ආණ්ඩුව සර්ව පාක්ෂික ද ? බහු පාක්ෂික ද ?

පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දී තිබෙන්නේ රට තුළ තම පාලනයේ සුජාත භාවය ගොඩනගා ගැනීමේ අභියෝගයට බව පෙනෙන්නට තිබේ, ඔහු බලයට පත් වුයේ තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් බව නොරහසකි. කැබිනට මණ්ඩලය ද තවමත් පවතින්නේ වෙනත් කිහිප දෙනකු පමණක් තනතුරු දරන නමුත් පොදුජන පෙරමුණේ ම ඇමති මණ්ඩලයක් වශයෙනි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන්න තවමත් පවතින්නේ අරමුණක් වශයෙනි. එවැන්නක් නොමැතිව ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලබාගත නොහැකිය යන්න ජනාධිපතිවරයා ඇතුළු බොහෝ දේශපාලනඥයන්ගේත්, සිවිල් සමාජයේත්, පොදු පිළිගැනීමක් වී තිබේ.
පවතින ආණ්ඩුව සුජාත නැතැයි සිතන ඇතැම් දේශපාලන කණ්ඩායම් සහ දේශපාලඥයින් උතසහ කරමින් සිටින්නේ ඉක්මන් අරගලයකින් ආණ්ඩුව පෙරළා දැමීමට ය. එම අදහස පසුගිය අරගලයේ අවසන් කාලයේ එය මෙහෙය වූ ඇතැම් කණ්ඩායම් විසින් අවධාරණය කළේය. කෙසේ වෙතත්, පසුගිය සතිය වන විට එම අදහසේ ප්‍රකාශකයා බවට පත්ව සිටියේ සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ය.
පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සරත් ෆොන්සේකා මහතා මුළු රටේ ම ජනතාවගෙන් ඉල්ලා සිටියේ අගෝස්තු 9 වැනිදා කොළඹට පැමිණ අරගලය අවසන් කරන ලෙසයි. අවසන් ජයග්‍රහණය සඳහා දායක වන ලෙසයි. එදින සිදුවීම්වලට අත දැමීමෙන් වළකින ලෙස ඒ මහතා පොලිසියෙන් සහ හමුදාවෙන් ද ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත්, ෆීල්ඩ් මාර්ෂල සරත් ෆොන්සේකා මහතාගේ අදහසට පක්ෂව මෙන් ම විපක්ෂව ද විවිධ අදහස් පළ වූ බව පෙනෙන්නට තිබිණි. අරගල භුමියේ සිටි ඇතැම් පිරිස් ඒ වනවිටත් ඉවත්ව ගොස් තිබුණේ තමන්ගේ අරගලයේ ප්‍රධාන අරමුණ ඉටු වූ බව ප්‍රකාශ කරමිනි.
මෙම ප්රවනතාවය වඩාත් ප්රකටව පෙනී ගියේ අරගලයේ මුල සිට ක්‍රියාත්මකව සිටි ප්‍රධාන කණ්ඩායම් දෙකක් පසුගිය සතියේ අවසන් දිනවල අරගල භුමියෙන් තම සංවිධාන ඉවත්ව යන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ය.
කළු තොප්පිය පිටව යයි
කළු තොප්පි ව්‍යාපාරය අරගලය ගෝල් ෆේස් පිටියේ ආරම්භ කරන්නට පෙර සිට එය සංවිධානය කිරීමට දායක වී සිටි සංවිධානයකි. එම සංවිධානය අරගල බිමෙන් ඉවත්ව යන බව පසුගිය 28 දා බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. එම සංවිධානය කීවේ තම ප්‍රධාන අරමුණ මේ වනවිට ජයගෙන ඇති බව සහ මින් ඉදිරියට කළ යුතු අරගලය ඇත්තේ කුඩා බිම් කඩක නොව එය රට පුරා ගම් දනව් වෙත ගෙන යා යුතු වන බව යි.
ලිබරල් සහෝදරත්වය සංවිධානය ද ගෝල් ෆේස් අරගල බිමෙන් ඉවත් වන බව ඊට පසු දින නිවේදනය කළේය.
මෙම සංවිධාන දෙක ම ප්‍රකාශ කළ කාරණයක් වන්නේ අරගලය ඇතැම් දේශපාලන කණ්ඩායම් තම දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීමට උතසහ දරමින් සිටින බව තමන්ගේ නිරීක්ෂණය වන බව යි.
මුදලිගේ රනිල්ට කල් දෙයි
මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේ මර්දනයෙන් අරගලය යටපත් කළ නොහැකි බව සහ අරගලය දැවැන්ත ජන සහභාගීත්වයක් ලබා ගනිමින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව යි. එම සටන්කාමී කතාව තුළ ඔහු කියූ එක් වැදගත් කරුණක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට කාලයක් ලබාදීමට තමන් තීරණය කළේය යන්නයි.
සර්ව පාක්ෂික අර්ගලකරුවෝ සංවිධානය ද අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් කර තිබුණේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් අරගලය බිල්ලට දීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් ක්‍රියා කරන බව සහ එවැනි පෙළඹවීම්වලට ජනතාව ගොදුරු නොවිය යුතු බව යි.
මෙලෙස විවිධ පාර්ශවවලින් වෙනස් මත ප්‍රකාශ වී තිබුන ද සරත් ෆොන්සේකා මහතා යළිත් ප්‍රකාශ කළේ අගෝස්තු 9 දා ජනතාව කොළඹට පැමිණ ආණ්ඩුව පළවා හැරීමට ක්‍රියා කළ යුතු බව යි.
ෆොන්සේකාගේ පෞද්ගලික කතා
සමගි ජන බලවේගය 1දා , සදුදා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් කළ විමසුමක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ප්‍රකාශ කළේ එය ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ප්‍රකාශයක් බව යි. පසුව පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ද එම අදහස ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත .සමරසිංහ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අගෝස්තු 9 දා ජාතික හර්තාල් දිනයක් ක්‍රියාත්මක කරන බව සහ එදිනට රට පුරා විරෝධතාවලට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.
වෘත්තීය ස්මිති විසින් ද අගෝස්තු 9 දා විරෝධතා ව්‍යාපාරයක් සඳහා සාමාජිකත්වය කැඳවා තිබිණි.
ආණ්ඩු පෙරලීමේ විපක්ෂයේ වැඩ සටහන් එසේ ක්‍රියාත්මක වෙමින් පවතිද්දී ජනාධිපති රනිල් තමන්ගේ දේශපාලන ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාවට නගමින් සිටි බව පෙනෙන්නට තිබිණි.
දළදා වැඳ පුදා ගැනීමට සහ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ආශීර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේ පසුගිය සති අග දී ය. සිකුරාදා උදේ එහි ගිය ජනාධිපතිතුමා දළදා වන්දනාවෙන් පසු පළමුවෙන් මල්වතු මහා විහාරයට ද පසුව අස්ගිරි මහා විහාරය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.
අනුසාසනා අනුව ආණ්ඩුවක්
මහා නා හිමිවරුන්ගේ අනුසාසන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තමා කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංඝයා වහන්සේලා වෙත දැනුම් දුන්නේ ය.
කෙසේ වෙතත් ,අස්ගිරි මහා විහාරයේ දී ජනාධිපතිතුමාට විශේශ්ස අනුසාසනාවකට කන් දෙන්නට සිදුවීය. එහි දී එම අනුසාසනාවෙන් කියවුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොහැකි නම් බහු පාර්ශවික ආණ්ඩුවක් ගොඩ නැගීමට කටයුතු කරන ලෙස යි.
ජනාධිපතිතුමාගේ මහනුවර සංචාරයේ ඉතා වැදගත් අවස්ථාවක් වුයේ එදින, එනම් ජුලි 29 සිකුරාදා සවස මහනුවර ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබු සමුළුව යි. එයට ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මැති ඇමතිවරුන් සහ පළාත්පාලන, පළාත් සභා නියෝජිතයින් කැඳවා තිබිණි.
මහින්දානන්දත් රනිල්ට සහාය දෙයි
ජනධිපතිතුමා පිළිගනිමින් කතා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ රට ස්ථාවර කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හඳුනාගත් පොදුජන පෙරමුණ ඒ මහතාට සම්පුර්ණ සහය දීඒමට තීරණය කළ බව යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතා කරමින් කීවේ පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව අනෙක් දේශපාලන පක්ෂ ද ඉදිරියේ මෙබඳු සාකච්ඡා සඳහා කැඳවා ගත යුතු බවයි. වත්මන් අර්බුදයට මුහුණ දීම් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාවය ගම් මට්ටමින් මතු කිරීමට ගමට යන ලෙස ද ජනාධිපතිතුමා ඉල්ලීමක් කළේය.
යන්න ගෙදරක් නැහැ
“ මටත් ගෙදර යන්න කියලා සමහරු කියනවා. කරුණාකරලා මට ගෙදර යන්න කියන්න එපා. මට යන්න ගෙදරක් නැහැ. එහෙම නම් විශාල පිරිසක් ඇවිත් ඉක්මනින් මගේ ගෙදර හදා දෙන්න . ඊට පස්සේ මට යන්න කියලා පෙළපාලි යන්න “ යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා එහි දී ප්‍රකාශ කළේය.
ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්න කියා කීම තේරුමක් නැති වැඩක් බව ද ඒ මහතා කී ය.
රුවන් නුවරට ද ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය මහනුවර ගමනට එක්සත් ජාතික පක්ෂ නායකයින් අතරින් සහභාගී කරවා ගත්තේ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පමණක් වීම ද ඇතැම් නිරීක්ෂකයින්ගේ අවධානයට ලක් වූ කරුණක් වී තිබිණි. එම විචාරකයින් මෙය දුටුවේ මහනුවර එජාප බලකොටුව ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම රුවන් විජේවර්ධන මහතාට පැවරීමේ මුල් පියවරක් වශයෙනි.
අර්බුදයට විසඳුම් ගැන යෝජනා ඉදිරිපත් කළ සිවිල් සංවිධාන බොහොමයක ප්‍රධාන ඉල්ලීමක් වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය බල රහිත කොට 19 සංශෝධනයේ තත්ත්වයට යලි නීති ප්‍රතිපාදන සැලසීම යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය පසුගිය දා ඉදිරිපත් කරන ලද්දේ එම දේශපාලන වුවමනාව සැලකිල්ලට ගනිමිනි.
කෙසේ වෙතත්, එයට බරපතළ විරෝධයක් එල්ල වුයේ එමගින් ජනාධිපති බලතල ඉවත් කරන නමුත්, එම විධිවිධාන වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලයෙන් පසුවට කල් තබා තිබීම යි.
කෙසේ වෙතත්, 19 සංශෝධනයේ තත්ත්වය යලි ඇති කිරීම ප්‍රධාන දේශපාලන ඉල්ලීමක් වී තිබිණි. එම ඉල්ලීම ඉටු කරන බවට ජනාධිපතිතුමා තමන්ට පොරොන්දු වූ බව සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා පසුගිය සති අන්තයේ ගාල්ලේ පැවති සම්මන්ත්රනයක දී ප්‍රකශ කළේය.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කළේ 19 සංශෝධනයට වඩා දියුණු මට්ටමකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන බව යි. එලෙස සකස් කරනු ලැබූ 22 ව්‍යවස්ථා සංශෝධනයට සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වී තිබේ.
මේ වනවිට පවතින දේශපාලන පෙළගැසීම් තුළ මෙම සංශෝධනයට වෙනත් වැදගත්කමක් ද ලැබී තිබිණි. යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධවීමට ඇතැම් පක්ෂවල පුර්ව කොන්දේසියක් වුයේ 20 වැනි සංශෝධනයේ තත්ත්වයෙන් ආපසු 19 වෙත යාම යි.එයට දැන් කැබිනට අනුමැතිය ලැබී තිබීම සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහභාගී වීමට ඇතැම් පක්ෂවලට අවශ්‍ය පුර්ව කොන්දේසි සකස් කර දෙන බව පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට හේතු සොයන පක්ෂවලට දැන් ප්‍රබල හොඳ හේතුවක් ලැබී තිබෙන බව යි.
සර්ව පාක්ෂික වැඩ පිළිවෙලකට සම්බන්ධ වන ලෙස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට පසුගිය දා ලිඛිත ආරාධනයක් කළේය. එමෙන් ම ඒ සඳහා පක්ෂ සමග සාකච්ඡා ද අගෝස්තු 2 දා, අඟහරුවාදා සිට ආරම්භ කළේය. එදින ජනාධිපතිතුමා සාකච්ඡා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ලංකා කම්කරු කොන්ග්රසය සහ ජාතික කොන්ග්රසය යන පක්ෂ සමග ය,
සජිත් යන්නෙම නැතිලු
සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතගේ දැඩි ස්ථාවරය වී තිබේ, කෙසේ වෙතත්,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට ආරාධනා කොට තිබුණේ සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සඳහා ය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පිළිගෙන සාකච්ඡා සඳහා සහභාගී වීමට සමගි ජන බලවෙගය තීරණය කළේය.
හර්ෂ තිරය පිටුපස වැඩ
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සඳහා තිරය පිටුපස වැඩ කටයුතු රාශියක් මේ වන විටත් සිදුවෙමින් පවතින බව යි. පවතින ආර්ථික අර්බුදය හමුවේ සියලු පක්ෂ එකඟ විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිලිබඳ වැඩ පිළිවෙළක කෙටුම්පතක් රජයට සහ විපක්ෂයට භාර දෙන ලද්දේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායමක් විසිනි. එම මුල් කෙටුම්පත සංශෝධනය කරමින් එයට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල අදහස් සහ යෝජනා ලබා ගැනීමට තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටින්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂ ද සිල්වා මහතා ය. එය මේ වන විටත් ප්‍රධාන පක්ෂ අතර එකඟ වූ අවම පොදු වැඩ පිළිවෙළක් බවට පත්ව ඇති බව ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ විශ්වාසය යි.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිතුමා කළ ප්‍රතිපත්ති ප්‍රකාශය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත. විචාරකයින් කීවේ එය අංග සම්පුර්ණ රාජාසන කතාවක් බව යි. .රටේ සියලු ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව එහි සඳහන්ව තිබිණි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව යලි අවධාරණය කළ ජනාධිපතිතුමා එය කිසිසේත් තනි පක්ෂයක අදහස් අනුව ක්‍රියාත්මක නොවිය යුතු බව ද , ප්‍රකාශ කළේය. වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා සියලු පක්ෂ අවම වැඩ පිළිවෙළකට එකඟ වීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
අරගලකරුවන්ගේ යෝජනා
පසුගිය කාලයේ සිවිල් සමාජයෙන් සහ අරගලකරුවන්ගෙන් ඉදිරිපත්ව තිබු යෝජනා ගණනාවක් ද ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට ඇතුළත්ව තිබිණි. සියලු පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් සහ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා නියෝජනයක් සඳහා ජන සභාවක් පිහිටුවීම ඒ අතර කැපී පෙනෙන යෝජනා ලෙස සැලකිය හැකි ය.
සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් සඳහා ජනාධිපති සහ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවල දෙවැනි දිනය වූ 3 දා බදාදා පක්ෂ තුනක් සාකච්ඡා සඳහා එක්වීය. දෙමළ ජාතික සන්ධානය , කුමාර වෙල්ගම මහතගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සහ පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ විජය ධරණී ජාතික පෙරමුණ එලෙස සාකච්ඡා සඳහා එක්ව සිටියේ ය. එම සාකච්ඡා බොහෝ දුරට සිදුවුයේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කර ගනිමින් ය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ වනවිටත් පක්ෂ ගණනාවක් එකඟ වී ඇතත් ජනතා විමුක්ති පෙරමුණ බදාදා සවස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ තම පක්ෂය එවැනි ආණ්ඩුවකට සම්බන්ධ නොවන බවයි.
ඒ අනුව සර්ව පාක්ෂික නොවුණත් බහු පාක්ෂික ආණ්ඩුවක් බිහිවීමේ ලකුණු පෙනෙන්නට තිබේ.
සී ජේ
දේශපාලන සතිය
අනිද්දා
