විදුලිය කැපීම ජනවාරියෙන් අවසන් !

 

ඇනවුම් කොට ඇති ගල් අඟුරු නැව් පැමිණීම ආරම්භවීමෙන් පසු  සහ විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසු විදුලිය කපාහැරීම අවසන් කළ හැකි වන බවත්, ඒ අනුව ජනවාරි මාසයෙන් පසු විදුලි කැපීම අවසන් වනු ඇති බවත්, විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

උසස් පෙළ විභාග පැවැත්වෙන පෙබරවාරි මාසය වන විට විදුලි කැපීම අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ වන විට පැය දෙකයි විනාඩි විස්සක දෛනික විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකව පවතියි. ජනවාරි මාසයේ එය අඩු කිරීමට සහ පසුව අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

ලබන වසරේ ගල් අඟුරු අවශ්‍යතාවය ලබා ගැනීමට ටෙන්ඩරයක් අනුමත කොට මේ වන විට ලබා දී ඇති අතර පැරැණි ටෙන්දරයකින් ගල් අඟුරු ලබා ගැනීමට ද කටයුතු කොට ඇත.

ජනවාරි මාසයේ නැව් හතක් ඇතුළුව ගල් අඟුරු නැව් 33 ක් මාර්තු අවසානයට පෙර ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කොට ඇත.

එක් නැවකින් ලැබෙන ගල් අඟුරු ප්‍රමාණය නොරච්චෝලේ බලාගාරය උපරිම ධාරිතාවයෙන් දින 10 ක් ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් වෙයි.

ජල විදුලි ධාරිතාවය මේ වන විට ගිගා වොට් පැය 950 ක් ආසන්නයේ පවතින අතර ඉදිරි මෝසම් සුළං මගින් එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

මාස ගණනක් වසා තිබු  සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද මේ වනවිට නොකඩවා ක්‍රියාත්මක කොට ඇති අතර තාප බලාගාර සඳහා අවශ්‍ය දැවී තෙල් සහ නැප්තා සැපයීමට එමගින් හැකි වනු ඇතැයි කියති.

මෙම වසර සඳහා ගල් අඟුරු ලබා ගන්නේ මාස හයක ණය පදනමක් යටතේ වන අතර විදුලි බිල වැඩි කිරීමෙන් පසු එම මුදල් ගෙවීමට ලංවිම ආදායම ප්‍රමාණවත් වනු ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *