මේ තිබෙන තත්ත්වයෙන් අයි එම් එෆ් ණය ගන්නත් බැහැ – මහ බැංකු අධිපති, භාණ්ඩාගාරයේ ලේකම් කියයි

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉක්මන් ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් නැති බව අලුතින් පත් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු ප්‍රකාශ කරති.

ඔවුන් කියන අන්දමට එයට හේතු වී ඇත්තේ ලංකාවේ දැනට ඇති ණය තිරසාර නොවන බව පසුගියදා මුල්‍ය අරමුදල නිකුත් කළ අධ්‍යයන වාර්තාව මගින් නිගමනය කොට තිබීම යි. එලෙස ණය තිරසාර නොවන තත්ත්වයට පත් රටකට ණය දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිළිගත් නීති අනුව හැකියාවක් නැත. ඔවුන්ගෙන් ණය ලබාගත හැකි වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගත් පසුව පමණකි.

ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම ද කල් ගතවන ක්‍රියාවලියකි. එබැවින් ඉදිරි මාස කිහිපයේ විශාල මුදල් ප්‍රශ්නයකට රටට මුහුණ දීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනකට අප ඇතුළත් වුවහොත් වෙනත් හිතවත් රාජ්‍යයන්ගෙන් හෝ ආයතනවලින් හෝ යම් ප්‍රතිපාදන ලබාගැනීමේ හැකියාවක් ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ පැවති රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *