ආණ්ඩුව ම වැඩ කරගෙන යන්න – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

 

ආණ්ඩුව සඳහා කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරු 29 ක් පත්කොට ඇති බවත්, ඒ අනුව රටේ මේ වනවිට ආණ්ඩුවක් ඇති බවත්, ඒ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන් ම රජය ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද  විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ය.

මෙම රජය තව දුරටත් වලංගු රජයක් ලෙස නොපිළිගන්නා බවටත්, ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස් වී අන්තර වාර පාලනයකට රට භාරදිය යුතු බවටත්, විශාල ජන මතයක් රටේ පවතිද්දී විපක්ෂ නායකවරයා කීවේ රජය පාර්ලිමේන්තුවට විවෘත ව දැනුම් දී තම වැඩ කටයුතු කරගෙන යා යුතු බවයි.

රජය මූල්‍ය අරමුදල සමග කළ  සාකච්ඡා වල ප්‍රගතිය ද ඉදිරිපත් කළ යුතුව තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරුන් පත් කර තිබියදී  මාර්ග සිතියම ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

“රටේ ඩොලර් හිඟයක් තිබෙනවා කියා දැන් රටේ ඉඩම් විකුණන්න යනවා.ආණ්ඩුවේ  සිතියම මේකද?අද මේ ආණ්ඩුවට කිසිම සිතියමක් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා අස්විය යුතු බව කියනවා.තවත් පිරිසක් අගමැති අස්විය අස්විය යුතු බව කියනවා  .ආණ්ඩුවේ මාර්ග සිතියම මේකද?” යි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

අන්තර් වාර පාලනයකට සම්බන්ධ නොවන බව සහ සහය නොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

විපක්ෂයට එක් වූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම කියන්නේ විපක්ෂ නායකවරයාගේ මෙම ක්‍රියා කලාපය ආණ්ඩුවට දිගට ම බලයේ සිටින්නට අනියමින් ආධාර කිරීමක් බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *