තෙල් සේවකයින් රැකියාව රැකගන්න ලොකු උත්සාහයක

 

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ අනිවාර්ය නිවාඩු යවා සිටින සේවකයින් සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර හැකි ඉක්මණින් විසඳුමක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති කටයුතු උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.

වැඩ තහනමට ලක්වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද එක්ව තිබූ අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අනිවාර්ය නිවාඩු යවා සිටින සේවකයින් නැවත රාජකාරියේ පිහිටුවීමට කටයුතු කරන බවය.

“අනිවාර්යයෙන් නිවාඩු යෑවීම සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සාකච්ඡා කරනවා. ඒ හින්දා අද අගමැතිතුමා එක්ක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේක සමතයකට පත් කරලා ඒ අය සේවයේ පිහිටු වීමට අවශ්‍ය කටයුතු කරන්න තමයි අපි සාකච්ඡා කළේ.” 

“මේ ප්‍රශ්නේ දුරදිග යවන්නේ නැතුව දෙගොල්ලෝම සමතයකට පත්වෙලා මේක ඉවරයක් කරන්න ඕනේ.” 

“මේ සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපතිතුමා එක්කත් සාකච්ඡා කරලා මේක බේරුම්කර ගන්න තමයි කල්පනා කරන්නේ.”

මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම පිරිස්වලට ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළු වීම ද තහනම් විය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *