ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බලකරන විශ්වාසභංගයක් ; සුමන්තිරන් ගෙනෙයි ; එජාපයෙන් සහය

 

ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය බිඳවැටී  ඇති නිසා ඔහුට ඉල්ලා අස්වන්නට බලකෙරෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සනින් භාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසින් කෙටුම්පත් කොට ඇති අතර එයට සහය දෙන බව එක්සත් ජාතික පක්ෂය ද ප්‍රකාශ කොට ඇත.

ජානාධිපතිවරයා ඉවත්කිරීමේ දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමේ ක්‍රියාවලියට වසරකට වැඩි කලක් සහ තුනෙන් දෙකක චන්දයක් අවශ්‍ය වන බැවින් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සකස් කොට තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ මෙය සකස් කොට ඇති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා කියයි.

මෙයට තම සහය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් ප්‍රකාශ කොට ඇත.

මෙම විශ්වාස භංගය සම්මත කිරීමෙන් ජනාධිපති වහාම ඉවත් කිරීම කළ නොහැකි වුව ද, ජානධිපතිට ඉල්ලා අස්වීමට කෙරෙන බලපෑම මෙමගින් වඩාත් ශක්තිමත් වන්නේය යන්න මෙයට සහය දෙන කණ්ඩායමේ මතය වී තිබේ.

පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති ජනාධිපතිවරයකුට තව දුරටත් බලයේ සිටිය හැකි ද යන ප්‍රශ්නය මෙමගින් මතු කරන අතර ජනාධිපති ඉල්ලා අස් විය යුතු බවට රටපුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ එම ප්‍රශ්නය වඩාත් බරපතළ ලෙස මතු කළ හැකි වනු ඇති බව  විශ්වාස කෙරෙයි.

මෙම විශ්වාස භංගය සම්මත වීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ප්‍රමාණවත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *