ජනාධිපති ධුරය අහෝසි කරන ව්‍යවස්ථා කෙටුම්පත සුදානම් ; ලබන සතියේ මැති සබයට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, විපක්ෂයේ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂවල ද සහය ලබා ගනිමින් මේ වන විට කෙටුම්පත් කොට අවසන් බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

එබඳු සංශෝධනයකට සහය දීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් මේ වන විට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත්, එය ලබන සතියේ ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.

විසිවැනි සංශෝධනය ඉවත්කොට 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ සරල සහ ඉක්මන් ක්‍රියාවලියක් පිළිබඳව මුල දී යෝජනා වී තිබුන ද තවත් පිරිසකගේ මතය වී තිබුනේ 19 සහ 20 දෙකේ ම අඩුපාඩු මගහරින නව සංශෝධනයක් අවශ්‍ය බවයි. එවැන්නක් ද ඉක්මනින් සම්මත කරගත හැකි බව එම පිරිස ගේ මතය වී තිබේ.

ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කොට ඇති අතර එය පිටු 40 ක පමණ ලියවිල්ලක් බව දැනගන්නට ඇත.

එය සම්මත කළ විට විධායක ජනාධිපති ක්‍රමය මෙන් ම තනි පුද්ගලයකු අත විශාල බලයක් ඒකරාශී වීම ද අවසන් වන බව එය සැකසීමට සහභාගීවුවන්ට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි.

ස්වාධීන කොමිසන් සභා ද මෙමගින් වඩාත් ශක්තිමත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *