සාම්පුර් නවත්තපු පරිසර මල්ලිලා ඩිසල් බලාගාර ගැන නිහඩ ඇයි ? = ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි

පරිසරවේදීන්ගේ විරෝධය හමුවේ නවතා දැමුණු සාම්පූර් බලාගාරය නැවත පණගැන්වීම වෙනුවෙන් ලංවීම ‍ඉංජිනේරුවන් පෙනී සිටින්නේ කොමිස් මුදල් නිසා ද? ගල් අඟුරුවලට ඔවුන් දක්වන ඇල්ම පුනර්ජනීනය බලශක්තියට නොමැත්තේ මන් ද? ඉංජිනේරු ශක්තිය රටේ දියුණුවට අඩ තබන්නට යොදා ගන්නවා ද? ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මෙසේ පිළිතුරු දෙයි.

* පරිසරවේදීන් උරණව සිටිද්දීත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකළ යුතු යන මතය වෙනුවෙන් ඔබ සංගමය දැඩිව පෙනී සිටින්නේ ඇයි?

රටක් දියුණු වීමට බලපාන සාධක අතර බලශක්තිය ප්‍රධාන සාධකයක්. ලෝකයේ දියුණුවුණු හැම රටක්ම තම පරිභෝජනය වෙනුවෙන් බලශක්තිය ලාභදායීව නිපදවා ගෙන තියෙනවා. අපේ රටත් දියුණු කිරීමට අවශ්‍ය බලශක්තිය නිපදවා ගන්න අඩු වියදම් ප්‍රභවයක් භාවිතා කරන්න ඕන. ලෝකයේ බලශක්ති නිෂ්පාදනය ගත්තම ඉන් 1/3ක් තව අවුරුදු 20ක් යන තුරුත් නිපදවා ගන්නේ ගල් අඟුරු යොදාගෙනයි. කවුරු කැමැති වුණත් අකමැති වුණත් ජල විදුලිය හැරුණු කොට අඩු මිලට බලශක්තිය නිපදවා ගන්න තියෙන ප්‍රභවය ගල් අඟුරු‍.

* නමුත් දැන් බොහෝ රටවල් හීනවන බලශක්ති ප්‍රභවයක් ලෙස සලකා ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වෙලා නේ ද?

ඉන්දියාව ශීඝ්‍රයෙන් ගල් අඟුරු බලාගාර හදන්න කටයුතු කරනවා. ඉන්දුනීසියාව බංගලාදේශය, වියට්නාමය, මැලේසියාව වගේ රටවල් ගල්අඟුරු බලශක්තිය නිපදවා ගැනීමේ ප්‍රභවයක් ලෙස භාවිතා කරනවා. ඔවුන්ගේ සැලසුම වන්නේ 2025 හා 2030 වන විට බල ශක්තිය ලබා ගැනීමේ ප්‍රබලම ප්‍රභවය ලෙස ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීම.

* ලං.වී.ම ඉංජිනේරු සංගමය ගල් අඟුරු බලාගාර වෙනුවෙන් පෙනී සිටින්නේ අතයට වාසි ලැබෙන නිසා කියන්නේ ඇත්ත ද?

මාධ්‍ය හා බලධාරීන් කියන විදිහට ලං.වී.ම ඉංජිනේරුවන් තමන්ට වාසි නිසා ගල් අඟුරු බලාගාර හදන්න සැලැසුම් කරනවා කියමුකෝ. ඒත් මැලේසියාවේ, බංග්ලාදේශයේ. වියට්නාමයේ, ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ ඉන්නෙත් ලං.වී.ම ඉංජිනේරුවන් ද? අන්තර් ජාලයේ තොරතුරු පදනම් කරගෙන විතරක් අපිව විවේචනය කරන්න එපා. ඒ සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයන්ගේ අදහස් අරගෙන බලන්න. අපි සුළං බලාගාර හදන්නත් අවංකව පෙනී සිටිනවා. ඒ අවංක වුවමනාව පාලකයන්ට තියෙනවා ද කියන එක ගැටලුවක්.

* ඔය කිව්වට ඔබ සංගමයට ගල් අඟුරු බලාගාර හදන්න තියෙන වුවමනාව සුළං බාලාගාර හදන්න නෑ නේ ද?

ඇයි නැත්තේ? අපි මහත් පරිශ්‍රමයක් යොදලා චුන්නාකම් වල මෙ.වො. 10ක සුළං බාලාගාර දෙකකට ටෙන්ඩර් කැදෙව්වාම මුදල් ඇමැතිවරයා සුළං විදුලිබල ක්ෂේත්‍රයේ පුද්ගලික අංශයේ කඩා වැටීමක් වෙනවා කියලා. තුන්පාරක් නැවැත්තුවා. අන්තිමට ප්‍රශ්නයට ජනාධිපතිතුමා මැදිහත් වෙලා ටෙන්ඩර් කැඳවලා ඉදිරියට කරගෙන යන්න කිව්වා. එතුමාට ස්තූති පුද කරන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා. ඉන් පසු අපිට දැන් රු. 22කට ගන්න විදුලි ඒකකයක් රුපියල් 12යි ශත 22කට මිලදී ගන්න හැකි වුණා. මේක යට තියෙන්නේ මාෆියාවක්. ඒකකයකට රු. 10ක ලාභයක් වුණත් ඒක මුළු ඒකක ගාණත් එක්ක බැලුවම මිලියන ගාණක ලාභයක්.

මන්නාරමේ මෙ. වො. 300ක සුළං බාගාරයක් හදන්න පටන් ගත්තා. මේක කරන්නේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ බලෙන්. මේකට කාගෙන්වත් සහයෝගයක් නෑ. මේකට ණය මුදල දෙන්න මහජන බැංකුව ආසියානු සංවර්ධන බැංකුව දෙකම කැමැතියි. නමුත් රජය වගකීමක් දරන්න ඕනා. ඒකට ඇප වෙන්න ඕනා. තාම ඒක ලැබුණේ නෑ. රටට බලාගාරයක් හදන්න අපේ සංගමය ඇයි මැදිහත් වීමක් කරන කොට රජයේම ඇතැම් අයගෙන් දැඩි තර්ජනයක් තියෙනවා.

* අපිට වඩා කාර්මීකරණයෙන් දියුණු රටවල් පවා පුනර්ජනනීය බලශක්තිය තුළින් තම බලශක්ති අවශ්‍යතා පිරිමසා ගන්න සැලැසුම් කරලා. නමුත් ඔබේ සංගමය ඒ ගැන අවධානයක් නැහැ.

යුරෝපයේ රටවල් එදා ගල් අඟුරු බලාගාරවලින් ආර්ථික ශක්තිය නංවාගෙනයි ඉන්නේ. ඒ රටවල පුරවැසියන්ගේ විදුලි බිල ගෙවීමේ හැකියාව අපට සාපේක්ෂව ගොඩක් ඉහළයි. ඉහළ ආර්ථික ස්ථාවරයක් තියෙන යුරෝපයේ දියුණු රටවල් තමයි සුළං හා සූර්යය බලශක්තිය නිපදවා ගන්න යොමු වෙන්නේ. නමුත් අප අපේ රට තියෙන්නේ කොතන ද කියා වටහාගත යුතුයි. එම මට්ටමේ ආසියාතික රටවල් ගල් අඟුරු භාවිත කරද්දී අප මෙම ලාභදායී බලශක්ති ප්‍රභවයට පයින් ගසන්නේ අපේ රට ධනවත් නිසා ද? අපේ රටේ පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ නිසා ද?

* අපට අවශ්‍ය විදුලි බලය පුනර්ජනීනය බලශක්තිය තුළින් කඩිනමින් සපුරාගන්න බැරි හේතු මොනවා ද?

පළමු කාරණය තාක්ෂණික ප්‍රශ්න. රජය කියන්නේ මෙ. වො. 500ක සූර්යය බලාගාරයක් හදන්න පුළුවන් කියලනේ. අපේ රටේ උපරිම විදුලි බල ඉල්ලුම තියෙන්නේ මෙ. වො. 2500ක් විතර. දවල් කාලයේ දී නම් මෙ. වො. 2000ක් විතර. මෙ. වො. 500 බලාගාරයට ඉහළින් වළාකුලක් ගියා කියලා හිතමු. එතකොට ක්ෂණිකවම ඒක අඩු වෙලා යනවා. ඒක ක්ෂණිකව වැඩි කරගන්න යන්ත්‍ර සූත්‍ර තියෙන්න ඕන. එවැනි ඉහළ තාක්ෂණයක් ගේන්න විශාල මුදල් ප්‍රමාණයක් යට කළ යුතුයි. එහෙම නොකළොත් පද්ධතිය සමබරව පවත්වාගෙන යන්න බෑ. ඒ සඳහා විශාල මුදලක් වැය කළොත් ඒක විදුලි පාරිභෝගිකයාට දරා ගන්න වෙනවා.

* යහපාලන රජය බලයට පත්වෙන කොට රටේ බලශක්ති අර්බුදය පුනර්ජනනීය බලහක්තිය ප්‍රභවයන් මගින් විසඳා ගන්නවා කිවුවා. මේක ප්‍රායෝගික නෑ කියල ද ඔබ කියන්නේ.

සමහර උපදේශකයන් අපේ දේශපාලන නායකයන්ට බලශක්ති අවශ්‍යතාව පුනර්ජනීනය බලශක්ති ප්‍රභවයන් මගින් සපුරාගත යුතුයි කියලා වැරැදි උපදෙස් දෙනවා. පුනනර්ජනීය බලශක්තිය මගින් තම බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නේ රටවල් හතරයි. මෙහෙම ජල විදුලිය නිසා අපේ රට දැනට පරිසර හිතකාමී ලෙස බලශක්තිය උපදවා ගන්න පළමු රටවල් පහළොව අතරට අයත්. රටේ සංවර්ධන අඩාල කරගෙන අපි පරිසර හිතකාමී කියලා කියා ගන්න අවශ්‍ය නෑ. මම අර මුලින් කිව්ව උපදේශකයින් නිසා තමයි සාම්පූර් ගල් අඟුරු බලාගාරය අපේ රටට නැති වුණේ.

*ගල් අඟුරු බලාගාරවලින් පරිසර දූෂණය සිදු වෙනවා කියන්නේ බොරු ද?

අ‍පේ රටේ ගල් අඟරු බලාගාරයට ආසන්නතම නගරය පුත්තලම. ඒත් පුත්තලම නගරය ද අප රටේ වායු දූෂණයෙන් ඉහළින්ම ඉන්නේ? කොළඹ හා මහනුවර නගර දෙකේ වායු දූෂණය වැඩි වෙලා තියෙන්නේ ගල් අඟුරු නිසා ද? රථවාහන නිසා ද? නොරොච්චෝලේ බලාගාරයේ සුළු සුළු අඩුපාඩුත් හඳුනාගෙන තාක්ෂණයෙන් ඊටත් වඩා දියුණු බගාලාරයක් තමයි අපි නැඟෙනහිර ඉදිකරන්න සැලසුම් කළේ.

* පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීම ගල් අඟුරුවලට වඩා ආර්ථිකමය වශයෙන් ලාභදායී නේ ද?

පුනර්ජනීනය බලශක්තිය කිව්වම ජල විදුලියත් අයත්. ඇත්තටම කියනවා නම් ලක්ෂපාන බලාගාරයේ විදුලි ඒකකයකට අපි වියදම් කරන්නේ ශත 75ක් පමණයි. මහවැලි බලාගාරවලින් ගන්නා විදුලි ඒකකයකට වියදම රුපියල් එකයි ශත පනහයි. නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ඒකකයකට ණයත් සමඟ රු. 7.00යි. සපුගස්කන්ද දැවිතෙල් බලාගාරයේ ඒකකයක් රු. 17.00ක්. පුද්ගලික සුළං බාලාගාරවලින් විදුලි ඒකකයක් ගන්නේ රු. 22කට. ඒ අනුව ජල විදුලිය හැරුණම අපේ රටේ ලාභම බලශක්ති ප්‍රභවය ගල් අඟුරු.

* පරිසර සංවිධාන ගල් අඟුරු බලාගාර හදනවාට විරුද්ධයි නේ ද?

රජය අඩු මිලට විදුලිය ගන්න හදනකොට විරුද්ධ වෙන එක පරිසරවේදීන්ගේ කුල සිරිතක්. නමුත් මේ අය කෑ ගැහුවා කියලා මේ රටේ එක පුද්ගලික බලාගාරයක් නැවතිලා තියෙනවා ද? සාම්පූර් බලාගාර‍ය නතර කළාට කෙරවලපිටියේ, හම්බන්තොට පුද්ගලික අංශයෙන් ඩීසල් බලාගාර දෙකක් හදන්න යනවා. මේවාටත් මේ රටේ පරිසර මල්ලිලා සද්දයක් දායි. ඒ සද්දෙ මත ඔවුන්ගේ මිල තීරණය වේවි. ඉන් පසු ඒ සද්දේ නැතිවෙලා යාවි. ඕක තමයි ඇත්ත. සද්දෙ නැවතුණා කියලා ඩීසල් බලාගාරවලින් සිදුවන පරිසර දූෂණය නවතින්නේ නෑ.

* මහජන උපයෝගිතා කොමිසන් සභාවට ලං.වී.ම නියාමනය කරනවාට ඔබ සංගමය විරුද්ධ ඇයි?

නියාමනය කරන්න කියලා අපි කැමැත්තෙන්ම කිවුවා. එතකොට අකාර්යක්ෂමතාවයන් හසු වෙනවා. එවිට මනා පාලනයක් ඇතිව වඩා කාර්යක්ෂමව ලං.වී.ම ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒත් අවාසනාවකට මේ කොමිසමට පත් කරලා තියෙන්නේ භාගයක් නීතිඥවරු. අනෙක් භාගය හොරු. කොමිසමේ ඇතැම් සාමාජිකයෝ ලං.වී.ම සමග මීටර් ගනුදෙනු කරපු උදවිය. වඩාත්ම කණගාටුව මේ පුද්ගලයන් අපට තාක්ෂණය කියා දෙන්න එන ‍එකයි.

* ලං.වී.ම පාඩුව පියවා ගන්න විදුලිබිල වැඩිකරන්න යනවා කියන්නේ ඇත්ත ද?

ලං.වී.ම පාඩු ලබන්නේ අපේ වරදින් නොවෙයි. 2015 අවුරුද්ද අවසන් වෙන කොට රුපියල් බිලියන තිහක් ලාභයි. නමුත් මේ වසරේ තද නියඟය නිසා පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න වුණ නිසා පසුගිය වසරේ ලාභය බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අපේ සැලසුම් අනුව 2013 දී සාම්පූර් බලාගාරය ඉදිකරලා තිබුණා නම් මේ අලාභය සිදු වන්නේ නෑ. විදුලිබල ඇමැතිතුමා කියන්නේ පාඩුව පිරිමසා ගන්න විදුලිබිල වැඩි කරන්නේ නෑ භාණ්ඩාගාරයෙන් පියව ගන්නවා කියලයි. ඇමැතිතුමාගේ ගෙදරින් ද භාණ්ඩාගාරයට මුදල් යොදවන්නේ? විදුලි බිල වැඩි නොකරනවා නම් පාඩුව බදුවලින් ජනතාවගෙන් අය කරන්න සිදු වේවි.

* අප රටේ ප්‍රථම හා එකම ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ බලාගාරයෙන් රටට අත් වූ ප්‍රතිලාභ ගැන ඔබට සෑහීමකට පත්විය හැකි ද?

කවුරු සෑහීමකට පත් වුණත් නැතත් කැඩි කැඩී දුවලත් නොරොච්චෝලේ බලාගාරයෙන් තමයි අපේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 50%ක් සපුරා ගන්නේ. මේක වාර්ෂිකව 30% ක් 35%ක් අතර ප්‍රමාණයක්. අපි නැඟෙනහිර ගල් අඟුරු බලාගාරය ජපානයෙත් එක්ක එක් වෙලා හදා ගන්නවා නම් අපට අනර්ඝතම බලාගාරයක් නිර්මාණය කරන්න පුළුවන්.

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *