රවිට පැවරූ නඩුව නීතියට පටහැනියි
බැදුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීමේ චෝදනාව මත හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට රහස් පොලිසිය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුව නීතියට පටහැනි බවට විත්තිය දැක් වූ කරුණු සළකා ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සිද්ධියට අදාළව අධිකරණය විසින් නිකුත් කර ඇති සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (21) නියෝග කළේය.
ඉකුත් 2018/9/18 වන දින අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වැනි වගන්ති ප්‍රකාරව රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබූ නියෝග මෙසේ අත්හිටුවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඒ බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරිය වෙත නියෝග කළේය.
බැදුම්කර කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා බොරු සාක්කි දුන් බව පවසමින් අධිකරණය හමුවේ නඩු පැවරීමට රහස් පොලිසියට කිසිදු නෛතික අයිතියක් නොමැති බවත් ජනාධිපති කොමිසම් සභා පනතේ 24 වගන්ති ප්‍රකාරව කොමිසමට අදාළ කරුණු ඔස්සේ පමණක් නඩුවක් ආරම්භ කිරීමේ බලය ජනාධිපති කොමිසම හමුවේ ඇති බවත් එහි අධීක්ෂණය යටතේ එය සිදු කළ හැකි බවත් එහෙත් දැනට කොමිසම නැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ බොරු සාක්කි දීම සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමට අල්ලස් කොමිසමට හෝ රහස් පොලිසියට කිසිදු අයිතියක් නැති බව පෙන්වා දුන්නේය.
නීතිපතිවරයා විසින් මෙහි දී කරුණු දක්වා සිටි නීතිඥ ලක්මිණි දිල්පාගම මහත්මිය සඳහන් කරනු ලැබුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (5) අ යටතේ රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා වැඩි දුර විමර්ශන සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව විමර්ශන සඳහා අධිකරණයේ සහයෝගය ඉල්ලා අදාළ නියෝග ඉල්ලා ඇති බවය.
කොමිෂන් සභා පනත තමන් විසින් ද අධ්‍යයන නොකළ බව සඳහන් කළ නීතිඥවරිය රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (5) අ වගන්ති ප්‍රකාර බවට සඳහන් කළේය.
මීට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති නීතිඥ ෂවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසුවේ අධිකරණයට ගොනු කරන ලද බී වාර්තාවේ බැදුම්කර කොමිසම් සභා නිර්දේශ මත මේ නඩුව පවරන බවට සඳහන් කර ඇති බවය.
මේ අනුව අධිකරණය විසින් ලබා දුන් නියෝග අත්හිටුවනවාද? නැද්ද ? යන්න සළකා බැලිය යුතු බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවේ අදාළ පාර්ශ්ව වෙත ලිඛිත දේශන ලබන 26 වැනි දිනට ගොනු කිරීමට නියම කරමින් ඉකුත් 2018/9/18 අධිකරණය විසින් ලබා දුන් සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට නියම කළේය.
මේ නියෝග සම්පූර්ණයෙන්ම අවලංගු කරනවාද? යන්න සම්බන්ධ නියෝගය ලිඛිත දේශන ගොනු කිරීමෙන් අනතුරුව මේ මස 26 වැනි දින ලබා දෙන බවට මහෙස්ත්‍රාත්වරයා පාර්ශ්ව වෙත දැනුම් දුන්නේය.
බැදුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දුන් බව පවසමින් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව රහස් පොලිසිය ඉකුත් 14 වැනි දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ මේ නඩුව ගොනු කෙරිණ.
සිරන්ජනි කුමාරි
දිනමිණ

