උපයෝගිතා කොමිසමේ සභාපති ජනක නැති බලයක් අරගෙන : කොමිසම නොකැදවා තනි තීන්දු අරන් : සාමාජිකයෙක් ඉවත්ව ගිහින්

ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොමිසම රැස් නොකර තනි තීන්දු ගනිමින් ක්රියාත්මක වන බවත්, පනත අනුව සභාපතිවරයාට එබඳු බලයක් නැති බවත්, ක්ෂේත්රයේ තතු දත් ආරංචි මාර්ග ප්රකාශ කරයි.
මෙම තත්ත්වය නිසා කොමිසමේ සාමාජිකත්වයට පත්කොට සිටි විදුලි ඉංජිනේරුවරයා ඉල්ලා අස් වී ඉවත්ව ගොස් ඇති අතර එම පුරප්පාඩුව මෙතෙක් පුරවා නැත. මහජන උපයෝගිතා කොමිසන් සභා පනත අනුව විදුලි ඉංජිනේරුවරයකු කොමිසමේ සාමාජිකයකු ලෙස අනිවාර්යයෙන් සිටිය යුතු ය. ඒ අනුව විදුලි ඉංජිනේරුවරයකු නැතිව කොමිසම ක්රියාත්මක වීම ද නීතිමය වශයෙන් අභියෝගයට ලක් විය හැකි බව කියති.
මහජන උපයෝගිතා පනත අනුව විදුලි ගාස්තු ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් කොමිසමට බලය පවරා ඇත. එසේ වුව ද, එම තීන්දු ගත යුත්තේ කොමිසම විසින් වන අතර සභාපතිවරයාට තීරණ ගැනීමේ බලයක් පවරා නැත. කෙසේ වෙතත්, කොමිසමේ වත්මන් සභාපති තනි තීරණ ගෙන ක්රියාත්මක වන්නේ කොමිසමේ රැස්වීම් කැදවීමකින් හෝ සාකච්ඡාවකින් හෝ තොරව බව කියති.
එලෙස කොමිසම වෙනුවෙන් තීරණ ගැනීමට හෝ ප්රකාශ කිරීමට හෝ බලයක් සභාපතිවරයාට නැති අතර ඔහුගේ ප්රකාශ පෞද්ගලික මතයක් මිස කොමිසමේ මතය ලෙස භාරගත නොහැකි බව තතු දත් ආරංචි මාර්ග කියයි.
කොමිසමේ සභාපති ඉවත්කිරීමේ බලය ඇත්තේ පාර් ලිමෙන්තුවට පමණක් බව දන්නා නිසා මොහු මේ ආකාරයෙන් හැසිරෙන බව තතු දත් නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත්, කොමිසමේ තීරණ නොගෙන සභාපතිවරයා ගන්නා පියවර අධිකරණයේ ප්රශ්න කළ හැකි බව ද ඔවුහු කියති.
