ජනාධිපති – අයි එම් එෆ් හමුව අඟහරුවාදා

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සමාලෝචනය සහ අවශ්‍ය ආධාර ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද පැමිණෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අතර හමුව 15 දා අඟහරුවාදා සිදුවන බව වාර්තා වෙයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා මෙම ධුත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ එයට මුහුණ දීමට රජයේ සැලසුම් පිළිබඳව මෙම නියෝජිත පිරිස රජය සමග සාකච්ඡා කිරීමට නියමිත ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතර මුල් වටයේ සාකච්ඡා සඳුදා ආරම්භ වන බවත්, දින තුනක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස විවිධ පාර්ශව හමු වී අදහස් ලබාගනු ඇති බවත් , වාර්තා වෙයි.

එම සාකච්ඡා හෙට දින නිල වශයෙන් ආරම්භ වන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකිනි.

මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ ද, මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන තේමාවක් වන බවයි.

ඒ සඳහා සියලු සැලසුම් මේ වනවිට සකස් වෙමින් පවතින බව කියති.

මුල්‍ය අරමුදල සමග අවසන් වටයේ සාකච්ඡා සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඇතුළු පිරිසක් ලබන අප්‍රේල් 11 දින වොෂින්ටන් වෙත යාමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *