ජෝසෆ් ස්ටාලින් සමග මාත් කතා කළා ; සඳුදාට ප්‍රශ්නය විසදේවි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

අත් අඩංගුවට පත්ව සිටින ජෝසෆ් ස්ටාලින් මහතා සමග තමා ද කතා කළ බවත්, ඔහු වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට වෘත්තීය සමිති කටයුතු පිලිබඳ ජනාධිපති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් දුන් බවත්, සඳුදා ප්‍රශ්නය විසදෙනු ඇතැයි විශ්වාස කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ නියෝජිත කණ්ඩායමට ප්‍රකාශ කොට ඇත.

තමාට දැනට ප්‍රශ්නයක් නැති බවත්, නීතිඥයින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ජෝසෆ් ස්ටාලින් මහතා පැවසු බව කී ජනාධිපතිවරයා සඳුදා අධිකරණයට අවශ්‍ය ඉල්ලීම් කළ විට අධිකරණයෙන් විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද කී ය.

ස්ටාලින් මහතා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් දී ඇති බව ද ජනාධිපතිතුමා පවසා ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවේ දී දොස්තර රාජිත සේනාරත්න මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා මෙම කරුණු ප්‍රකාශ කොට තිබේ

සාමකාමී අරගලකරුවන් සමග තමා සාකච්ඡා කළ බවත්, ඔවුන්ට කලා කටයුතු ඇතුළු අවශ්‍ය කටයුතු දිගට කරගෙන යාමට කොළඹින් ප්‍රදේශයක් දීමට ද තමා කැමැත්ත ප්‍රකාශ කළ බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *