ඇමැතිවරයා  සහ වෛද්‍යවරයා – අනුර කේ එදිරිසූරිය  

 

ප්‍රතිකාර ගැනීමට පැමිණි දේශපාලන චරිතයකට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයකු සම්බන්ධ සිදුවීම මේ දිනවල මහත් ආන්දෝළනයකට හේතුවී තිබේ. ඇතමකු ඊට පක්ෂ වන අතර විරෝධය දක්වන්නන් ද සිටිති.

විරෝධය දක්වන අයගේ මතය වෛද්‍යවරයා ගේ හැසිරීම ආචාරධාර්මික වරදක්ය යනන්නය. යුද සමයේ ප්‍රතිවාදී ගරිල්ලා භටයන්ට පවා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ආණ්ඩු පක්ෂයේ දේශපාලන චරිතයකට වෙදකම් නොකිරීම වරදකැයි ආචාරධාර්මිකව කරුණු දක්වන්නන් කියති.

සමස්තයක් ලෙස ගත් කල ආචාරධාර්මික භාවය ගැන කතා කළ හැක්කේ ආචාරධාර්මික තත්ත්වයක් තුළය. එනම් වෛද්‍යවරයාගෙන් ආචාරධාර්මික වන්නට ඉල්ලා සිටින ආකාරයටම දේශපාලකයා ගෙන් ද ආචාරධාර්මික භාවයක් අපේක්ෂා කළ යුතුය යන්නය. මේ මොහොතේ දේශපාලන චරිත විශේෂයෙන්ම ආණ්ඩුව හා සම්බන්ධ දේශපාලකයන්  එවැනි ආචාරධාර්මික බවක් පෙන්නුම් කරන්නේද යනු ගැටලුවකි. ඉන්ධන පෝළිම් , ඩොලර් හිගය, ⁣බෙහෙත් හිගය ආදි මේ සියල්ලේ ආරම්භය දේශපාලකයන් ආචාරධාර්මික නොවීම බව අතිශය පැහැදිලිය.

ධූර වලින් ඉවත් වූ ඇමැතින් පවා ඇමැති වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බව කියති. ඇතැම් ජනමාධ්‍ය පෙන්වා දෙන ආකාරයට ඔවුන් අතරින් ඇතමකු නිල නිවාස නැවත බාරදී නැත. රටේ මේ මොහොතේ ඇතිවී තිබෙන සියලු දුෂ්කරතාවලට හේතුව ආණ්ඩුවේ දේශපාලන වැරදි තීරණ වන නමුත් ඔවුන් කිසිවකු ඒ ගැන තැකීමක් නැත. මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කළ ප්‍රකාශ ඔහුගේ මෑත කාලීන හැසිරීම කොතරම් ආචාර ධර්ම විරෝධීද යන්නට උදාහරණයකි. කප්පම් , අල්ලස්, ආදිය සම්බන්ධයෙන් ද ඔහුගේ නම කියැවේ. රටේ පවතින ආර්ථික අර්බුදයට හෝ එකී අර්බුදය හේතුවෙන් පැනනැගී ඇති ජනතා විරෝධය පිළිබඳ සංවේදී වන්නේ නම් දේශපාලකයකුට මේ මොහොතේ ඇමැතිකමක් දරමින් සිටින්නට පුළුවන්කමක් තිබිය නොහැකිය. තව දුරටත් ඇමැති තනතුරු දරන්නකු යනු ආචාරධාර්මිකව පිරිහුණු තැනැත්තකුය යන්නය. එල්ටීටීඊ සෙබළුන් ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කතා කරන තැනැත්තන්ට කිය යුත්තේද සැබෑ වෛද්‍යවරයකු නම් කළ යුතු වන්නේ එල්ටීටීඊ සෙබළුන් ට ප්‍රතිකාර කරමින් මැති ඇමැතින්ට ප්‍රතිකාර නොකර සිටීම බවය. කැරලි ගැසූ තරුණයන්ට දොස් පවරන්නට කටයුතු කරන නමුත් ගරිල්ලා සටන් වලට දක්කා මෙරට තරුණයන් දහස් ගණනින් මරා දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ ද දේශපාලකයන් වන නිසාය. ප්‍රසන්න රණතුංග ආචාරධාර්මික දේශපාලනයක යෙදෙන්නේනම් කප්පම් සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නට හැකියාවක් නැත. ඔහු ආචාරධාර්මික තැනැත්තකු නම් මේ මොහොතේ ඔහුට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් පොලිසිය බාර ඇමැති වශයෙන් කටයුතු කරන්නට හැකියාවක් නැත. ආණ්ඩුව ජනතාවට එරෙහිව කර ඇති වැරදි වෙනුවෙන් ඔහු එක් වරක් ඉල්ලා අස්විය යුතුය. අරගලකරුවන් කෙරෙහි පොලිසිය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් වගකීම බාර ගෙන ඔහු තව වරක් ඉල්ලා අස් විය යුතුය. නිරායුද උද්ඝෝෂකයන්ට පොලිසිය වෙඩි තබන විට ඔහු ආචාරධාර්මික වූයේ නැත. අරලියගහ මන්දිරය අසල පදිකවේදිකාවේ පොලිසිය  බස් ගාල් කරන ව්ට ප්‍රසන්න විරුද්ධ වූයේ නැත. අවිහිංසාවාදී උද්ඝෝෂණ වල⁣ට පොලිස් ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන පොලිසිය වලකන්නට පොලිස් ඇමැති වශයෙන් ඔහු කටයුතු කළේ නැත. එවැනි හැසිරීම් අනුමත නොකරන බව පෙන්වා දෙන්නට කටයුතු කිරීම නිදහස් පුද්ගලයන්ගේ වගකීම වන්නේය.⁣ වෛද්‍යවරයා තමන්ගේ සීමාව තුළ ඒ බව පෙන්වා දී තිබේ. ජනතා ප්‍රශ්න ගැන උනන්දුවක් අවබෝධයක් නොමැති ඔල මොළ දේශපාලකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නැත. එසේ නොකරන්නේ නම් මේ දේශපාලකයන් තමන් වරදක් කරමින් සිටින බව කිසිදා වටහා ගන්නේද නැත. රටේ සියලුම වෛද්‍යවරුන් ඉහත කී වෛද්‍යවරයා අනුගමනය කරන්නේ නම් දේශපාලකයන්ට තමන් කරන කියන දේ පිළිබඳ මීට වඩා කල්පනාකාරී වන්නට සිදුවනු ඇත. පසුගිය දා විරෝධතාකරුවන් කීවේ රටේ ප්‍රශ්නයට උත්තර නොදී පාර්ලිමේන්තුවෙන් පිටතට එන්නට ඊළඟ සභා වාරයේ මන්ත්‍රී වරුන්ට ඉඩ නොදෙන බවය. එය බලගතු කොන්දේසියකි. අපේ ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදී කඩයට පිරවුම් හලට පාරට නො එනු වැනි කොන්දේසියක් මන්ත්‍රී වරයාට පණවන්නට ජනතාවට පුළුවන. වෛද්‍යවරයා අනුගමනය කළ පිළිවෙත අනුව යමින් රටේ අනෙකුත් වෘත්තිකයන් සහ මහජනතාවද ආචාරධාර්මික නොවන  දේශපාලකයන්ට සේවා සහ භාණ්ඩ සැපයීම ඔවුන් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇරිස්ටොෆානිස් ගේ ලිසිස්ට්‍රාටා නාට්‍යයේ වැනි තත්වයක් උද්ගතව පාලකයන්ට තමන්ගේ හැසිරීම ගැන බරපතළ ලෙස  සිතන්නට සිදුවනු ඇත. ආචාරධාර්මික රටක් ගොඩනඟන්නට නම් පළමුවෙන්ම රට තුළ දේශපාලනය ආචාරධාර්මික කළ යුතුය

ඉන් පසුව අන් සියලු සංස්ථා ආචාරධාර්මික වනු ඇත. එසේ නොවන්නේ නම් ආචාරධාර්මික දේශපාලන මැදිහත් වීමක් ඔස්සේ රට ආචාරධාර්මික කරන්නට පුළුවන .

පවතින දේශපාලනයේ අනාචාරධාර්මික බව පෙන්නුම් කරන නවතම සිදුවීම ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ආණ්ඩුවේ මැරයන් එල්ල කළ ප්‍රහාරයයි. ඒ ප්‍රහාරය සිදුව ඇත්තේ පොලීසියේද සහය ඇතිව යන බව පොලිසිය එහිදී හැසිරුණු ආකාරය අනුව පැහැදිලිය. මයිනා ගෝ ගමට ප්‍රහාර එල්ල කළ පිරිස ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් මගින් නවතන්නට කටයුතු නොකළ පොලිසිය ගෝඨා ගෝ ගමට ඇතුළු වීමට පෙර ඔවුනට ජල හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේද නැත. ඒ වෙනුවට ප්‍රහාරකයනට අරගල බිමට ඇතුළු වීමට ඉඩ දී අරගලය කඩාකප්පල් කරන්නට පොලීසිය සහය දුන් බවට සැකයක් නැත. සාමකාමී උද්ඝෝෂණ මැර බලයෙන් හෝ පොලිස් ප්‍රහාර මගින් මඩින්නට ආණ්ඩුව කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ රටේ ප්‍රශ්නය නිරාකරණය කරන්නට කටයුතු කරන බවට ජනාධිපතිවරයා නීතිඥ සංගමයට පොරොන්දු වී තිබියදීය. ජනාධිපති ගේත් අගමැති ගේත් ආණ්ඩුවේත් අනාචාරධාර්මික බව මේ සියල්ලෙන් පැහැදිලිය. එවැනි තත්ත්වයක ඇමැතිට වෙදකම් නොකළ වෛද්‍යවරයාගේ ආචාරධාර්මික බව ගැන කතා කිරීම මේ මොහොතට අදාළ නැත.

 අනුර කේ එදිරිසූරිය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *