අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? බැසිල් නැති ඇමැති මණ්ඩලයක් ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද රාත්රියේ ම ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බව කියති.
මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම වළකා ගැනීමට උත්සහ දරමින් සිටින බව ද වාර්තා වෙයි.
අගමැතිවරයා ඉල්ලා අස් වූ විට ඇමති මණ්ඩලය ද අහෝසි වෙයි. නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට එමගින් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙයි.
එමෙන් ම අලුතින් පත් කරනු ලබන ඇමති මණ්ඩලයක් තුළ බැසිල් රාජපක්ෂ මහතාට තනතුරක් හිමි නොවනු ඇති බව ද කියති. අනෙකුත් රාජපක්ෂවරුන් ද ඉවත් කළ යුතු බවට ප්රබල මතයක් ගොඩ නැගී තිබේ.
නව ඇමති මණ්ඩලයක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන ලෙසත්, සර්ව පාක්ෂික හෝ බහු පාර්ශවික එකඟතාවක් සහ වැඩ පිළිවෙළක් මත ගිවිසුම් ගත වන ලෙසත්, ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායම ඉල්ලා ඇත.
