සයිටම් උපාධිධාරීන්ට වෘත්තීය ලියාපදිංචිය – අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

සයිටම් ආයතනයෙන් (මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) වෛද්‍ය උපාධිය ලැබූ සිසුන්ට වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචිවීමට නීතිමය අයිතියක් ඇති බවට අභියාචනාධිකරණයෙන් 2017 ජනවාරි 31 දින ලබාදුන් තීන්දුව තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කෙළේය.

වෛද්‍ය වෘත්තිකයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම ඉදිරිපත් කළ සයිටම් උපාධිධාරිණිය වෛද්‍ය වෘත්තිකයකු ලෙස ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කරන ලදී.

එම සිසුවිය ලියාපදිංචි කිරීම ප්‍රමාද කිරීම මගින් ඇයට කළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් එම පෙත්සම්කාරිය වන දිල්මි සූරියආරච්චි වෙත ගෙවන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කෙරිණි.

ඊවා වනසුන්දර, ප්‍රසන්න ජයවර්ධන, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් සකස් කරන ලද මේ තීන්දුව විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලැබූ සිසුන් වෛද්‍ය සභා පනතෙහි 29 (2) වගන්තිය යටතේ වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි වීමට කිසිදු බාධාවක් නැති බවට එම තීන්දුවෙහි දැක්වේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් දෙන ලද නඩු තීන්දුව අභියෝගයට ලක්කරමින් එම නඩු තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මේ අභියාචන පෙත්සම ගොනු කර තිබුණි. සයිටම් ආයතනය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමැතිවරයා, එහි ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා, අභියාචනාධිකරණයෙහි පෙත්සම්කාර සිසුවිය වන දිල්මි සූරියආරච්චි ඇතුළු හයදෙනකු මෙහි‍ වගඋත්තරකරුවෝ වූහ.

පෙත්සම්කාර සිසුවිය වෛද්‍ය වෘත්තිකයකු ලෙස පිළිගන්නා ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබුණි.

නෙල්කා මැදගෙදර

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *