බැසිල් ක්‍රියාත්මකයි ; 21 සංශෝධනය සතියකින් කල් යයි !

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 සංශෝධනය ඉවත් කොට 19 සංශෝධනයට සමාන ලෙස ජනාධිපති බලතල සීමා කිරීම සඳහා ගෙන එන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයාට බලපෑම් කිරීම නිසා එය ඉදිරිපත් කිරීම සතියකින් කල් දමා ඇති බව වාර්තා වෙයි.

ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමට ඉඩ නොතැබීමේ වගන්ති මෙයට ඇතුළත් බැවින් බැසිල් රාජපක්ෂ මහතා එය වැලක්වීමට ප්‍රබල ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ලවා ජනාධිපතිවරයාට බලපෑම් කිරීම ඒ අනුව සිදු වුවක් බවත් , දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට යයි කියමින් එම සංශෝධනය ඉදිරිපත් කිරීම සතියකින් කල් දමා තිබේ.

ඒ අනුව අද දින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි සංශෝධනය ඉදිරිපත් නොවනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කොට ඇත්තේ අදාළ සංශෝධනයට සහය දෙන්නේ ද යන්න පිළිබඳව පක්ෂය වෙන ම තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, රාජපක්ෂවරුන් ඉවත්කිරීමට විශාල මහජන මතයක් තිබෙන මොහොතක බැසිල් රාජපක්ෂ මහතා රැක ගැනීමට විශාල මන්ත්‍රී පිරිසක් ඉදිරිපත් නොවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *