පොහොට්ටුවේ බැසිල් පිල 30 කට අඩුවෙයි

ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීම තහනම් කරන 21 සංශෝධනයේ විධිවිධානවලට එරෙහි වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධුරය ආරක්ෂා කර දිය යුතු බවට ප්‍රකාශ කරමින් ක්‍රියාත්මක වන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම තිස් දෙනෙකුට වඩා අඩු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය තුළ එලෙස බැසිල් ආරක්ෂා කිරීමට යෑම තවත් විනාශයක් කැඳවා ගැනීමක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇතැයි කියති.
ද්විත්ව පුරවැසි වගන්තිය ඇතුළත් 21 සංශෝධනය පරජය කිරීම ගැන සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කැඳවා තිබු රැස්වීමකට සහභාගී වී සිටියේ 21 දෙනෙකු පමණක් බව ද වාර්තා වෙයි.
21 වැනි සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් එනම් මන්ත්‍රීවරුන් 150 කගේ ඡන්ද අවශ්‍ය වෙයි. එය වැලක්වීමට නම් මන්ත්‍රීවරුන් 75 කට වැඩි පිරිසක් විරුද්ධව ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ අවශ්‍ය වෙයි. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විරුද්ධ වීම හෝ ඡන්දය නොදීම හෝ මගින් එය කළ හැකි වනු ඇතැයි බැසිල් පිළේ අපේක්ෂාව වී ඇතැයි කියති.
