ලංවීම වැඩකට නැති විදුලි ජනක යන්ත්‍ර 50 මිලට අරන්


 

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310 ක් වැයකර වැඩ නොකරන( ක්‍රියාකාරී නොවන ) විදුලි ජනක යන්ත්‍ර 50ක් මිලදී ගෙන කර ඇතැයි පැවසෙන දූෂණයක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව ) දැඩි අප්‍රසාදය පළවී ඇත.

කෝප් කමිටුවේ දී හෙළිවී ඇති තොරතුරු අනුව මෙම ක්‍රියාකාරී නොවන විදුලි ජනක යන්ත්‍ර 50 මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ 2018 සහ 2019 කාලවලදීය.

මේ තොරතුරු අනාවරණය වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ ආයතනයේ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (10) වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විට ඒවා ක්‍රියාකාරී තත්වයේ නොපැවතුණ බව කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු පැවසූහ.

මේ නිසා මෙම මිලදී ගැනීම්වලදී තත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ ඒ සඳහා වියදම් වූ මිල ගණන් සම්බන්ධයෙන් ඔවුහු විදුලි බලමණ්ඩලයේ නිලධාරින්ගෙන් කරුණු විමසුහ.

මෙහිදී මණ්ඩලයේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙම මිලදීගැනීම්වලදී නිලධාරීන් විසින් පරීක්ෂාවක් කරනු ලැබ ඇති වැදගත්කම නම් බවයි.

කෙසේ වෙතත් අද වන විට මෙම ජනක යන්ත්‍ර ක්‍රියාකාරීව පවතින බවද ඔවුන් සඳහන් කර ඇත.

මෙම යන්ත්‍ර දැන් ක්‍රියාත්මක වන්නේ විශාල වියදමක් දරා කළ අලුත්වැඩියාවකින් පසුව හෙයින් ක්‍රියාකාරී නොවන යන්ත්‍ර මිලදී ගත්තේ ඇයි දැයි විධිමත් විමර්ශනයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් සති 2 ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩල ප්‍රධානීන්ට නිර්දේශ කළේය.

එසේම එල්.ටී.එල් සමාගම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සතු අයිතිය පිළිබඳවද එම සමාගම විගණනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ දී රාජ්‍ය විගණනයෙන් ඉවත්වීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් තිබේද යන්න පිළිබඳවද කෝප් කමිටු සභාපතිවරයා විමසා ඇත.

මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සමාගමේ කොටස් වලින් සියයට 63 ක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමි වන බවයි.

වැඩිම කොටස් ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව තිබියදී තාක්ෂණික කරුණක් මත එම ආයතනය රාජ්‍ය විගණනයෙන් ඉවත් කර ඇති බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් මේ පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත කෝප් කමිටුවට බාර දෙන ලෙසද කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා විදුලිබල මණ්ඩලයට නිර්දේශ කළේය.

තවද ඇඹිලිපිටිය එස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

එම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේදී නව ගිවිසුම් වලට එළඹීම සම්බන්ධයෙන්ද කෝප් කමිටු සභාපති වරයා ප්‍රශ්න කළේය.

මේ සඳහා නිෂ්චිත පිළිතුරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ලැබී නොමැත.

මේ අනුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

එසේම දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳවද සාකච්ඡාවී ඇති අතර 2022 – 2041 වර්ෂය සඳහා සකසා ඇති නව ජනන සැලැස්ම පිළිබඳ තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලැබී නැති බව මෙහිදී සඳහන්විය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ 2018 – 2037 වර්ෂ සඳහා සකස් කළ ජනන සැලැසමට අදාළ තොරතුරු පමණක් බවද තොරතුරු හෙළි විය.

මේ අනුව හැකි ඉක්මනින් නව ජනන සැලැස්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් දුන්නේය.

දේශපාලන අධිකාරිය වෙනස්වීම මත ප්‍රතිපත්ති වෙනස් වුවද ජනන සැලැස්ම වෙනස් නොවී පවත්වාගෙන යාම වැදගත් වන බව චරිත හේරත් මහතා කීවේය.

මීට අමතරව ඉන්දියාවේ “අදානි” සමාගම සමග එළඹී ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳවද ඒ සඳහා සිදුකරන ශක්‍යතා අධ්‍යනය පිළිබඳවද, හදිසි බලශක්ති මිලදීගැනීම් පිළිබඳව සහ පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා තැන්පතු සඳහා පොළිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, සාගර කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවුෆ් හකීම්, ආචාර්ය නාලක ගොඩහේවා, ජගත් පුෂ්පකුමාර, ඩී.වී. චානක, නලීන් බණ්චාර, ප්‍රේම්නාත් සී දොලවත්ත, ඉන්දික අනුරුද්ධ, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *