මහ බැංකුව යළි කළු කඩ හදයි ! ඩොලරයට නැවත මිල පාලනයක් !

ඩොලරයේ මිල අධික ලෙස ඉහළ යාම වැළක්වීමට ගත යුතු පොලී අනුපාත වැඩිකිරීම වැනි පියවර මෙතෙක් ගෙන නැති මහ බැංකුව බලපත්‍ර ලත් වෙළෙඳුන්ට මිල පාලනයක් පනවා යළිත් ඩොලර් කළු කඩයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව ආර්ථික විද්‍යාඥයෝ කියති.

වාණිජ බැංකුවල මිලට වැඩි මිලකට ඩොලර් විකිණීම බලපත්‍ර ලාභී වෙළෙඳුන්ට තහනම් කරමින් මහ බැංකුව අද වාරණයක් නිකුත් කළ අතර එමගින් දැනට එම වෙළෙඳුන් කරන ව්‍යාපාරය සඳහා කළු කඩයක් නිර්මාණය වීම පමණක් සිදුවන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඩොලරයේ මිල කෘතීම ලෙස පාලනය කිරීමට මහ බැංකුව පසුගිය කාලයේ මෙබඳු ම නීති පැන වූ අතර ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වුයේ බරපතළ ඩොලර් හිගයක් ඇතිවීම පමණකි.

අවසානයේ දැඩි බලපෑම් ඉදිරියේ ඩොලරයේ අගය වෙළෙඳපොළේ තීරණය වීමට ඉඩ හරින බව මහ බැංකුව ප්‍රකාශ කළ ද මිල ස්ථාවර කිරීමට ගත යුතු අනෙක් පියවර ගත්තේ නැත.

මහ බැංකුව මුදල් මුද්‍රණය දිගට ම කරමින් සිටින අතර උද්ධමනයට අනුව පොලී අනුපාත ගැලපීම ද සිදුකොට නැත.

මේ නිසා රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරයේ මිල ඉහළ යමින් පවතින අතර මහ බැංකුව මෙතෙක් දිගින් දිගට අසාර්ථක වූ මිල පාලන ප්‍රතිපත්ති ම අනුගමනය කරමින් සිටියි.

මෙය හරි තීරණයක් වැරදි ලෙස ක්‍රියාත්මක කිරීමක් බවත්, එයින් අර්බුදය තවවත් දිග්ගැසෙනු ඇති බවත්, විද්වත් මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *