ආර්ථිකය එකවර ආපසු හරවන්න කාටවත් බෑ – මහ බැංකුවේ නව අධිපති නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අද තිබෙන තත්ත්වය එකවර ආපසු හරවන්න කිසිවෙකුට බැරි බවත්, පළමුවෙන් කළ යුතු වන්නේ මහ විනාශයකට යන ගමන නතර කර ගැනීම බවත්, එය කළ හැකි වන බව තමන්ට විශ්වාශ බවත්, මහ බැංකුවේ නව අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආර්ථිකය අද පවතින්නේ මහා ප්‍රපාතයකට ඇදී යන වාහනයක් ආකාරයෙන් බවත්, පළමුවෙන් කළ යුත්තේ තිරිංග යොදා එය නවතා  ගැනීම බවත් ඒ මහතා කීය. ආර්ථිකය යථා තත්ත්වයට ගන්නට  කාලයක් ගතවිය හැකි බවත්, ජනතාවට ටික කලක් එම පීඩා විඳ දරා ගැනීමට සිදුවන බවත්, කී ඒ මහතා කළ නොහැකි දේ කියන්නට තමන්ට නොහැකි බව ද කී ය.

ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා දේශපාලන සහ සමාජ ස්ථාවර භාවය අවශ්‍ය බවත්, මේ මොහොතේ එම තත්ත්වය නැති බවත් කී මහ බැංකු නව අධිපතිවරයා එම ප්‍රශ්න විසඳීම දේශපාලන අධිකාරිය විසින් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ භාර ගනිමින් නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් පොලී අනුපාත ඉහළ දැමීම නිවේදනය කිරීමට ඊයේ සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපතිතුමා අනුමැතිය දී මාසයක් ගත වී ඇතත්, ඒ සඳහා මහ බැංකුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවයි.

රටේ ණය පොලී අනුපාතිකය පදනම් අංක 700 කින් ඉහළ දැමීමට මහ බැංකුව ඊයේ ක්‍රියාකළ අතර ඒ අනුව පොලී අනුපාතය සියයට 13.5 – 14.5 දක්වා ඉහළ යන බව දැනුම් දී ඇත.

ඩොලරය නිදහස් කිරීමත් සමග මෙලෙස පොලී අනුපාත ඉහළ දැමිය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී තිබුන  ද මහ බැංකුව මෙතෙක් ඒ සඳහා පියවර ගෙන නොතිබිණි.

පොලි අනුපාත ඉහළ නොදැමීම රුපියල වේගයෙන් අව ප්‍රමාණ වීමට හේතු වූ බවත්, දැන් පොලී අනුපාත ඉහළ දැමීම නිසා ඩොලරයේ මිල තවත් ඉහළ යාම පාලනය විය හැකි බවත්, ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *