සජිත් බෑ කියූ අන්තර් වාර පාලනයේ වගකීම් ගන්න චම්පික ඇතුළු සජබ පිරිසක් සුදානම්

අන්තර්වාර පාලනයකට සම්බන්ද නොවන බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ කියා සිටිය දී, පාටලී චම්පික රණවක මහතා ප්‍රමුඛ සජබ කණ්ඩායමක් අන්තර් වාර පාලනයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර, එබඳු පාලනයක වගකීම් භාර ගැනීමට ද සුදානම් බව ප්‍රකාශ කොට ඇත.

එමෙන් ම කවුරුන් හෝ නිර්භයව එයට නායකත්වය දෙන්නේ නම් එයට සහාය දීමට නොපැකිලෙන බව ද රණවක මහතා එහිදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ දුෂිතයන් සමග ආණ්ඩුවකට සහභාගී නොවන බව සහ මහජන ඡ්න්දයෙන් මිස වෙනත් කිසිදු ආකාරයකින් බලය ලබා ගැනීමට සුදානම් නැති බව යි.

කෙසේ වෙතත්, චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකය ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේ සියලු පක්ෂ සම්බන්ධ වන අන්තර වාර පාලනයක් පිහිටුවීම අවශ්‍ය බව සහ අන් අය කැමති නම් එහි ප්‍රධාන වගකීමක් භාර ගැනීමට වුව ද චම්පික රණවක මහතා සුදානම් බවයි.

එමෙන් ම , සජබ ප්‍රබලයකු වන හරීම් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ අර්බුදය හමුවේ විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව ක්‍රියා කරන වගකීම් විරහිත ආකාරය පිළිබඳව තමන් ලජ්ජාවට පත්වන බවයි. සියලු දෙනා වගකීම් සහගතව ක්‍රියා කරමින් වත්මන් අර්බුදයෙන් රට ගොඩ ගැනීමට වගකීම් ගත යුතු බව ඒ මහතා කී ය.

කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාස මහතා උත්සහ දරමින් සිටින්නේ පාර්ලිමේන්තුව තුළ ගැටුම් වැඩි කරමින් අන්තර් වාර පාලන උත්සාහය කඩා කප්පල් කිරීමට බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා මාර්ගවලට සමගි ජන බලවේගය තුලින් ම විරෝධය ප්‍රකාශ වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *