ආචාර්ය හර්ෂ ද සිල්වා , සජිත්ට එරෙහි වෙයි ; සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ බව කියයි

තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට කිසිසේත් සම්බන්ධ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත නැවත ප්‍රකාශ කළ ද, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බවට තමන් දිගින් දිගට තර්ක කළ බව යි.
වත්මන් ආණ්ඩුවේ ඇමති ධුරයක් භාර ගැනීමට තමන් කිසිදු සාකච්ඡාවක් කර නැති නමුත්, සර්ව පාක්ෂික නැතහොත් බහු පාර්ශවික ආණ්ඩුවක් අවශ්‍ය බව තමන් දිගින් දිගට ප්‍රකාශ කළ බව ඒ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවේ ඇමති ධුරයක් භාරගන්නා බවට පැතිර යන ප්‍රචාරවලට පිළිතුරු ලෙස ඒ මහතා මෙම සටහන තබා ඇත.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා ප්‍රකාශ කළේ තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ හෝ එවන්නක ඇමති තනතුරු භාරගන්නේ හෝ නැති බව යි.
දේශපාලන ගෙම්බන් ලෙස එහාට මෙහාට පනින උදවිය ගැන ජනතා අධිකරණය තීරණය කරනු ඇති බව ඊයේ (27) පැවතී හදිසි නීති විවාදයේ දී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ තවත් පිරිසක් ඉදිරියේ ආණ්ඩුවට සම්බන්ධ වීමට සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
පසුගියදා පැවති ජනාධිපති ඡන්දයේ දී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පක්ෂ තීරණයට පිටු පා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කොට ඇති බව ද කියති.
