සියලු ප්‍රශ්නවලට එකවර විසඳුම් සෙවීම අනතුරුදායක ය – කීර්ති ගොඩිගමුව

 

අද පවතින්නේ  සංකීර්ණ එමෙන්ම සංයුක්ත අර්බුදයක් බව පැහැදිලි ය. දැනට වසර දෙකකට පෙර ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹුනු මෙම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ජනතා වෛරයට පාත්‍රවීමට හේතු වූ කාරණා විශ්ලේෂණය කිරීම මෙය තේරුම් ගැනීම සඳහා ප්‍රවේශයක් සපයයි.’

මෙම පාලන තන්ත්‍රය කරවන්නන් බලයට පත්වීම සඳහා භාවිත කළ විනාශකාරී උපක්‍රම සහ ව්‍යාජ දේශප්‍රේමය  , බලයට පත්වූ පසු ජනජීවිතයේ  සෑම අංශයක් ම වැරදී ලෙස කළමණාකරනය කිරීම ඇතුළු කරුණු අර්බුදයට හේතු වුව ද, වැරදි ලෙස ආර්ථිකය කළමණාකරනය කිරීම නිසා ඇති වූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල හිඟය, ඒවායේ  මිල ඉහළ යාම මෙම අර්බුදය මෙතරම් කෙටි කලක දී පැනනැඟීමට හා උත්සන්න වීමට හේතු වූ බව ඉතා පැහැදිලි ය. එනම් දැනට පවතින අර්බුදයේ මූලය ආර්ථික හේතු බව ද පැහැදිලි ය. එහෙත් එය දැන් වන විට දේශපාලන, සමාජීය හා අනෙකුත් අංශ කරා ද පැතිරී ඇති අතර ඉදිරියේ දී ආහාර හා බෙහෙත් හිඟවීම හරහා මානුෂීය ඛෙදවාචකයක් දක්වා වර්ධනය වීමට ඉඩකඩක්ද පවතී.

මෙම  අවස්ථාවේ  අප ජනසමාජයක් ලෙස අවධානය යෝමු කළ යුත්තේ  මෙම අර්බුදයේ  මූලය හැඳිනගැනීමටත් අනතුරුව අදාළ හේතු සමනය කිරීමටත් ය. මෙම අර්බුදයට පිලියම් යෙදීමට ජනතාවට නො හැකි අතර එය පවතින ආණ්ඩුවේ   කාර්යභාරය බව වටහාගත යතු ය. එය ආණ්ඩුව විසින් නොකරන්නේ නම් ඒ සඳහා බලකිරීම විපක්ෂය සතු වගකීමකි. එහෙත් මෙම  කටයුතු දෙක ම සිදු නොවන්නේ නම් ඒ සඳහා ජනතාව මැදිහත් වීම අනිවාර්ය වන අතර මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ද එය යි. මෙය විශේෂ අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැක්කේ  දේශපාලන පක්ෂ ඉතා පටු මානසික තත්ත්වයකින් හැසිරෙද්දී ජනතාව ඊට ඉදිරියෙන් සිට අරගලයේ  නිරත වීම නිසා යි.’

අර්බුදය සමනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් විසඳුම් අවශ්‍ය වෙයි. ඒ අනුව දැන් අවශ්‍ය වන්නේ  ක්ෂනික ක්‍රියාකාරකම් මඟින් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම යි. මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ගැන කල්පනා කිරීම සඳහා එතෙක් රට සහ රාජ්‍ය ස්ථායීව පවත්වාගෙන යෑම මෙන්ම අවම හානි යටතේ  පවත්වාගෙන යෑමද වැදගත් ය. එබැවින් මෙම  අවස්ථාවේ  වැදගත් වන්නේ  පළමුව ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා දේශපාලඥයින්ට බලකිරීම යි. ඒ මන්ද යත් මෙම ආර්ථික අර්බුදය උත්සන්න වීම හරහා ඇතිවිය හැකි සමාජ ව්‍යුහයේ  බිඳවැටීම සහ රාජ්‍යයේ  බිඳවැටීම යටතේ සිදුවිය හැකි හානිය හා එවැනි අවස්ථාවක ඇතිවිය හැකි බලහුවමාරුවල ප්‍රථිඵල ඉතා කටුක මෙන් ම යථාවත් කිරීමට කල්ගතවන ආකාරයේ  ඒවා වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. එබැවින් මෙම  අවස්ථාවේ  ප්‍රමුඛ කාර්යය වන්නේ  රාජ්‍යය බංකෙලොත් වීමට නොදී රැකගැනීම යි.’

පවතින ආණ්ඩුව බලයට පැමිණීම සඳහා සහ ඉන් පසුව මෙතෙක් දක්වා විවිධ ක්ෂේත්‍රවල සිදුකළ ඉතා පහත්, මංකොල්ලකාරී සහ අපරාධකාරී ක්‍රියා පිලිවෙත නිසා විශේෂයෙන් ම මුග්ධ ආර්ථික ප්‍රතිපත්ති, අධිකරණ ක්ෂෙත්‍රයේ  සිදුකළ අකටයුතුකම් සහ දේශපාලනික වශයෙන් සිදුකළ රැවටීම් ආදිය හේතුකෙටගෙන මේ  වනවිට ජනතාවට විඳින්නට සිදුවී ඇති දුක්ගැහැට සහ ඉඡචා භංගත්වයේ සීමා ඉක්මවා යෑම හරහා ඉස්මතු වූ ජනතා කෝපය මේ  වනවිට විවිධ ආකාරයෙන් වාන්දමමින් පවතී. මෙය පක්ෂ දේශපාලනය අතික්‍රමනය කරමින් ස්වයංව ගොඩනැගුනු සහ පවත්වාගෙන යන ක්‍රියාවලියක් බව හඳුනාගැනීමට පුලුවන.’

එය  එසේ  වීමට හේතු වශයෙන් දැක්විය හැක්කේ  කිසිම දේශපාලකයෙක් පිළිබඳව ජනතාවට විශ්වාසයක් නොමැති වීම යි. මෙවැනි අවස්ථාවක මෙවැනි දේශපාලකයන් සමඟ දේශපාලන වෙනසකට උත්සාහ කිරීම ද ඉතා අනතුරුදායක ක්‍රියාවක් සේම එවැනි ක්‍රියාවකින් ලබාගත හැකි හොඳ ප්‍රතිඵලයක් ගැන ඇති විශ්වාසය ද අවමය. මක්නිසාද යත් මෙම අවස්ථාවේ බලයට පත්විය හැකි විකල්ප පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෝ  ගැන ජනතාවට විශ්වාසයක් ගොඩනැගී නොතිබීම යි. අමතර වශයෙන් මෙම අර්බුදයේ  මුල ආර්ථිකය කළමණාකරනයේ බිඳවැටීම බැවින් ද, දැනට රට වැටෙමින් පවතින ආර්ථික අගාධයේ  ගැඹුර වැඩිවන තරමට රාජ්‍යයේ  අස්ථාවරභාවය වැඩිවන බැවින් ද, සිදුවිය හැකි අනතුරේ බරපතළභාවය අවම කරගැනීම සඳහා ද පවතින ආණ්ඩුවට අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරන සිදුකිරීම සඳහා බලකිරීම මේ අවස්ථාවේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කරුණකි.’

ඒ හැර සියලුම අර්බුදවලට එකවර විසඳුම් සොයන්නට යෑම අනතුරුදායක ක්‍රියාවක් විය හැකිය.

කීර්ති ගොඩිගමුව

Photo – Groundviews

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *