ජනාධිපති කාර්යාලය මුදාගැනීමේ නියෝගය රනිල්ගෙන් ; මෙහෙයුම ශවේන්ද්‍රගෙන්

පසුගිය සිකුරාදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගන්නා ලෙස නියෝග කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඒ අනුව එම මුදාගැනීමේ සැලසුම සකස් කොට ක්‍රියාත්මක කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවෙන්න්ද්ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනග ඇති, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්රමුඛ කමිටුවෙන් බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි.
පසුගිය බ්‍රහස්පතින්දා (21) අනුප්‍රාප්තික ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පොලිස් සහ හමුදා ප්‍රධානීන්ට රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කොට ඇත්තේ සිකුරාදා වන විට තමන්ට ජනාධිපති මන්දිරය නිදහස් කර දෙන ලෙස යි.
ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් අල්ලාගෙන සිටීම නිසා ජනාධිපතිවරයාට තම දිවුරුම් දීම පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට සිදු වූ අතර කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.
ජනාධිපති ලේකම් කාර්යාලය නිදහස් කර දෙන ලෙස නියෝගය ලැබීමෙන් පසු එම මෙහෙයුම සැලසුම් කළ හමුදා පොලිස් නායකයින් නිදහස් කරගත යුතු ප්‍රදේශය, එහි ඇති ඉවත් කළ යුතු අට්ටාල සහ කුඩාරම් ආදීය පිළිබඳව මෙන් ම එහි අවම පිරිසක් රැඳී සිටින අවස්ථාව ආදිය ද බුද්ධි තොරතුරු ඇසුරින් තීරණය කොට තිබේ.
අරගලකරුවන්ට සංවිධනය වීමට හෝ පිරිස් කැඳවා ගැනීමට හෝ කාලය නොදී ඉක්මන් ප්‍රහාරයකින් ප්‍රදේශය මුදා ගත යුතු බව එහි දී තීරණය වූ බව කියති.
අරගලකරුවන්ට පිරිස් කැඳවාගෙන සංවිධානය වීමට ඉඩ ලැබුනහොත් සිදුවිය හැකි හානිය වැඩි වන බව එහි දී සැලකිල්ලට ගෙන ඇති බව ද වාර්තා වෙයි.
අරගලයේ බොහෝ නායකයින් එම රාත්‍රී කාලයේ එම ස්ථානයේ නොසිටි අතර එහි රැඳී සිට ඇත්තේ ද සුළු පිරිසකි.
පොලිස් සහ හමුදා ආරංචි මාර්ග කියන්නේ මෙම ක්ෂණික ප්‍රහාරය මගින් හානි අවම කරගත හැකි වූ බව යි.
කෙසේ වෙතත්, එහි දී කළ පහරදීම් ගැන පොලිසියට , හමුදාවට සහ ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වී තිබේ.
