ගොවීන්ට පොහොර, වන්දි නොදුන්නොත් ඇමතිකමෙන්, දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා ඉවත්වෙනවා – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

මෙම අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වයි.
රජයේ කාබනික වග ව්‍යාපෘතිය අසාර්ථක වූ බවත්, ගොවීම්ට දෙනවයි කිව ප්‍රමිතිගත පොහොර නොලැබුණු බවත් කියන රණසිංහ මහතා ගොවීන් යන්තම් හෝ බේරුනේ කලින් වසරවල ඉතිරව තිබු පොහොර සහ වැඩි මිලක් ගෙවා ලබාගත් වෙනත් වගාවන් සඳහා වූ පොහොර යෙදීමත් නිසා බව ද කියයි.
ගොවිතැනට සම්බන්ධ තීරණ ගැනීමේ දී ගොවි දිස්ත්‍රික්ක නියෝජනය කරන තමන් වැනි අයගේ අදහස් ලබා නොගැනීම ගැන ද රොෂාන් රණසිංහ මහතා සිය අප්‍රසාදය පළකොට ඇත.
රසායනික පොහොර භාවිතය නතර කිරීම නිසා වගා හානි වූ සහ අස්වැන්න අඩු වූ ගොවීන් මේ වනවිට අන්ත අසරණව සිටින බවත්, ඔවුන්ට ලබා දෙන බවට පොරොන්දු වූ වන්දි අලුත් අවුරුදු සමයට පෙර හෝ අප්‍රේල් මස අවසන්වන්නට පෙර ලබා දිය යුතු බවත්, අමාත්‍යවරයා සිය ලිපියෙන් දන්වා සිටියි. එසේම ගොවි ජනතාවගෙන් ලබාගත් අදහස් සහ යෝජනා එක් කළ කරුණු 06 ක් ද මේ ලිපියෙන් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ. හානි වූ වගාවන් සඳහා වන්දි ලබා දීම සහ ඉදිරි යල කන්නේ දී කාබනික හා රසායනකි පොහොර 50% බැගින් භාවිතයට අවසර දීම ඇතුළු කරුණු රැසක් මෙයට ඇතුළත්ය.
කාබනික පොහොර භාවිතය පිළිබඳ තීන්දුවෙන් මුළු රටේම ගොවීන් අසරණ වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිය දීර්ඝ ලිපියේ දක්වා තිබේ.
