිවිටෙකත් බැහැර නො වන බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.”

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බලය අල්ලාගෙන සිටින වත්මන් දේශපාලන කණ්ඩායම එය මෙහෙයවමින් සිටින්නේ වෘත්තීය අරගලයකට නොව ආණ්ඩු විරෝධී දේශපාලන අරගලයකට බව මෙමගින් පැහැදිලි වන්නේ යයි දේශපාලන නිරීක්ෂකයෝ කියති.

එමෙන් ම නිරීක්ෂකයින් කියන්නේ මෙම සංගමය සමස්ත සරසවි ඇදුරු ප්‍රජාවේ අදහස් නියෝජනය කරන සංවිධානයක් නොවන බව මෙයින් තහවුරු වන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *