කිසිවක් නැති රනිල් ජනාධිපති වුණාට බොහෝ දෙනා ඉන්නේ ඉරිසියාවෙන්, වෛරයෙන් – නව ලංකා නිදහස් පක්ෂ සභාපති කුමාර වෙල්ගම

කිසිවක් නොතිබූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම ගැන බොහෝ දෙනා ඉන්නේ ඉරිසියාවෙන් සහ වෛරයෙන් බව නව ලංකා  නිදහස් පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

කිසිවක් නොතිබූ රනිල් ජනාධිපති වූ බවත්, ආසන තුනක් ඇති දෙනේෂ් අගමැති වූ බවත්, ජනවරම ලැබුණු තමන්ට සියල්ල අහිමි වූ බවත් සිතන උදවිය ඉන්නේ දැඩි වෛරයකින් බවත්, ඒ බව තමා වික්‍රමසිංහ මහතාට කී බවත් වෙල්ගම මහතා කියයි. කලබල නො වී හිමින් යමු කියා තම ජනාධිපතිතුමාට කී බව ද ඒ මහතා ප්‍රකාශ කළේ නව නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම සඳහා අද බත්තරමුල්ලේ පැවති උත්සවය අමතමිනි.

කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි.

කුමාර වෙල්ගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව පක්‍ෂයට සුබ පතන අතර, මෙම පක්‍ෂයට දීර්ඝ ගමනක් යාමට අවශ්‍ය නම් දූෂණයෙන් තොර රට ගැන සිතන පුද්ගලයන් පමණක් එයට එක්කරගත යුතු බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙහිදී පැවසුවාය.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව ලංකා නිදහස් පක්ෂයේ‘ නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ මහතාය.

මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා පැවසුවේ මෙම පක්‍ෂයට ඉදිරියේදී තවත් පිරිස් එක්වීමට සූදානමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *